එක්තිස්වන භාවනා පදය.
ස්කන්ධයෝ ප්‍රත්‍යයන් එක් වී උපදවන්නෝ ය.
යමක් හටගන්නේ ප්රත්යයකින් නම්, ප්‍රත්‍යය නො මැතිව හටගැනීමේ ශක්තිය යමකට නැතිනම් එය ඉතා දුබල දෙයකි. ඒ දෙයට තමාගේ කැමැත්ත අනුව පවත්නට නුපුළුවන. සකල සංස්කාරයෝ ම ප්‍රත්‍යයන් ගෙන් හට ගන්නෝ ය. යම් කිසි එක් ප්රත්යයකින් ම හටගන්නා සංස්කාරයක් ද නැත. එක් සංස්කාරයක් හටගන්නේ ප්‍රත්‍යය බොහෝ ගණනකිනි. ඒ සංස්කාරයන් හටගැන්වීමට නිසි ප්‍රත්‍යයන්ගේ එක් වීමක් නො වුවහොත් ඒ සංස්කාර නො හටගන්නේ ය. ස්කන්ධයන් හෙවත් සංස්කාරයන් ප්‍රත්‍යයන් විසින් ඇති කරනවාය යන මෙය ගැඹුරු කරුණෙකි. එය තේරුම් ගත හැකි වීමට අභිධර්මය උගෙන තිබීම ප්‍රයෝජන ය. සංස්කාර සියල්ල ම එක් කොට ඒවා ප්‍රත්‍යයෙන් හටගන්නා බව සිතා ගැනීම අපහසු ය. ස්කන්ධ වශයෙන් හෝ නාමරූප වශයෙන් හෝ සංස්කාර වෙන් කොට ගෙන ඒවා ප්‍රත්‍යයෙන් හට ගන්නා සැටි බැලිය යුතු ය. ප්‍රත්‍යය බැලීමේ ක්‍රම කීපයක් විශුද්ද්ධිමග්ගයෙහි ඇත්තේ ය. එයින් කිනම් ක්‍රමයකින් හෝ බලා සංස්කාරයන් ප්‍රත්‍යයෙන් හටගන්නා බව තේරුම් ගැනීම ප්‍රමාණවත් ය. ප්‍රත්‍යය සොයන්නා විසින් රූපස්කන්ධයෙන් පටන් ගැනීම වඩා හොඳ ය. මවුකුස උපන් සත්ත්වයාගේ රූපස්කන්ධය ඇතිවීමේ හේතු සෙවිය යුතු ය. අවිද්‍යා-තෘෂ්ණා-උපාදාන-කර්ම-ආහාර යන මේ පස එහි හේතු බව තේරුම් ගත හැකි වුවහොත් මැනවි. එය තේරුම් ගැනීමට උත්සාහ කරනු. නාමස්කන්ධයන්ගේ හේතු බැලීම විඥානස්කන්ධයෙන් පටන් ගත්තාම පහසු ය. ඇසත් රූපයත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඒ දෙකින් එකක් හෝ නැතිනම් අන් කිසිම ක්‍රමයකින් චක්ඛුවිඤ්ඤාණය නූපදී. චක්ඛුවිඤ්ඤාණයක් උපන් නිසා ආරම්මණයේ තත්ත්වය අනුව වේදනාවක් උපදී. දුටු දෙය හැඳින ගන්නා සඤ්ඤාවක් උපදී. වේදනා සඤ්ඤා අනුව දුටු දෙයට ඇලුම් කිරීම් ආදි සංස්කාර උපදී. මෙසේ ඒ ඒ ධර්මයන්ගේ හේතු ප්‍රත්‍යයන් බලා සකල සංස්කාරයන් ම ප්‍රත්‍යයෙන් හටගන්නවුන් බව තේරුම් ගත යුතු ය. සංස්කාරයන් වෙන වෙන ම සිතා සකල සංස්කාරයන් ම ප්‍රත්‍යයෙන් හටගන්නා බව තේරුම් ගත් පසු ස්කන්ධ පඤ්චකය ම එකතු කොට සියල්ල සඞ්ඛත බව මෙනෙහි කිරීම සුදුසු ය.
“පඤ්චක්ඛන්ධෙ සංඛතතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අසඞ්ඛතං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”
පඤ්චස්කන්ධයන් ප්‍රත්‍යයන් විසින් ඇති කරන ලද්දවුන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය ප්‍රත්‍යයෙන් නො හටගන්නා නිවන ය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී.