පස්වන භාවනා පදය
ස්කන්ධයෝ ශරීරයට ඇතුළු වී ඇති ගලවා දැමීමට දුෂ්කර හුල් ය.
ශරීරයට ඊයක් බඳු හුලක් ඇතුළු ව ඇත්තේ නම් ඒ හුල ඉවසීමට දුෂ්කර ඉතා නපුරු රිදුමක් නිරන්තරයෙන් ම ඇති කරන්නේ ය. එය ගලවන්නට තැත් කළ හොත් වඩාත් දරුණු රිදුමක් ඇති කරන්නේ ය. එ බැවින් හුල ගලවා දැමීමත් අතිදුෂ්කරය. ඇති වූ සැටියේ ම අතරක් නැවතීමක් නැති ව දිරා බිඳී යන නාමරූපයෝ ඒවා මම ය කියා ද මාගේ ය කියා ද සලකන්නහුට සංස්කාරදුඃඛය, විපරිණාමදුඃඛය, දුඃඛදුඃඛය යන තෙවැදෑරුම් දුකින් ශරීරයට පිවිස ඇති හුලකින් මෙන් නිරතුරුව රිදුම් ඇති කරන්නාහ. එ බැවින් ස්කන්ධයෝ හුල් වැනි වෙති. නිතර රිදවනවාය කියා ඒ පඤ්චස්කන්ධය ඉවත් කළ හැක්කේ ද නොවේ. එබැවින් පඤ්චස්කන්‍ධය ශරීරයට පිවිස ඇති ගලවා දැමිය නොහෙන හුලකැයි කියනු ලැබේ.
පඤ්චස්කන්ධයට අයත් ධර්මයන් අතුරෙන් අභ්‍යන්තරයෙහි සිට ඉතා දරුණු අන්දමින් රිදවන්නෝ රාගාදි ක්ලේශයෝ ය. ඒවා පඤ්චස්කන්ධයෙන් සංස්කාරස්කන්ධයට අයත් ය. ඒවායින් ද ඉතා දරුණු අන්දමින් රිදවන ධර්මය බලවත් ලෝභය හෙවත් රාගය ය. බලවත් රාගය ඇති වූ කල්හි එයින් වන පීඩනය රිදුම නිසා ඇතමුන්ගේ ශරීර ඉතා දුබල වේ. ඇතැම්හු රෝගී වෙති. ඇතැම්හු උම්මන්තක වෙති. ඉවසිය නො හැකිවීමෙන් ඇතැම්හු දිවි නසා ගනිති. රාග නමැති හුලේ දරුණුකම මේ කථාවෙන් දත යුතු ය.
එක් කලෙක බරණැස් නුවර වැසියෝ සැණකෙළියක් පැවැත්වූහ. නගරය, දේවනගරයක් මෙන් සැරසූහ. සැම දෙන ම සැණකෙළියෙහි යෙදුණෝ ය. එහි එක් දුප්පත් මිනිසකුට හැඳිවත හැර අතිරේක වශයෙන් තිබුණේ දළ සුදු රෙදි දෙකක් පමණෙකි. ඔහු ඒ රෙදි දෙක හොඳින් අපුල්ලවා සියගණනක් රැළි සිටින සේ නමා තැන්පත් කරගෙන සිටියේය. සැණකෙළි දිනවලදී ඔහුගේ බිරිය හිමියා අමතා “හිමියනි, රතුවතක් හැඳ රතුවතක් පොරවා ඔබගේ කර අත ලා ගෙන එක් රැයක් සැණකෙළියේ ඇවිදින්නට ආසාව ඇත්තෙමි” යි කීවා ය. “සොඳුර, දුප්පත් අපට රතු රෙදි කොයින් ද? සුදු රෙදි හැඳ පොරවා සැණකෙළියෙහි ඇවිදින්නය” යි හිමියා කීවා ය. එකල්හි හිමියා “සොඳුර, දුප්පත් මට කුමට කරදර කරන්නෙහි ද, අපි රතුරෙදි කෙසේ ලබන්නෙමුදැ”යි කීය. එකල්හි බිරිය “හිමියනි, පිරිමියකුට ඕනෑ නම් නැත්තේ කුමක් ද? රජුගේ රෙදි ගබඩාවෙහි බොහෝ වස්ත්‍ර ඇත්තේ නො වේ දැ”යි කීවා ය. “සොඳුර, එතැන රකුසන් අරක්ගත් පොකුණක් වැනිය. බලවත් ආරක්ෂා ඇත්තේ ය. එහි යන්නට නො පිළිවන. තී