කසිණ භාවනා ආනාපාන භාවනා මෛත්‍රී භාවනාදි සමථ භාවනා අබුද්ධෝත්පාද කාලවල ද ඇත්තේ ය. විපස්සනා භාවනාව වනාහි බුදුසසුනකින් මිස අන් තැනකින් ලැබිය නො හෙන කෙළින් ම මඟපලවලට හා නිවනට පමුණුවන භාවනාව ය. එබැවින් බුද්ධශාසනයෙන් ලබා ගත යුතු උසස් දෙය ලබා ගනු කැමති පින්වතුන් මේ විපස්සනා භාවනා ක්‍රමය උගෙන එහි යෙදිය යුතු ය.
යෝගාවචරයා විසින් මුලින් ම කළ යුත්තේ අනිච්චා දුක්ඛා යනාදි භාවනා පද සතළිස කටපාඩම් කර ගැනීම ය. ඉන්පසු මේ පොත නැවත නැවත බොහෝ වාර ගණනක් කියවා භාවනා පද සතළිස තේරුම් ගත යුතු ය. තේරුමක් නැතිව, භාවනා කරමි යි කියා භාවනා පද කිය කියා සිටීමෙන් පලක් නැත. ඉක්බිති විවේකස්ථානයකට එළඹ වාඩි වී හෝ අන් ඉරියව්වකින් හෝ සිට තමා ගේ රූප කයට සිත යොමු කර එහි අනිත්‍යතාව වැටහෙන ක්‍රම වලින් සිහි කරනු. රූපස්කන්ධය කොටස්වලට බෙදා ඇස අනිත්‍ය ය යනාදීන් බැලිය හැකි නම් එසේ බැලීම ද හොඳ ය. වේදනා-සඤ්ඤා-සංඛාර-විඤ්ඤාණ යන නාමස්කන්ධ සතර සිහි කරමින් ඒවායේ අනිත්‍යතාව සිහි කර බලනු. ස්කන්ධ පස ද එකවර ගෙන අනිත්‍යතාව බලනු. ස්කන්ධයන්ගේ අනිත්‍යතාව හරියට දුටහොත් ඒවායේ දුඃඛාදිය ලෙහෙසියෙන් පෙනෙනු ඇත. අනිත්‍ය ලක්ෂණය නො දුටු යෝගාවචරයාහට දුඃඛාදී ලක්ෂණ ද නො පෙනෙන්නේ ය. භාවනා කිරීමේ දී එක් දිනයක දී භාවනා පද සියල්ල නො ගෙන එකක් පමණක් ගෙන භාවනා කිරීම සුදුසු ය. දිනකට එක බැගින් ගෙන භාවනා කොට භාවනා පද ගැන තේරුම් ඇති වූ පසු දිනකට වැඩි ගණනක් භාවනා පද ගෙන භාවනා කිරීම සුදුසු ය. පද සතළිස ම ගෙන භාවනා කිරීම ද සුදුසු ය. එසේ භාවනා කරන යෝගාවචරයා හට විදර්ශනාඥානය දියුණු වූ කල්හි පඤ්චස්කන්ධය ඇලුම් කළ යුත්තක් නොව, නපුරක් ලෙස, හළ යුත්තක් ලෙස බිය විය යුත්තක් ලෙස පෙනෙන්නට වන්නේ ය. පඤ්චස්කන්ධයෙන් මිදිය හැකි නම්, එය ම යහපත ලෙස ඔහුට වැටහෙන්නේ ය. මේ කාලයේ දී යෝගාවචරයා පඤ්චස්කන්ධයාගේ අනුත්පාද නිරෝධයටත් සිත යොමු කරමින් භාවනාවෙහි යෙදෙයි. එසේ භාවනා කරන යෝගාවචරයා ගේ නුවණට ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය වූ නිවන හොඳට ම ප්‍රකට පෙනී ගියේ නම්, එයට සෝවාන් මඟට (ඵලයට) පැමිණීම යයි කියනු ලැබේ. මේවා යෝගාවචරයන් මුළාවන තැන් ය. සමහර යෝගාවචරයන්ට සෝවාන් මඟට නො පැමිණ ද පැමිණියෙමි යි සිතේ.