දේශනා ක්‍රමයන්හි පරතෙරට පැමිණියා වූ තථාගතයන් වහන්සේ එක ම අර්ථය සිය ගණන් දහස් ගණන් ක්‍රමවලින් දේශනා කිරීමෙහි පොහොසත් වූ සේක. යම්කිසි කරුණක් ගැන එක් ආකාරයකින් කරන්නා වූ දේශනාවක් අසා ඒ කාරණය හැම දෙනාට ම අවබෝධ නොවන බැවින් තථාගතයන් වහන්සේ ඒ ඒ තැනැත්තන්ට අවබෝධ වන ක්‍රම බල බලා එක ම කාරණය නොයෙක් තැන්වල දී නොයෙක් සත්ත්වයන් හට නොයෙක් ක්‍රමවලින් දෙසූ සේක. එබැවින් චතුරාර්‍ය්‍ය සත්‍යය පිළිබඳ ව දේශිත - සූත්‍ර ධර්මයෝ බොහෝ වෙති. ඒ සූත්‍රයන්හි නොයෙක් ක්‍රම වලින් චතුරාර්‍ය්‍ය සත්‍යය ප්‍රකාශ කර තිබේ. ඉන් එක් සූත්‍රයක දුඃඛසත්‍යය දේශනා කර තිබෙන සැටි මෙසේය.
“කතමඤ්ච භික්ඛවෙ! දුක්ඛං අරිය සච්චං? පඤ්චු-පාදානක්ඛන්ධාතිස්ස වචනීයං, සෙය්‍යථිදං? රූපුපාදනක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤඤුපාදානක්ඛන්ධො, සංඛාරුපාදානක්-ඛන්ධො, විඤ්ඤාණුපාදනක්ඛන්ධො ඉදං වුච්චති භික්ඛවෙ? දුක්ඛං අරියසච්චං”
මෙහි තේරුම මෙසේය :-
“මහණෙනි! දුඃඛාර්ය්‍ය සත්‍යය කවරේද? මෙසේ අසතහොත් එයට පිළිතුරු වශයෙන් පඤ්චෝපාදානස්කන්ධයෝයයි කිය යුතු වන්නේ ය. ඔවුහු කවරහුද? රූපෝපාදානස්කන්ධය, වේදනෝපාදානස්කන්ධය, සංඥෝපාදානස්කන්ධය, සංස්කාරෝපාදානස්කන්ධය, විඥානෝපා-දානස්කන්ධය යන මොහුය. මහණෙනි, මෙය දුඃඛාර්ය්‍ය සත්‍යයි කියනු ලැබේ.”
දුඃඛාර්ය්‍ය සත්‍යය යනු පඤ්චෝපාදානස්කන්ධය යි මේ දේශනාවෙන් දක්වන ලදි. දුඃඛාර්ය්‍ය සත්‍යය යනු කුමක්දැයි ප්‍රශ්න කරත හොත් උපාදානස්කන්ධ පස දුක්ඛාර්ය්‍ය සත්‍යය යි කිය යුතුය. උපාදානස්කන්ධයෝය යනු උපාදානයන්ට විෂය වන ස්කන්ධයෝ ම ය. උපාදානස්කන්ධ, ස්කන්ධ යන දෙකින් ස්කන්ධ යන වචනය බෞද්ධයන්ට වඩා පුරුදු වචනය යි. එබැවින් මෙය කියවන්නන්ට පහසුවනු සඳහා පඤ්චෝපාදානස්කන්ධය වෙනුවට පඤ්චස්කන්ධය දක්වනු ලැබේ. පඤ්චස්කන්ධය දතහොත් පඤ්චෝපාදානස්කන්ධය ද දත්තේ වේ.
රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥස්කන්ධය, සංස්කාර-ස්කන්ධය, විඥානස්කන්ධය යන මොවුහුය.