48. ආනිසංස, ඵල, විපාක යන මේ වචනවලින් කියැවෙන්නේ එක ම අර්ථයක් ද? නැතහොත් එකිනෙකට වෙනස් අර්ථ ද?

ආනිසංස - ඵල - විපාක යන මේ වචන කර්මය කළවුන්ට ඒ කර්මය හේතු කොට ලැබෙන සියලු සැප - දුක්, සම්පත් - විපත්වලට සාමාන්‍යයෙන් කියන නාමයෝ ය. අකුශල කර්මයෙන් ලැබෙන දේවල් කියන තැන්වල “ඵල - විපාක” යන වචන දෙක මිස ආනිසංස යන වචනය යෙදී තිබෙනු නො දක්නා ලැබේ. “මහප්ඵලා මහානිසංසාති උභයමෙතං අත්ථතො එකං, බ්‍යඤ්ජන මෙව නානං” යි “මහප්ඵල මහානිසංස යන වචන දෙක අර්ථයෙන් සමාන ය; වචන පමණක් වෙනස් ය” යි ආකංඛෙය්‍ය සූත්‍ර‍ අටුවාවෙහි දක්වා තිබේ. සමහර තැනෙක ආනිසංස ඵල යන වචන දෙක එකිනෙකට වෙනස් අර්ථ දෙකක් දැක්විමට ද යොදා ඇත්තේ ය. “මහන්තං වා ලොකියසුඛං ඵලන්තීති මහප්ඵලා, මහතො ලොකුත්තර සුඛස්ස පච්චයා හොන්තීති මහප්ඵලා” යනුවෙන් ඉහත කී අටුවාවෙහි ම කශලය කළ තැනැත්තාට ලැබෙන ලෞකික සැපය හා සම්පත්තිය ඵලය බවත් ලෝකෝත්තර සුඛය ආනිසංසය බවත් දක්වා තිබේ. “ලොකිය සුඛෙන ඵල භූතෙන මහප්ඵලා ලොකුත්තරෙන මහානිසංසා” යි මනෝරථපූරණියෙහි ද එසේ ම දක්වා තිබේ. කර්ම කථාවෙන් අන්‍ය ස්ථානයන්හි ආනිසංස යන වචනයෙන් ගුණය කියැවේ. “පඤ්චිමෙ භික්ඛවෙ, ආනිසංසා යාගුයා” “පඤ්චිමෙ භික්ඛවෙ, ආනිසංසා දන්තකට්ඨස්ස ඛාදනෙ” යනාදි තැන්වල ආනිසංස යන වචනයෙන් දැක්වෙන්නේ ඒ දේවලින් ලැබෙන ගුණය ය. සූත්‍ර‍ පිටකයෙහි විපාක යන වචනය කුශලාකුශල කර්මයන් නිසා ඇතිවන සියල්ල ම කීම සඳහා යොදා ඇතත් අභිධර්ම පිටකයෙහි එය යොදා ඇත්තේ ප්‍ර‍තිසන්ධි භවාංගාදි කර්ම හේතුවෙන් හටගන්නා අරූප ධර්මයන් දැක්වීම සඳහා පමණෙකි. අභිධර්මයෙහි විපාක ව්‍යවහාරය ඇත්තේ විපාක චිත්ත චෛතසිකයන් දැක්වීමට පමණෙකි. සත්ත්ව ශරීරයෙහි කර්මයෙන් ම හට ගන්නා රූපයන්ට ද කම්මජ යන නම මිස විපාක යන නම යොදා නැත.

‘ආනිසංස’ යන වචනය බොහෝ දෙනකුන් විසින් නොයෙක් විට වරදවා ව්‍යවහාර කරනු ඇසේ. ඇතැම් නාහිමිවරුන් විසින් පවා පුණ්‍යානුමෝදනා කිරීමේ දී ‘දහම් ඇසීමේ කුශලානිසංසයන් හේතු කොට දෙවි මිනිස් සැප හා නිවන් සැප ලැබේවා’ යි ද, “දන් පිරිනැමීමේ බුද්ධ පූජා කිරීමේ කුශලානිසංසය හේතු කොට දෙවි මිනිස් සැප හා නිවන් සැප ලැබේවා” යි ද කියනු නොයෙක් විට ඇසේ. කුශලයේ ආනිසංසය නම් දෙවි මිනිස් සැප හා නිවන් සැපය ය. ඒ ආනිසංස ලැබෙන්නේ කුශලය හේතු කොට ය. ආනිසංසය හේතු කොට ඒ සැප සම්පත් ලැබේවාය කීමෙහි තේරුමක් නැත. කුශලයේ ආනිසංස වශයෙන් දෙවි මිනිස් සැපය හා නිවන් සැප ලැබේවාය කියත හොත් වරදක් නැත. හොඳ ම ක්‍ර‍මය නම් “කුශලය හේතු කොට ඒ සැප සම්පත් ලැබේවාය”යි කීම ය. බොහෝ දෙනා නිතර වරද්දන මේ කාරණය සියලු ම භික්ෂූන් වහන්සේලා ගේ සැලකිල්ලට භාජන වේවා!