“අත්ථාපත්ති කුසලචිත්තො ආපජ්ජති. අත්ථාපත්ති අකුසලචිත්තො ආපජ්ජති. අත්ථාපත්ති අව්යාකතචිත්තො ආපජ්ජති”
යනුවෙන් විනය පිටකයෙහි පරිවාරපාලියෙහි කුශල චිත්තයෙන් වන ආපත්තිය, අකුශල චිත්තයෙන් වන ආපත්තිය, අව්‍යාකෘත චිත්තයෙන් වන ආපත්තිය කියා ඇවැත් තුන් කොටසක් ඇති බව වදාරා තිබේ.
පූජා කිරීමට මල් නෙලීම, බෝමලු සෑමලු ආදිය පිරිසිදු කිරීම පිණිස පොළොව කෙටීම, තෘණ ඉවත් කිරීම යනාදියෙන් ඇවැත් වන්නේ කුශල චිත්තයෙනි. ප්‍රාණඝාතාදියෙන් ඇවැත් වන්නේ අකුශල චිත්තයෙනි. රහතුන් ඇවැත්වලට පැමිණෙන්නේ අව්‍යාකෘත චිත්තයෙනි. ඇතැම් ආපත්තියකට කුශලාකුශල අව්‍යාකෘත යන ත්රිචිත්තයෙන් ම පැමිණිය හැකි ය. මවුපිය උපස්ථානය පිණිස හෝ දුඃඛිතයන්ට උපකාර කිරීම පිණිස හෝ විහාර චෛත්‍ය ධර්මශාලාදි යමක් කිරීම පිණිස හෝ මුදල් පිළිගැනීමෙන් වන ඇවත වන්නේ කුශල චිත්තයෙනි. ලෝභයෙන් මුදල් පිළිගැනීමේ දී ඇවතට පැමිණෙන්නේ අකුශල චිත්තයෙනි. ඒ ඇවතට රහතුන් පැමිණෙන්නේ අව්‍යාකෘත චිත්තයෙනි.
විනය ක්‍රමය අනිකකි. ධර්ම ක්‍රමය අනිකකි. කුශලා - කුශල විභාගය කරන්නේ විනය ක්‍රමයෙන් නොව ධර්ම ක්‍රමයෙනි. කර්ම විපාක පවසන්නේ ද ධර්ම ක්‍රමයෙනි. කුශල චිත්තයෙන් වන ඇවතක් පාපයකැයි කීම මහා ධර්ම විරෝධී කියමනකි. කුශල චිත්තයකින් අනිෂ්ට විපාකයන් ඇති කරතැයි කියතහොත් එය ධර්ම විරෝධී මිථ්‍යා කථාවෙකි. මේවා ගැන කිසිවක් නො දත් ඇතැම් පණ්ඩිතමානීහු හැම ඇවතක් ම අපායගාමී පාපකර්මයක් වශයෙන් කථා කරමින් නූගත් ජනයා මුළා කෙරෙමින් භික්ෂූන්ටත් ගර්හා කරමින් රට ගිනි තබති.