මඝ මානවකයා බොහෝ පින්කම් කොට තව්තිසා දෙව්ලොව ඉපද එහි රජ විය. ඔහු හා එක්ව පින් කළ සෙස්සෝ ද එහි ම උපන්හ. සුජාතා නම් වූ ඔහු ගේ භාර්‍ය්‍යාව “මාගේ ස්වාමිපුත්‍රයා කරන පින් මටත් අයිතිය, මා පින් කළත් ඒවා ඔහුටත් අයිතිය” කියා සිතා කිසි පින්කමක් නො කොට හිමියා කරන පින් වලින් ම ස්වර්ගයට යන බලාපොරොත්තුවෙන් සිට මරණින් මතු කෙකිණියක් වූවා ය. මේ කථාව අනුව සැමියා කරන කර්මය බිරියට හෝ බිරිය කරන කර්මය සැමියාට හෝ මාපියන් කරන කර්මය දරුවන්ට හෝ දරුවන් කරන කර්මය මා පියන්ට හෝ හිමි නො වන බව කිය යුතු ය. එබැවින් කර්මයකින් ඒ කර්මය කළ තැනැත්තා මිස, අනිකකු සුගතියට හෝ දුර්ගතියට නො පමුණුවන බව ද කිය යුතු ය. කර්මය කරන අවස්ථාවේ දී එය කරන පුද්ගලයා හා එක්ව වාසය කරන්නා වූ ද, නෑ මිතුරු සබඳකම් ඇත්තා වූ ද අන්‍යයන්ට කර්මය හිමි නො වන නමුත් ඇතැම් බලවත් කර්මයක විපාකය ලබන අවස්ථාවෙහි දී එය ලබන තැනැත්තා හා එක්ව වාසය කරන්නා වූ ද, සම්බන්ධකම් ඇත්තා වූ ද අන්‍යයන්ටත් ඒ විපාකය එක්තරා ප්‍රමාණයකින් විඳින්නට සමහර අවස්ථාවල දී සිදුවන බව කිය යුතු ය.
“දුවිධංහි කම්මඵලං නාම: විපාකඵලං නිසන්ද ඵලන්ති. තත්ථ විපාකඵලං කම්මකාරකස්සෙව හොති න අඤ්ඤස්ස. නිසන්දඵලං පන අඤ්ඤෙසම්පි සාධාරණමෙව. ආනන්දසෙට්ඨි වත්ථු එත්ථ වත්තබ්බං”
යනුවෙන් “විපාක ඵලය ය, නිස්සන්ද ඵලය යි කර්ම ඵලය දෙවැදෑරුම් වේ ය, එයින් විපාක ඵලය කර්මය කළ තැනැත්තාට ම වේ ය, අනිකකුට නො වේ ය. නිස්සන්ද ඵලය වනාහි අනුන්ටත් සාධාරණ වේ ය. මේ කාරණයෙහි ආනන්ද සිටු ගේ කථාව කිය යුතුය”යි පරමත්ථදීපනී ටීකාවෙහි දක්වා ඇත්තේ ය. විපාක ඵලය යනු කර්මය කළ තැනැත්තාට එයින් ලැබෙන ඵලය ය. නිස්සන්ද ඵලය යනු කර්මය කළ තැනැත්තාට ලැබෙන ඵලයෙන් ගලා යන ඵලය ය.
ආනන්ද සිටු වනාහි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි සැවැත්නුවර විසූ සතළිස් කෝටියක් ධනය තුබූ මහ ධනපතියෙකි. ඔහු කිසිවකුට කවදාවත් සහල් මිටක් පමණවත් නො දෙන ලද තද මසුරෙකි. ඔහු මසකට දෙවරක් නෑයන් රැස්කරවා කිසිවකුට කිසිවක් නො දෙමින් ධනය රැස්කරන ලෙස ඔවුනට අනුශාසනා කෙළේ ය. පුත්‍රයාට දිනකට තුන් වර බැගින් එසේ අනුශාසනා කෙළේ ය. කිසි පිනක් නො කොට අනුන් ද මසුරුකමෙහි පිහිටුවමින් අනුන් ගේ දීම් ද වළක්වමින් ජීවත් වූ හෙතෙම කලුරිය කොට සැවැත්නුවර සමීපයේ පවුල් දහසක් ඇති රොඩී ගමක රොඩී ගැහැණියක කුස පිළිසිඳ ගත්තේ ය.
