දෙන තැනැත්තා විසින් අතට ගෙන ප්‍රතිග්‍රාහකයා ගේ අතෙහි නො තැබිය හැකි දෙයක් දීමේ දී පූජා කිරීමේ දී ඒ වස්තුව දෙමිය පූජා කරමිය කියා ප්‍රතිග්‍රාහකයා ගේ අතට පැන් වත්කිරීම පෞරාණික චාරිත්‍රයෙකි. එය කවර කලෙක පටන් ගත්තාදැ යි නො කිය හැකි තරමට පැරණි සිරිතකි. වෙසතුරු රජතුමා ජීවත් වූයේ අවුරුදු කෝටි ගණනකට ඉහත අතීතයේ ය. යමක් දීමේ දී පැන් වත් කිරීමේ සිරිත එකල ද පැවති බව වෙසතුරු රජතුමා විසින් ඇතු දන් දීම දක්වන “කුසුම මිස්සකං ගන්ධොදක භරිතං සුවණ්ණ භිංකාරං ගහෙත්වා ඉතො එථා ති අලංකත රජතදාම සදිසං හත්ථිසොණ්ඩං තෙසං හත්ථෙ ඨපෙත්වා උදකං පාතෙත්වා අලංකත වාරණං අදසි” යන ජාතක අටුවා පාඨයෙන් පෙනේ.
බිම්සර රජතුමා වේළුවනාරාමය පූජා කිරීමේ දී ද තථාගතයන් වහන්සේ ගේ අතට පැන් වත් කළ බව “නවතපනංගාර සංකාසෙන සුවණ්ණභිංකාරෙන සුරභි කුසුම වාසිත මිව මණිවණ්ණමුදකං ගහෙත්වා වෙළුවනාරාමං පරිච්චජන්තො දසබලස්ස හත්ථෙ උදකං පාතෙසි” යි බුද්ධවංස අටුවාවෙහි දක්වා තිබේ. දේවානම්පියතිස්ස රජතුමා විසින් මහමෙවුනා උයන පූජා කිරීමේදීත් මිහිඳු මහරහතන් වහන්සේ අතට පැන් වත්කළ බව “රාජා තුට්ඨො සුවණ්ණ භිංකාරං ගහෙත්වා ථෙරස්ස හත්ථෙ උදකං පාතෙත්වා මහාමෙඝවනුය්‍යානං අදාසි” යි සමන්තපාසාදිකා විනය අටුවාවෙහි දක්වා තිබේ.
මේ පැන් වත්කිරීම කරන්නේ මෙනම් දෙය දෙමිය කියා හෝ පූජා කරමිය කියා හෝ දෙන තැනැත්තා ගේ මුවින් කියමිනි. පැන් වත්කිරීමේ අදහස: තම අත තිබෙන ජලය ප්‍රතිග්‍රාහකයාට දෙන්නාක් මෙන් මුවින් දෙනවාය කියන වස්තුව ප්‍රතිග්‍රාහකයාට හිමි කරන බව ඇඟවීම ය. පැන් වත්කිරීමෙන් පසු ප්‍රතිග්‍රාහකයා විසින් ඒ වස්තුව තමාට හිමි කළ සැටියට සලකනු ලැබේ. පිනත් අතින් ගෙන අනිකකුට දිය නොහෙන දෙයක් බැවින් පින්දීම හැඟවීමට ද මේ පැන් වත්කිරීම සිදු කරති. මේ පින අසවලාට වේවා! මේ පින අසවලා අනුමෝදන් වේවා යි පැන් වත් කිරීමක් නො කොට කීයේ ද පින්දීම සිදුවේ. පැන් වත්කරන්නේ වැඩි සැලකිල්ලක් වශයෙනි.
පින්දීමේ දී පැන් වත්කිරීම කවර කලෙක පටන් ගන්නා ලද්දේ ද යන වග දැන ගැනීමට පොතපතින් සාධකයක් සොයා ගන්නට නැත. මේ බුදු සස්නෙහි පළමුවෙන් ම ඤාතීන්ට පින් දුන් තැනැත්තා සැටියට පොත පතෙහි සඳහන් වන්නේ බිම්සර රජතුමා ය. එතුමා පැන් වඩා පින් දුන් බවක් කොතැනකවත් සඳහන් වී නැත. බොහෝ ප්‍රේතවස්තුවල ද පින් දුන් බවත් පින් අනුමෝදන් වීමෙන් සම්පත් ලැබූ බවත් සඳහන් වේ. පැන් වත්කිරීමක් ඒ එක තැනකවත් සඳහන් වී නැත. ඒ කරුණුවලින් සිතා ගන්නට ඇත්තේ පින් දීමෙහි දී පැන් වත්කිරීම පසු කාලයේ දී පුරුදු වූවක්ය කියා ය.
දැන් මේ පැන් වැඩීම කරගෙන එන්නේ මළවුන්ට පින් දීමේ දී පමණෙකි. දෙවියන්ට හා අනික් සත්ත්වයනට පින් දීමේ දී මේ පැන් වැඩීම නුසුදුසු නො වේ. බුරුම බෞද්ධයෝ කාහට පින්දීමේදීත් පැන් වැඩීම කරති. මළවුන්ට පින් දීමේ දී පමණක් පැන් වැඩීම පුරුදු කර ගෙන තිබෙන්නේ-
“උන්නමෙ උදකං වුට්ඨිං යථා නින්නං පවත්තති,
එවමෙව ඉතො දින්නං පෙතානං උපකප්පති.
යථා වාරිවහා පූරා පරිපූරෙන්ති සාගරං
එවමෙව ඉතො දින්නං පෙතානං උපකප්පති”
යනුවෙන් තිරොකුඩ්ඩ සූත්‍රයෙහි ජලය පහතට ගලා යන්නාක් මෙන් මිනිසුන් විසින් දෙන පින ප්‍රේතයාට ලැබෙන බව දක්වා ඇති නිසා විය හැකි ය. මළවුන්ට පින් දීමේ දී පැන් වැඩීම කළ යුතුය කියා කොතැනක වත් බුදුන් වහන්සේ ගේ දේශනයක් නම් දක්නට නැත. ඒ නිසා පැන් වැඩීම කොට හෝ නො කොට හෝ පින් දිය හැකි බව කිය යුතු ය. පැන් වැඩීම හෝ නො වැඩීම පින් දෙන තැනැත්තා ගේ කැමැත්ත අනුව සිදුවිය යුත්තකි.
පින් ගන්නට ඉන්නා ප්‍රේතයා පින් දෙත හොත් පැන් වැඩීම කළ යුතුමය කියා සිතා ගෙන ඉන්නා කෙනකු වුවහොත් පැන් වැඩීම නො කොට දෙන පින නො ලැබේය කියා සිතා ගෙන අනුමෝදන් නො වන්නට ද පිළිවන. එසේ වුවහොත් දෙන පින ඔහුට නො ලැබී යා හැකි ය. ඒ නිසා මළවුන්ට පින් දීමේ දී පැන් වැඩීම කිරීම ම වඩා යහපත් බව කිය යුතු ය.