සත් තිස්වන භාවනා පදය.
ස්කන්ධයෝ ශෝක කරවන ස්වභාවය ඇතියෝ ය.
ස්කන්ධයන් ඇති කල්හි ඥාතිව්‍යසන-භෝගව්යසනාදී විපත් නිසා ද, වුවමනා දෑ නො ලැබීම් බලාපොරොත්තු කඩවීම් ආදියෙන් ද නොයෙක් විට ශෝකය ඇති වේ. එබැවින් ස්කන්ධයෝ ශෝක ඇති කරන ධර්මයෝ ය. ශෝකය ගුණධර්මයක් ලෙස ඇතැමුන් සලකතත් එය ගුණ ධර්මයක් නො වේ. ශෝකය ඇති වන්නේ තණ්හාව නිසා ය.
“තණ්හාය ජායතී සෝකෝ - තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස - නත්ථි සෝකෝ කුතෝ භයං.”
යනුවෙන් ඒ බව වදාරා ඇත්තේ ය. තෘෂ්ණාව අකුශල මූලයකි. තෘෂ්ණාව නිසා ශෝකය ඇති වන්නේ අකුශල මූලයක් වන ද්වේෂයෙන් යුක්ත සිතෙහි ය. එබැවින් එය අකුශල කර්මපථයක් නුවූව ද අකුශල කොට්ඨාසයට අයත් ධර්මයෙකි. කුශල සිතක කිසි කලෙක ශෝකය ඇති නොවේ.
බලවත් ශෝකය නපුරු දුකෙකි. එය හෘදය තුළ ඇවිළෙන ගින්නක් බඳු ය. හෘදයට ප්‍රවේශ වී ඇති හුලක් බඳු ය. මේ ශෝකය දුප්පත් පොහොසත් කාහටත් වෙනසක් නැතිව ඇතිවන දුකෙකි. වඩා ඇලුම් කරන වඩා වටිනා දේවල් ඇත්තේ පොහොසතුන්ට නිසා ඔවුනට වඩා දරුණු ශෝක ඇති විය හැකි ය. ධර්මය නො දන්නා වූ ධර්මයෙන් ඈත්ව වෙසෙන අයට ශෝකය අධික ය. ධර්මය සේවනය කරන අයට මහත් විපතේ දී වුවද ඇති වන්නේ මඳ ශෝකයකි. කෑම නො ගිලෙන තරමේ, උමතු වන තරමේ, ලේ අතීසාරාදි රෝග වැලඳෙන තරමේ, වියළී මිය යන තරමේ බලවත් ශෝක ධර්මය සේවනය කරන්නවුන්ට ඇති නොවේ. විශේෂයෙන් ම විදර්ශනා භාවනාව ශෝක අඩු කරන්නකි. විදර්ශනා භාවනාවෙන් සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව, නිත්‍ය දෙයක් නැති බව, සියල්ල තාවකාලික බව තේරුම් ගෙන සිටින අයට මහත් ව්‍යසනයේ දී වුව ද මඳ ශෝකයක් මිස තද ශෝකයක් ඇති නොවේ. සමහර විට මඳ ශෝකයකුදු ඔවුන්ට ඇති නොවේ. ධර්මය නො දන්නා බැවින් ලෝක තත්ත්වය සලකාගත නො හෙන තෘෂ්ණාව අධික පුද්ගලයන්ට උමතු වන තරමේ, අතීසාරාදි රෝග සෑදෙන තරමේ, මැරෙන තරමේ බලවත් ශෝක ඇති වේ.
බලවත් ශෝකය නිසා රෝගාතුර වූවන් පිළිබඳ බොහෝ කතා පුවත් බණපොත්වල දක්නා ලැබේ. පෙර දඹදිව බරණැස් නුවර රජ කළ මද්දව නම් රජුට සිය දේවිය අනිකකු හා පළායාමෙන් හටගත් බලවත් ශෝකය නිසා පපුව උණු වී බඩින් කටින් ලේ යන්නට වූ බවත්, රාජවෛද්යයන් දන්නා තරම් ප්‍රතිකාර කළ නුමුත් ඒ රෝගය බෙහෙතින් සුව නො කළ හැකි වූ බවත්, බෝසතාණන් වහන්සේ විසින් උපායකින් රජුගේ ශෝකය දුරු කොට ඔහුගේ ජීවිතය රැක දුන් බවත් දසණ්ණක ජාතකයෙහි සඳහන් වේ. මහාප්‍රතාප රජුගේ දේවිය පුත්‍රශෝකයෙන් ළය පැලී මළ බව චූලධම්මපාල ජාතකයේ සඳහන් වී තිබේ. ශෝකය නිසා තවත් රජකුට ලේ අතීසාර රෝගය වැලඳුණ බව සාම ජාතකයේ ද සඳහන් ව ඇත.
සසර සැරිසරන සත්ත්වයනට ශෝකයට හේතුවන ව්‍යසනාදිය නිතර පැමිණෙන්නේ ය. විටෙක මව මැරෙන්නේ ය. විටෙක පියා මැරෙන්නේ ය. විටෙක දූපුත්හු මැරෙන්නාහ. විටෙක සහෝදර සහෝදරියෝ මැරෙන්නාහ. විටෙක බිරිය මැරෙන්නේ ය. විටෙක සැමියා මැරෙන්නේ ය. විටෙක නෑයෝ මැරෙති. විටෙක මිතුරෝ මැරෙති. විටෙක ධනය සොරු ගනිති. විටෙක කෙත් වතු පාලු වෙයි. විටෙක ගෙය ගිනි ගනී. විටෙක රස්සාව නැති වේ. විටෙක කළ වැඩ වරදී. විටෙක අපරාධවලට අසුවේ. විටෙක තනතුරු වලින් පහවේ. මේ ආදී කරුණු නිසා සසර වසනා තෙක් ශෝක ඇතිවීම ඉමහත් දුකක් බව දක්නා නුවණැත්තෝ ශෝකයට කරුණු නැති ශෝකයක් නැති නිවන සොයන්නාහ.
“පඤ්චක්ඛන්ධෙ සෝකධම්මතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අසෝකං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”
පඤ්චස්කන්ධයන් ශෝක කරවන ස්වභාවයන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනාඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය ශෝක නැති නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.