අටතිස්වන භාවනා පදය.
ස්කන්ධයෝ හඬවන ස්වභාවය ඇතියෝ ය.
ශෝකාග්නියෙන් ශරීරය තැවෙන කල්හි ද, බලවත් දුඃඛවේදනාවක් ඇති වූ කල්හි ද, ශරීරය හුණු වී කෙළ සෙම් සොටු කඳුළු ඩහදිය ගලන්නටත් අමිහිරි හඬක් නගින්නටත් වේ. එයට හැඬීම ය යි කියනු ලැබේ. හඬන්නට සිදුවීමත් ඉමහත් දුකෙකි. ස්කන්ධයන්ගෙන් මිදුණ හොත් හැඬීමක් නො වේ. ස්කන්ධයන් ඇතහොත් හඬන්නට සිදු වේ. එබැවින් ස්කන්ධයෝ හඬන හඬවන ස්වභාව ඇතියෝ ය.
“දීඝරත්තං වෝ භික්ඛවේ, මාතුමරණං පච්චනුභූතං, තේසං වෝ මාතුමරණං පච්චනුභොන්තානං අමනාප සම්පයෝගා කන්දන්තානං රුදන්තානං අස්සු පස්සන්දං පග්ඝරිතං නත්වේව චතුසු මහා සමුද්දේසු උදකං”.
යනුවෙන් “මේ අනවරාග්‍ර සංසාරයෙහි එක් පුද්ගලයකු විසින් මවගේ මරණයෙන් සෝපත්ව හෙලූ කඳුළු සතර මහා සාගර ජලයට අධික බව අනමතග්ගසංයුත්තයේ වදාරා ඇත්තේ ය. එසේ ම පියාගේ මරණයෙන් සහෝදරයාගේ මරණයෙන් සහෝදරියගේ මරණයෙන් පුත්‍ර මරණයෙන් දුහිතෘ මරණයෙන් ඥාතිව්‍යසනයෙන් භෝගව්‍යසනයෙන් රෝගව්‍යසනයෙන් වගුළ කඳුළු ද සාගර ජලයට අධික බව වදාරා ඇත්තේ ය. ස්කන්ධ පරම්පරාව පැවතුනහොත් අනාගතයේත් එසේ ම හඬන්නට සිදුවන බව තේරුම් ගත් යෝගාවචරයෝ මහෝත්සාහයෙන් විදසුන් වඩා රහත්ව හැඬීම කෙළවර කරන්නාහ.
“පඤ්චක්ඛන්ධෙ පරිදේවධම්මතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අපරිදේවං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”
පඤ්චස්කන්ධයන් හඬවන ස්වභාවය ඇතියවුන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනාඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය හැඬීමෙන් තොර නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.