මා නසන්නට තැත් නො කරව, අපට ඇති සැටියට සතුටු වන්නැ”යි සැමියා කීය. “හිමියනි, ඔබට බැරි කිමද? පිරිමියකුට රාත්‍රිකාලයේ යා නො හෙන තැනක් ඇද්දැ”යි බිරිය කීවා ය. ඒ අසරණ දුගී මිනිසා ප්‍රේමය යි වර්ණනා කරනු ලබන මහානර්ථකර රාගය දුරු කර ගත හැකි නො වී, බිරිය සතුටු කරවනු පිණිස රාත්‍රීකාලයේ දී ඒ මාරක ගමන ගියේය. මුරකරුවෝ ඔහුගේ ශබ්දය අසා සොරෙක! සොරෙක!! කියා කෑගසා වට කොට ඔහු අල්ලා බැණ වැදී හොඳට ම ගුටි බැට දී බැඳ තබා පසුදින රජුට දැක්වූහ. රජ තෙමේ ඒ අසරණයා උල තබා මරා දමන්නට අණ කෙළේ ය. වධකයෝ ඔහු බැඳ වදබෙර ගසමින් නගරයෙන් පිටතට ගෙන ගොස් උල හිඳ වූහ. ඔහු දිවි නො තකා මේ මාරක ගමන ගියේ ඔහු තුළට පිවිස තුබූ රාගය නමැති හුලෙන් ඇති කරන රිදවීම ඉවසිය නො හෙන නිසා ය. ඇද දැමීමට දුෂ්කර වූ රාග නමැති හුල මරණය තෙක් ඔහුට දුරලිය හැකි නො වී ය. උල තබා සිටි ඒ අසරණයාගේ ඇස්වලට කපුටෝ කොටන්නට වූහ. එකල්හි ඒ පුරුෂ තෙමේ “මට මේ උලෙහි ඇමිණී සිටීමත් දුකක් නො වේ, කපුටා ඇසට කෙටීමත් දුකක් නො වේ, අනේ මට ඇති දුක නම් ප්‍රියාවට රතු රෙදි හඳව ගෙන ඇය හා සැණකෙළියේ ඇවිදින්නට නො ලැබීමය”යි විලාප කියමින් මැරී අපායෙහි උපන්නේ ය. මේ ජාතක පොතේ කතාවෙකි. රාග නමැති හුලේ නපුර දැක්වෙන මෙවැනි බොහෝ කතා බෞද්ධ සාහිත්‍යයෙහි දක්නට ඇත්තේ ය.
ද්වේෂයත් නපුරු හුලෙකි. ද්වේෂ නමැති හුල ළයෙහි හැනී සිටි කල්හි එයින් වන රිදුමත් බරපතලය. ඇතැම් දරුවන් මාපියන් හා තරහවී ගම රට හැර පලා යන්නේත්, දිවි නසා ගන්නේත්, සැමියන් හා තරහ වී බිරියන් දිවි නසා ගන්නේත්, බිරියන් හා තරහ වී සැමියන් දිවි නසා ගන්නේත් ද්වේෂ නමැති හුලෙන් කෙරෙන රිදවීම ඉවසිය නො හැකි වීමෙනි. රාග ද්වේෂ දෙකින් අන්‍ය ක්ලේශයන්ගේ ද හුලකින් මෙන් රිදවීම ඇත්තේ ය. ඒවායේ රිදවීම ගැන ද යෝගාවචරයෝ කල්පනා කෙරෙත්වා! ග්‍රන්ථය මහත්වන බැවින් මෙහි විස්තර නො කරමු.
පඤ්චක්ඛන්ධෙ සල්ලතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරොධෝ විසල්ලං නිබ්බානන්ති පස්සන්තෝ සම්මතනියාමං ඔක්කමති.
(පටිසම්භිදා වග්ග)
පඤ්චස්කන්ධයන් ශරීරයට කා වැදී ඇති හුලක් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුකූල විදර්ශනා ඥානය ලබයි. පඤ්චස්කන්ධයන්ගේ නිරෝධය හුල් වලින් තොර වූ නිවන යයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට පැමිණේ.