සවන භාවනා පදය
ස්කන්ධයෝ පාපයෝ ය.
පාපය සැම නපුරක් ම සැම දුකක් ම සිදු කරන බැවින් බුද්ධාදි ආර්‍ය්‍යයන් විසින් පිළිකුල් කරන ලද්දකි. නින්දා කරන ලද්දකි. දුරු කරන ලද්දකි. පාපය සේ ම ස්කන්ධයෝ ද බුද්ධාදි ආර්‍ය්‍යයන් විසින් ගර්හා කරන ලද්දෝ ය.
“රූපං භික්ඛවෙ, ආදිත්තං, වේදනා ආදිත්තා, සඤ්ඤා ආදිත්තා, සඞ්ඛාරා ආදිත්තා, විඤ්ඤාණං ආදිත්තං” “මහණෙනි, රූපය ගිනි ඇවිළ ගත්තක, වේදනාව ගිනි ඇවිළ ගත්තක, සංඥාව ගිනි ඇවිළ ගත්තක, සංස්කාරයෝ ගිනි ඇවිළ ගත්තෝය. විඤ්ඤාණය ගිනි ඇවිල ගත්තකැ”යි භාග්‍යවතුන් වහන්සේ විසින් ස්කන්ධයෝ ගර්හා කරන ලද්දෝ ය.
“භාරා හවෙ පඤ්චක්ඛන්ධා” පඤ්චස්කන්ධය මහබරකැයි ද වදාරා ඇත්තේ ය. මාරයාත් මරනු ලබන්නාත් මැරෙන්නාත් පඤ්චස්කන්ධය බව ද වදාරා ඇත්තේ ය.
“ඵෙණපිණ්ඩූපමං රූපං වේදනා බුබ්බුලූපමා
මරීචිකූපමා සඤ්ඤා සඞ්ඛාරා කදලූපමා
මායූපමඤ්ච විඤ්ඤාණං දීපිතාදිච්චබන්ධුනා”
යනුවෙන් රූපස්කන්ධය පෙණ පිඩක් වැනි බවත්, වේදනාස්කන්ධය දිය බුබුලක් වැනි බවත්, සංඥාස්කන්ධය මිරිඟුවක් වැනි බවත්, සංස්කාරස්කන්ධය කෙසෙල් කඳක් වැනි බවත්, විඥානස්කන්ධය මායාවක් වැනි බවත් වදාරා ඇත්තේ ය. මෙසේ ස්කන්ධයෝ පාපය සේ බුද්ධාදි ආර්යයන් විසින් ගර්හා කරන ලද්දෝ ය. එබැවින් ස්කන්ධ පඤ්චකය පවකැ යි ද කියනු ලැබේ.
සොර සතුරන්ගෙන් පහර ලැබීම, නො කළ වරදරවලට අසුවීම, සිරගෙවලට වැටීම, අපායේ වැටීම ආදි යම් නපුරක් අවැඩක් ඇත්තේ නම් ඒ සියල්ල ම ඇත්තේ පඤ්චස්කන්ධයක් ඇති නිසා ය. පඤ්චස්කන්ධයක් නැතහොත් කිසි නපුරක් කිසි අවැඩක් වන්නේ නැත. එබැවින් මේ පඤ්චස්කන්ධය අඝයෙකි. හෙවත් පවකි. පව්ය කියා යමක් ඇත්තේ නම් ඒ සියල්ල ඇති වන්නේත් පඤ්චස්කන්ධයෙහි ය.
“පඤ්චක්ඛන්ධෙ අඝතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අනඝෝ නිබ්බානන්ති පස්සන්තෝ සම්මතනියාමං ඔක්කමති.”
පඤ්චස්කන්ධය පාපයක් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ නිරෝධය පව්වලින් තොර වූ නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.