තමා ගේ මසුරුකමින් පමණක් නො නැවතී අනුන් ද මසුරුකමෙහි පිහිටවීම් වශයෙන් ඔහු කළේ බලවත් පාපකර්මයෙකි. පිළිසිඳ ගැනීමේ පටන් ම ඒ පාප කර්මය ඔහුට විපාක දෙන්නට විය. ඒ සැඩොල් ගමේ වැසියෝ එකට ම රස්සාව කරමින් ජීවත් වූ පිරිසකි. ආනන්ද සිටු ගේ කාලකණ්ණිකම ඔවුන් ද යට කොට ගලා ගියේ ය. ඔහු පිළිසිඳ ගැනීමෙන් පසු ගමේ සෑම දෙනාට ම රස්සාව නැති විය. ඔවුන්ට ඉතා අමාරුවෙන් ජීවත් වන්නට සිදු විය. කොතෙක් වෙහෙසී වැඩ කළත් පසුදින පිණිස සහල් පතක්වත් ඔවුනට ඉතිරි කර ගත නො හැකි විය. මීට පෙර කවදාවත් සිදු නො වූ අන්දමට අපට අමාරුවට පත් වන්නට සිදු වී තිබෙන්නේ “අප අතර ඇති කාලකණ්ණියකු නිසා විය හැකිය” යි ඔවුහු දෙකොටසකට බෙදුණාහ. ඉන් පසු එක් කොටසකට හොඳ විය. ආනන්ද සිටු ගේ මව සිටිනා කොටසට පෙර සේම විය. “කාලකණ්ණියා ඇත්තේ අපේ පිරිසේය!” යි නැවතත් ඔවුහු බෙදුණාහ. මෙසේ ක්‍රමයෙන් බෙදි බෙදී යාමෙන් ආනන්දු සිටු පිළිසිඳගෙන ඉන්නා පවුල වෙන් වූහ. අන්තිමේ දී ආනන්ද සිටු ගේ මව ඒ පවුලෙන් ද බැහැර කරනු ලැබුවා ය. ඉන් පසු ඕ ඉතා දුකින් ජීවත් වෙමින් දරුවා ප්‍රසූත කොට ඔහු තරමක් ලොකු වූවාට පසු සිඟා කනු සඳහා කබලක් අතට දී පිටත් කර යවා ඒ ස්ත්‍රිය ද ඔහුගෙන් මිදුණා ය. මේ කථාව දම්පියාටුවාවේ බාල වර්ගයේ සඳහන් වන්නේ ය. ආනන්ද සිටු ගේ අකුශල කර්ම විපාකය ඔහු උපන් පවුලටත් ගමේ සැම දෙනාටත් එක්තරා ප්‍රමාණයකින් විඳින්නට සිදු වූ බව මේ කථාවෙන් දත හැකි ය.
පෙර තුන් අවුරුද්දක් වැඩ කොට ලබා ගත් ලක්ෂයක් වටිනා බත් තලිය පසේ බුදුන් වහන්සේට පිදූ ගැමියා ඒ පිනෙන් බොහෝ කලක් දෙව් සැප විඳ අප බුදුන් වහන්සේ ගේ කාලයෙහි සැවැත් නුවර කුල ගෙයක පිළිසිඳ ගත්තේ ය. ඔහු පිළිසිඳගත් දිනයේ පටන් ඒ ගෙයි කිසිවකුට කිසි දුකක් නො වීය. එබැවින් ඒ කුමරාට ‘සුඛ කුමාර’ යන නම තැබී ය. ඒ ගෙයි කිසිවකුට දුකක් නො වීම සැම දෙනාට ම සැප ම ලැබීම ඒ කුමාරයා ගේ කුශලයේ ඵලයෙකි. ඒ කථා ප්‍රවෘත්තියෙන් එක් අයකු ගේ කුශල කර්ම ඵලය තරමකින් ඔහු හා සම්බන්ධය ඇති අන්‍යයන්ටත් ලැබෙන බව තේරුම් ගත හැකි ය. එක් අයකු ගේ පිනෙන් ඔහු ඇසුරු කරන බොහෝ දෙනකුන් සැප ලබන බව නොයෙක් තැන්වලින් දක්නා ලැබේ. ඒ අය එක් පුද්ගලයකු ගේ පිනෙන් සැප ලබා සිටි බව හොඳට ම තේරුම් ගත හැකි වන්නේ පින් ඇති තැනැත්තා කාලක්‍රියා කිරීමෙන් පසු ඔහු නිසා සැපවත්ව උන් අයට ඒ සැපය නැතිවී ගොස් තිබෙන බව පෙනීමෙනි. පරීක්ෂාවෙන් ලෝකය දෙස බැලුව හොත් එබඳු තැන් බොහෝ ගණනක් දැකිය හැකි වනු ඇත.