ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීම

ඉදං ඛෝ පන භික්ඛවේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා අරියසච්චං, අයමෙව අරියෝ අට්ඨඞ්ගිකෝ මග්ගෝ, සෙය්‍යථීදං? සම්මා දිට්ඨි සම්මාසංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මාආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි.”

යනාදීන් නොයෙක් සූත්‍ර‍යන්හි සම්මාදිට්ඨි ආදී ධර්ම අට දුඃඛ නිරෝධ සඞ්ඛ්‍යාත නිවනට පැමිණීමේ මාර්ගයයි දේශනය කර ඇත්තේ ය. සෝවාන් මාර්ගය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අර්හත් මාර්ගය කියා නම් සතරක් ව්‍යවහාර කරන්නේ දියුණු වී ලෝකෝත්තර භාවයට පැමිණියා වූ අෂ්ටාඞ්ගික මාර්ගය ම ය.

ධර්මය පිළිබඳ නියම දැනීමක් තමන්ට නැතත් දනුම්හයි සිතාගෙන ලොවටත් අනුශාසනය කිරීමට ඉදිරිපත් වන ඇතැමුන් මේ ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය අවුල් කර තේරුම් කරන බැවින් විදර්ශනා වඩන බොහෝ යෝගාවචරයෝ ද තමන් කරන්නේ කුමක් ද කියා නො දනිති. යෝගාවචරයන් විසින් විදර්ශනා වැඩීම ය කියා කියන්නේ අනිකක් නොව, ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය වැඩීම ය.

සම්මාදිට්ඨි යනු නිවැරදි දැකීම හෙවත් දැනීම ය. යෝගාවචරයන් විදර්ශනා කිරීමය යි කරන්නේ සාමාන්‍ය ජනයා සත්ත්වයන් පුද්ගලයන් වශයෙන් වරදවා සිතා ගෙන සිටින නාමරූප ධර්ම සමූහයන් රූප වේදනාදී වශයෙන් විභාග කර ඒවායේ සැබෑ තත්ත්වය තේරුම් ගැනීම හා සාමාන්‍ය ජනයා විසින් නිත්‍ය දේ සැප දේ හොඳ දේ සැටියටත් ආත්මය ලෙසත් වරදවා තේරුම් ගෙන සිටින ස්කන්ධයන්ගේ අනිත්‍ය දුඃඛ අශුභ අනාත්ම ස්වභාවයන් බැලීමෙන් හරි දැනීම ඇති කර ගැනීම ය. හරි දැනීම දියුණු කිරීම ය. ඒ හරි දැනීම දියුණු කිරීම ආර්ය්‍යඅෂ්ටාඞ්ගික මාර්ගයේ පළමුවන අඞ්ගය වූ සම්මා දිට්ඨිය වැඩීම ය. ඔහු විසින් රූපාදි සංස්කාරයන් පිළිබඳවත්, ඒවායේ අනිත්‍යාදි ලක්ෂණ පිළිබඳවත්, සසර දුකින් මිදී නිවන් ලැබීම පිළිබඳවත් යම් යහපත් කල්පනාවක් කෙරේ නම් ඒ සම්මාසඞ්කප්ප නමැති දෙවන මාර්ගාඞ්ගය වැඩීම ය. යෝගාවචරයන් භාවනා කරන්නේ කායවාග්දුශ්චරිතයන්ගෙන් හා මිථ්‍යාජීවිකාවෙන් වැළකී සිට ගෙන ය. එය සම්මා වාචා සම්මාකම්මන්ත සම්මා ආජීව යන මාර්ගාඞ්ග තුන වැඩීම ය. විදර්ශනා වඩන කල්හි දුශ්චරිත දුරාජීවයන්ට හේතුවන ලෝභාදී ක්ලේශයෝ තුනී වෙති. එද සම්මාවාචාදි අඞ්ග තුන වැඩීම ය. අනලසව භාවනාවෙහි යෙදීම සම්මා වායාම නමැති සවන මාර්ගාඞ්ගය වැඩීම ය. නානාරම්මණයන් කරා සිතට යන්නට නො දී භාවනාව සම්බන්ධ අරමුණු ම නැවත නැවත සිතට නඟා ගැනම - මතු කර ගැනීම සම්මා සති නමැති සත්වන මාර්ගාඞ්ගය වැඩීම ය. අනා පදම් කළ නො වියළුණු මැටි ගුලියක් ගලක් උඩට හෙලූ කල්හි පෙරළීමක් උඩ පැනීමක් පිපිරීමක් නො වී වැටුණු තැන ම ගල බදා නිශ්චලව සිටින්නාක් මෙන්, පැමිණෙන පැමිණෙන ආරම්මණයෙහි නො සැලී සිත පිහිටවන්නා වූ ස්වභාවය සමාධි නම් වේ. සංස්කාරයන්ගේ අනිත්‍යාදි ලක්ෂණයන් දක්නා කල්හි යෝගාවචරයාහට කාමයන්ගේ නිසරු බව හා භයානක බව ද විදර්ශනාව අනුව ම වැටහීමෙන් ක්‍ර‍මයෙන් කාමච්ඡන්දය තුනී වේ. දුරු වේ. කුශලචිත්ත සමාධියට ඇති ප්‍ර‍ධාන බාධකය කාමච්ඡන්ද නීවරණය ය. කාමච්ඡන්දය බලවත්ව පවත්නා කල්හි සිතෙහි කාමයන් අතට ඇදීමක් ඇති බැවින් විදර්ශනා කරන ආරම්මණයන්හි සිත නිශ්චලව නො පිහිටයි. කාමච්ඡන්දය දුරු වත් වත් ම සිත භාවනාරම්මණයෙහි නිශ්චල වේ. එය සමාධිය දියුණු වීම ය. විදර්ශනා කිරීම් වශයෙන් සමාධිය දියුණු කිරීම සම්මාසමාධි නමැති අටවන මාර්ගාඞ්ගය වැඩීම ය. විදර්ශනාඥානයට අරමුණ හොඳින් ගත හැකි වන්නේ එයට අරමුණෙහි නිසලව පිහිටිය හැකි වුව හොත් ය. එබැවින් බලව්ත සමාධිය හා ඇතිවන විදර්ශනාඥානය ආරම්මණයේ තත්ත්වය පැහැදිලි ලෙස ගන්නා උසස් ඥානයක් වෙයි. සමාධිය දුබල ල්හි දියුණු තියුණු විදර්ශනා ඥානයක් ඇති නො වේ. සමාධිය අනුව විදර්ශනා ඥානය දියුණු වේ. විදර්ශනා ඥානය අනුව සමාධිය දියුණු වේ. ඒ ධර්මයෝ දෙදෙන ඔවුනොවුන්ගේ උපකාරයෙන් දියුණු වන්නෝ ය.