ඇතැම් ගෘහස්ථයෝ අලජ්ජි දුශ්ශීල ශ්‍රමණයන් හා එක් වී ඔවුන් ගේ අලජ්ජිකම් දුසිල්කම්වලට අනුබල දෙමින් ඒ භික්ෂූන්ගෙන් ප්‍රයෝජන ලබති. පව්කම්වලට අනුබලදීමක් වශයෙන් දන් දෙන්නා වූ එබඳු ගිහියන්ට ඒ දන් දීමෙනුත් පව් සිදුවිය හැකි ය.
යමෙක් සංඝරත්නය සලකා ගෙන පින් සිදු කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ඒ භික්ෂූන්ට දන් දේ නම් ඔහුට එයින් පින් සිදු වේ.
“භවිස්සන්ති ඛො පනානන්ද, අනාගතමද්ධානං ගොත්‍රභූනො කාසාවකණ්ඨා දුස්සීලා පාපධම්මා. තෙසු සංඝං උද්දිස්ස දානං දස්සන්ති. තදාපාහං ආනන්ද, සංඝ ගතං දක්ඛිණං අසංඛෙය්‍යං අප්පමෙය්‍යං වදාමි”
යනුවෙන් “ආනන්දය, අනාගතයෙහි ශ්‍රමණ නාමය පමණක් ඇත්තා වූ කාසාවකණ්ඨක දුශ්ශීලයෝ ඇති වන්නාහ. ඔවුන්හට ද සංඝයා උදෙසා දන් දෙන්නාහුය. ආනන්දය, එකල්හිත් සංඝිකදානයා ගේ විපාකය අසංඛෙය්‍ය අප්‍රමෙය්‍ය බව කියමි” යි වදාරා ඇති බැවින් සංඝරත්නය සලකාගෙන දුශ්ශීලයන්ට වුව ද දෙන තැනැත්තාට මහා පුණ්‍ය සම්භාරයක් අත්පත්වන බව කිය යුතු ය. දුශ්ශීලයන්ගේත් ගුණ නැත්තේ නො වේ. ඔවුන් කෙරෙහි ඇත්තා වූ යම්කිසි ගුණයක් සලකා දුශ්ශීලයනට පෞද්ගලික වශයෙන් දන් දෙන්නා වූ තැනැත්තාට ද පින් මිස පාපයක් සිදු නො වන්නේ ය. පව් සිදුවන්නේ අලජ්ජිකම් දුස්සීලකම්වලට අනුබලදීමේ අදහසින් දන් දෙන්නා වූ තැනැත්තන්ට පමණෙකි. පින් ලැබීමේ බලාපොරොත්තුවෙන් දන් දෙන බෞද්ධයෝ අලජ්ජිකම් දුස්සීලකම්වලට අනුබල දීමේ අදහසින් දන් නො දෙති.