දෙතිස්වන භාවනා පදය.
ස්කන්ධයෝ මාරයාගේ සපයෝ ය.
ලෝකයෙහි “මරුවා පැමිණියේ ය, මරුවා ගෙන ගියේ ය, මරුවා ප්‍රාණය පැහැර ගත්තේය” යි කථා කරන්නේ මරුවාය කියා මිනී මරන රාස්සයකු වැනි එකකු ඇති නිසා නොව, මරණයට ම මරුවාය යන නම ආරූඪ කිරීමෙනි. සිංහයාගේ ව්යාඝ්රයාගේ කටට හසු වූ සාවා මරණයෙන් නො මිදෙන්නාක් මෙන්, නයාගේ ගැරඬියාගේ කබරගොයාගේ කටට අසු වූ මැඩියා මරණයෙන් නො මිදෙන්නාක් මෙන්, සත්ත්වයන් මරා කන යකකු රාස්සයකු වැනි මාරයකු ඇති නම් උගේ කටට අසු වූ සත්ත්වයාට ද මරණය නියතය. පඤ්චස්කන්ධයක් ලද හොත් නියත වශයෙන් ම මරණය ඇත්තේ ය. මරණයට හසු නො වන මරුට යටත් නො වන පඤ්චස්කන්ධයක් මේ මිනිස්ලොව තබා දිව්‍යලෝක බ්‍රහ්මලෝකවල ද නැත. නියත මරණය ඇති බැවින් ස්කන්ධයෝ මරහුගේ සපයෝ ය. මරහුගේ කටේ ම පවත්නෝ ය, මරහුගේ ආහාරයෝ ය. සිංහකටේ සිටින සාවාට සමහරවිට ගැලවීමක් ලැබිය හැකි ය. මරුගේ කටේ පවතින පඤ්චස්කන්ධයට මරුගෙන් නො මිදිය හැකි ය.
සත්ත්වයා භවයෙහි නැවත නැවත ඉපදී නැවත නැවත මැරෙන්නේ කෙලෙසුන් නිසා ය. එබැවින් කෙලෙස්හු ද මාරයෝ ය. කෙලෙස් ඇත්තේත් කෙලෙස් නැඟ එන්නේත් පඤ්චස්කන්ධයෙහි ම ය. මමය, මාගේය, මම උසස්ය, මූ පහත් ය, මූට ගසන්න ඕනෑය, මූ මරන්න ඕනෑය, මුගේ දේ ගන්න ඕනෑය, මුගේ දේ නැති කරන්න ඕනෑය, මැය හා එක් ව වාසය කරන්න ඕනෑ ය, මැය වැළඳ ගන්න ඕනෑය යනාදීන් කෙලෙස් ඇති වන්නේ ද පඤ්චස්කන්ධය ආහාර කොට ය. සත්ත්වයා නැවත නැවත මරන කෙලෙස් ඇත්තේත් උපදින්නේත් පඤ්චස්කන්ධයෙහි ම නිසාත්, කෙලෙසුන්ගේ ආහාරය පඤ්චස්කන්ධය ම නිසාත්, කෙලෙස් නමැති මරහුගේ කටේ සිටින්නෝ ය. මරහුගේ සපයෝ ය. මරහුගේ ආහාරයෝ ය. සත්ත්වයන් අනර්ථයෙහි යොදවා ඔවුන් මරණයට පමුණුවන බැවින් ද කෙලෙස්හු මාරයෝ ය.
“පඤ්චක්ඛන්ධෙ මාරාමිසතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධෝ නිරාමිසං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”
පඤ්චස්කන්ධයන් මරහුගේ සප වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය නිරාමිෂ නිර්වාණ යයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී.