දන් දීමට නුසුදුසු දන් නො දිය යුතු පුද්ගලයකු ඇති බවක් බුදුරජාණන් වහන්සේ නො වදාළ සේක. උන් වහන්සේ විසින් වදාරා ඇත්තේ, සියල්ලන් ම ප්‍රතිග්‍රාහකයන් බව ය. ගුණවත් වූ ද, ගුණහීන වූ ද සකල සත්ත්වයන්ට ම දන් දීම් කළ යුතු බව ය. දන්දීම හා එය වැළැක්වීම ගැන තථාගතයන් වහන්සේ වදාරා ඇත්තේ මෙසේ ය:-
“යො ඛො වච්ඡ, පරං දානං දදන්තං වාරෙති, සො තිණ්ණං අන්තරායකරො හොති, තිණ්ණං පාරිපන්ථිකො. කතමෙසං තිණ්ණං? දායකස්ස පුඤ්ඤන්තරායකරො හොති, පටිග්ගාහකානං ලාභන්තරායකරො හොති, පුබ්බේ ච ඛො පනස්ස අත්තා ඛතො ච හොති, උපහතො ච. යො ඛො වච්ඡ, පරං දානං දදන්තං වාරෙති, සො ඉමෙසං තිණ්ණං අන්තරායකරො හොති, තිණ්ණං පාරිපන්ථිකො.
අහං ඛො පන වච්ඡ: එවං වදාමි. යෙ පි තෙ චන්දනිකාය වා ඔලිගල්ලෙ වා පාණා තත්‍රා පි යො ථාලිධොවනං වා සරාවධොවනං වා ඡඩ්ඪෙති යෙ තත්ථ පාණා තෙ තෙන යාපෙන්තූති තතො නිදානම්පාහං වච්ඡ, පුඤ්ඤස්ස ආගමං වදාමි. කො පන වාදො මනුස්සභූතෙ? අපි චාහං වච්ඡ, සීලවතො දින්නං මහප්ඵලං වදාමි නො තථා දුස්සීලෙ.
(අංගුත්තර තික නිපාත)
තේරුම :-
“වච්ඡය: යමෙක් දන් දෙන්නා වූ අනුන් එයින් වළක්වා ද, හෙතෙම තිදෙනකුට අන්තරාය කරන්නේ තිදෙනකුට අපරාධ කරන්නේ වේ. කවර තිදෙනකුට ද යත්? දායකයා ගේ පිනට අන්තරාය කරන්නේ වේ. ප්‍රතිග්‍රාහකයා ගේ ලාභයට අන්තරාය කරන්නේ වේ. පළමුවෙන් ම තමා ගේ ගුණ සාරා ගත්තේ විනාශ කර ගත්තේ වේ. වච්ඡය, යමෙක් දන් දෙන්නා වූ, අනුන් එයින් වළක්වා ද ඔහු මේ තිදෙනාට අන්තරාය කරන්නේ වේ, අපරාධ කරන්නේ වේ.
වච්ඡය, මම වනාහි මෙසේ කියමි. කුණුවළවල හෝ කාණුවල හෝ යම් ඒ ප්‍රාණීහු වෙත් ද, යමෙක් ඒවායේ වෙසෙන ප්‍රාණීහු මෙයින් යැපෙත්වා යි සැළි සේදූ දිය හෝ මූඩි සේදූ දිය හෝ ඒවාට වත් කෙරේ ද, වච්ඡය. එයින් ද පින් සිදු වන බව මම කියමි. මිනිසකුට දන් දීම ගැන කියනුම කිම? වච්ඡය, තවත් කරුණක් නම්: සිල්වතාට දීම මහත්ඵලය යි ද, දුශ්ශීලයාට දීම එපමණ මහත්ඵල නො වේය යි ද කියමි.” මේ ඒ දේශනාවේ තේරුම ය.
මේ දේශනාවෙන් දැක්වෙන්නේ දුශ්ශීලයන්ට නො දිය යුතු ය. අලජ්ජීන්ට නො දිය යුතුය කියා අනුන් දෙන දන් වළක්වන අසත්පුරුෂයා: දෙන තැනැත්තා ගේ පින නැති කිරීම ය, ලබන තැනැත්තා ගේ ආහාරය නැති කිරීම ය, සත්පුරුෂ ගුණය නැතිකර ගැනීමෙන් ඉමහත් පවක් කර ගැනීම ය යන මේ කරුණු තුනෙන් අනුන්ටත් තමාටත් අන්තරායයක් කරන බව හා සැම දෙනාට ම දන් දිය යුතු බව ය. එයින් දක්වන තවත් කාරණයක් නම්, සිල්වතුන්ට දීම මහත්ඵල බවත්, දුශ්ශීලයන්ට දීම එතරම් මහත්ඵල නො වන බවත් ය. දුශ්ශීලයාට දීම මහත්ඵල නැතය යි කියනුයේ, එයින් පින් සිදුවීමක් නැති නිසා ය යි වරදවා තේරුම් නො ගත යුතු ය. එයින් දක්වන්නේ සිල්වතාට දීමෙන් ලැබෙන පිනට වඩා දුශ්ශීලයාට දීමෙන් ලැබෙන පින කුඩා බව පමණෙකි. දන්දීම මහත්ඵල වීමට දායකයා ගේ ශීලයත් උවමනා ය. දායකයා සිල්වත් නම් ප්‍රතිග්‍රාහකයා දුශ්ශීල වුවත් දානය මහත්ඵල වන බව-
“යො සීලවා දුස්සීලෙසු දදාති දානං
ධම්මෙන ලද්ධං සුපසන්නචිත්තො
අභිසද්දහං කම්මඵලං උළාරං
සා දක්ඛිණා දායකතො විසුජ්ඣති”
යනුවෙන් වදාරා තිබේ. “යම් සිල්වතෙක් මහත් වූ කර්‍ම ඵලය විශ්වාස කරමින් දැහැමින් ලැබූ වස්තුව පහන් සිතින් දුශ්ශීලයන්ට දේ නම් ඒ දානය දායකයා ගේ ගුණය නිසා මහත්ඵල වේය” යනු එහි අදහස ය. දන් දීමට සිල්වතුන් ඕනෑ කරන්නේ දුශ්ශීල දායකයන්ට ය. දායකයා දුශ්ශීල වුවත් ප්‍රතිග්‍රාහකයා සිල්වත් නම් එයින් ද දානය මහත්ඵල වන බව-
“යො දුස්සීලො සීලවන්තේසු දදාති දානං
අධම්මෙන ලද්ධං අප්පසන්නචිත්තො
අනභිසද්දහං කම්මඵලං උලාරං
සා දක්ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති”
යනුවෙන් වදාරා තිබේ. “යම් දුශ්ශීලයෙක් මහත් වූ කර්මඵලය ගැන විශ්වාසයක් නො තබමින් අප්‍රසන්න සිතින් ධර්මයෙන් ලැබූ දෙය සීලවන්තයන්ට දේ නම් ඒ දානය ප්‍රතිග්‍රාහකයන් ගේ ගුණය නිසා මහත්ඵල වේ ය” යනු එහි තේරුම ය. කැළණි ගංමුවදොර වාසය කළ කෙවුලෙක් ‘දීඝසුම්ම’ නම් සිල්වත් තෙරුන් වහන්සේ කෙනකුට තුන් වරක් පිණ්ඩපාතය දී මරණ කාලයේ දී ‘දීඝසුම්ම තේරුන් වහන්සේට දුන් පිණ්ඩපාතය මා ගොඩ ගන්නේය’ යි කීවේය යි දක්ඛිණා විභංග සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. කෙවුලා දුශ්ශීල වුව ද, දීඝසුම්ම තෙරුන් වහන්සේ ගේ සිල්වත් බව නිසා දානය මහත්ඵල වීමෙන් ඔහුට අපායෙන් මිදෙන්නට ලැබිණ. දුශ්ශීල දායකයකු විසින් දුශ්ශීල ප්‍රතිග්‍රාහකයකුට දෙන දානය දෙපසින් ම මහත්ඵල නො වන බව-
“යො දුස්සීලො දුස්සීලෙසු දදාති දානං
අධම්මේන ලද්ධං අප්පසන්නචිත්තො
අනභිසද්දහං කම්මඵලං උළාරං
සා දක්ඛිණා නෙවුභතො විසුජ්ඣති”
වදාරා තිබේ. “යම් දුශ්ශීලයෙක් කර්‍ම ඵලය කෙරෙහි විශ්වාසය නො තබමින් අධර්මයෙන් ලැබූ දෙය නො පහන් සිතින් දුශ්ශීලයන්ට දේ ද, ඒ දානය දායක ප්‍රතිග්‍රාහක දෙපක්‍ෂය නිසා ම මහත්ඵල නො වේ ය” යනු එහි තේරුම ය.
දුශ්ශීලයන්ට දෙන දානය මහත්ඵල නො වන බවට සාධකයක් වශයෙන් වැද්දකු මිය ගිය කෙනකු උදෙසා දුන් දානයක් දක්වා තිබේ. ඒ වැද්දා මිය ගිය ඥාතියකු උදෙසා තුන් වරක් ම දුශ්ශීලයකුට දන් දී පින් දුන්නේ ය. ප්‍රේතයාට එයින් පිහිටක් නො වී “දුශ්ශීලයා මාගේ දානය පැහැර ගත්තේය” යි කෑ ගැසී ය. පසුව සිල්වත් භික්ෂුවකට දන් දී පින් දුන් කාලයේ ප්‍රේතයාට පින් ලැබිණ. මේ කථාව වරදවා තේරුම් ගත් ඇතැම්හු දුශ්ශීලයන්ට දන් දීමෙහි පිනක් නැති බව කියති. මේ කථාවෙන් දක්වන්නේ දුශ්ශීලයාට දන් දිමේ කුශලය දුබල බැවින් ඒ ප්‍රේතයාට දුකින් මිදීමට ඒ පින ප්‍රමාණවත් නො වූ බවය. දුශ්ශීලයාට දීමෙන් පින් නැත්තේ නො වේ. සිල්වත් දායකයකු විසින් සිල්වතකුට දන් දෙතොත් එය ඉතාම මහත්ඵල ඇති දානයක් වන බව-
“යො සීලවා සීලවන්තෙසු දදාති දානං
ධම්මේන ලද්ධං සුපසන්නචිත්තො
අභිසද්දහං කම්මඵලං උළාරං
තං වෙ දානං විපුලඵලන්ති බ්‍රෑමි.”
යනුවෙන් වදාරා තිබේ. “යම් සිල්වතෙක් කර්‍මඵලය අදහමින් දැහැමින් ලත් වස්තුව පහන් සිතින් සිල්වතුන්ට ම දේ නම්, ඒ දානය ඒකාන්තයෙන් මහත්ඵල දානය යි කියමිය” යනු එහි අදහස ය. මේ කරුණු වලින් දුශ්ශීලයාත් දන් දීමට සුදුස්සකු බවත්, දුශ්ශීලයන්ට දීමෙනුත් පින් සිදුවන බවත් තේරුම් ගත යුතු ය.