විඥානස්කන්ධය

විඥානය යනු සිතට ම ව්‍යවහාර කරන නමෙකි. අතීතාදි වශයෙන් භින්න වූ අනේක ප්‍ර‍කාර විඥානයන් එක් සමූහයක් කොට සලකා ඒ සියල්ලට ම විඥාන ස්කන්ධය යි කියනු ලැබේ. සිත් සමූහය යනු එහි තේරුමයි. සිත උපදිනුයේ චක්ෂු ශ්‍රෝත්‍ර‍ ඝ්‍රාණ ජිහ්වා කාය මන යන සදොරෙහි ය. එබැවින් උත්පත්ති ද්වාරයන්ගේ වශයෙන් විඥානස්කන්ධය දක්වන සේක් -

“කතමඤ්ච භික්ඛවෙ! විඤ්ඤාණා? ඡයිමෙ භික්ඛවෙ විඤ්ඤාණකායා, චක්ඛුවිඤ්ඤාණං, සොතවිඤ්ඤාණං, ඝාණවිඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණං, කායවිඤ්ඤාණං, මනොවිඤ්ඤාණං, අයං වුච්චති භික්ඛවෙ විඤ්ඤාණං” යනු වදාළ සේක. “මහණෙනි! විඥානය කවරේද යත්? මහණෙනි! චක්ෂුර් විඥානය, ශ්‍රෝත විඥානය, ඝ්‍රාණ විඥානය, ජිහ්වාවිඥානය, කායවිඥානය, මනෝවිඥානය යන මේ සය විඥාන සමූහයෝ ය. මහණෙනි, මෙය විඥානය යි කියනු ලැබේය” යනු එහි තේරුමයි.

මෙයින් විඥානය චක්ෂුර් විඥානාදි වශයෙන් සවැදෑරුම් වන බව ප්‍ර‍කාශිතය. ඇස ඉදිරියට රූපයක් පැමිණි කල්හි ඇස ඇසුරු කොට, ඉදිරියට පැමිණියා වූ වස්තුව දැන ගන්නා වූ සිතක් පහළ වේ. එයට චක්ෂුර් විඥානය යි කියනු ලැබේ. ඇස කරණකොට ගෙන ඇස ඉදිරියෙහි වූ වස්තූන් දැන ගැනීම සිතක් වුව ද සාමාන්‍ය ජනයා එයට සිතය යි නොකියා, පෙනීම යයි ද දැකීම යයි ද කියති.

ශබ්දයක් කණ කරා පැමිණි කල්හි එය දැන ගන්නා සිතක් පහළ වේ. එයට ශෝත්‍ර‍ විඥානයයි කියනු ලැබේ. සාමාන්‍ය ජනයා එයට සිත යයි නො කියා ඇසීම යයි කියති.

නැහැයට ගඳක් හෝ සුවඳක් පැමිණි කල්හි නාසයෙහි පහළ වන්නා වූ ගඳ සුවඳ දැන ගන්නා සිත ඝ්‍රාණ විඥාන නම් වේ. දිවට රසයක් පැමිණි කල්හි ඒ රසය දැන ගන්නා සිතට ජිව්හා විඥානය යි කියනු ලැබේ. මේ දෙකට ද සාමාන්‍ය ජනයා ගඳ සුවඳ දැනීම රස දැනීම යයි කියති.

ශරීරයෙහි යම් කිසිවක් හැපුන විට එය දැන ගන්නා සිතට කාය විඥානය යි කියනු ලැබේ. සාමාන්‍ය ජනයා එයට සිතකැයි නොකියා: රිදීමය, දෑමය, කැසීමය, කිතිය, සනීපය යනාදි නම් කියතා. ඉතිරි සියලු ම දැනීම්වලට මනෝ විඥානය යි කියනු ලැබේ. සාමාන්‍ය ජනයා විසින් බොහෝ සෙයින් සිත යයි කියනු ලබන්නේ ඒ මනෝ විඥානයට ම ය.

ලෝකයෙහි දැකීමය පෙනීමය ඇසීමය රිදුමය සනීපය දැනුමය යනාදි නොයෙක් නම් වලින් ව්‍යවහාර කරනු ලබන දැනීම් සියල්ල ම විඥානස්කන්ධය වූ සිත ම බව දත යුතු. විඥානය හෙවත් සිත කුශලා’කුශල අව්‍යාකෘත වශයෙන් ද ත්‍රිවිධ වන්නේය. දානාදි ක්‍රියා විෂයෙහි පවත්නා වූ අලෝභ අද්වේෂ අමෝහ ශ්‍රඬාදි කුශල පාක්ෂික චෛතසිකයන් හා යුක්ත වූ විඥානය කුශල විඥාන නම් වේ. ඒ කුශල විඥානය ප්‍රභේද වශයෙන් එක්විසි වැදෑරුම් වේ. ප්‍රාණඝාතාදි අකුශල වශයෙන් පවත්නා වූ ලෝභ ද්වේෂ මෝහාදි අකුශල පාක්ෂික චෛතසිකයන් හා යුක්ත වූ විඥානය අකුශල විඥාන නම් වේ. ප්‍රභේද වශයෙන් අකුසල විඥාන දොළසකි. කුශලාකුශල භාවයට නො පැමිණෙන විඥානය අව්‍යාකෘත විඥානය යි. ප්‍රභේද වශයෙන් අව්‍යාකෘත විඥාන සපනසකි.

“ඵෙණපිණ්ඩූපමං රූපං - වෙදනා බුබ්බුලුපමා.

මරීචිකූපමා සඤ්ඤා - සංඛාරා කදලුපමා,

මායූපමඤ්ච විඤ්ඤාණං - දීපිතාදිච්චබන්ධුනා”

“රූපස්කන්ධය පෙණ පිඬකට බඳු උපමා ඇත්තේය. වේදනාස්කන්ධය දිය බුබුලකට බඳු උපමා ඇත්තේය, සංඥාස්කන්ධය මිරිඟුවකට බඳු උපමා ඇත්තේය. සංස්කාරස්කන්ධය කෙසෙල් කඳකට බඳු උපමා ඇත්තේය. විඥානස්කන්ධය මායාවකට - විජ්ජාවකට බඳු උපමා ඇත්තේය. මෙසේ බුදුරජාණන් වහ්නසේ විසින් දක්වන ලද්දේය.” යනු ගාථාවෙහි තේරුමයි.