ද ද මිනිසුන් බස් ගෙන කිසි කලෙ කය
ත ද අකුසල් කොට කුසලින් වැළ කය
අ ඳ ගොළු බිහිරිව ලදුවත් මේ කය
ම ඳ පිනකුත් නොපිරෙයි බල නිසැ කය
ඉහත දැක්වූ ප්රශ්නය ඇතමුන් අසන්නේ මේ ලෝවැඩසඟරා කවිය නිසා ය. කවිය රසවත් කරනු සඳහා දක්වන කරුණු ඇතුවාට වඩා කුඩාකොට හෝ මහත්කොට හෝ කීම කවීන් ගේ සිරිත ය. තව ද කිය යුතු කරුණ කීමට වුවමනා වචන ටිකෙන් පමණක් කවිය සම්පූර්ණ නො වෙතොත් එයට තවත් මොකවත් එකතු කිරීමත්, එළිසමය කර ගැනීම සඳහා යම් යම් වචන යෙදීමත් කවි තැනීමේ දී කරන්නට සිදු වේ. එසේ නො කොට කවි තැනීම නො කළ හැකි ය. කවියක අදහස හරියට ගත හැකි වන්නේ අධික වර්ණනා හා වැඩිපුර යොදා ඇති වචනත් අත් හැර දමා අර්ථය ගන්නා තැනැත්තාට ය.
පව්කම් කරන්නෝ අනුන් ගේ කීම් ඇසීමෙන් ද කරති. එසේ නැතිව ද කෙරෙති. මේ කවියෙන් දක්වන කරුණ දැක්වීමට දද මිනිසුන් බස්ගෙන පව් කරන බව කියන්නට වුවමනා නැත. එයට “දද මිනිසුන් බස්ගෙන කිසි කලෙකය” යනු යොදා තිබෙන්නේ එළිසමය සඳහාත් කවිය පිරවීම සඳහාත් ය. මේ කවියෙන් ගන්නට ඇති අදහස කවර හේතුවකින් හෝ අඳ ගොළු බිහිරිව උපන හොත් ඔවුනට පින් කිරීමට දුෂ්කර වන බව පමණකි. අඳ බව ගොළු බව බිහිරි බව යන මේ කරුණු තුනෙන් ම යුක්තව යමකු උපනහොත් ඔහුට ජීවත්විය නො හැකි ය. එසේ ඉපද ජීවත්ව ඉන්නා අය දක්නට නැත. එසේ උපන් එකකුට නම් මඳ පිනක්වත් කරන්නට ලැබෙන්නේ නැත. අඳබව, ගොළුබව, බිහිරිබව යන මේ තුනෙන් එකකින් හෝ දෙකකින් යුක්ත අය සමහර විට පින් කරති. උත්පත්තියෙන් ම අංග විකලව උපදින්නෝ අහේතුක ප්රතිසන්ධිකයෝ ය. ඔවුනට නුවණ ඉතා මඳ ය. එබැවින් ඔවුහු උසස් පින් කිරීමට සමත් නො වෙති. සමහරවිට මඳ පින් ඔවුහු කරති. අන්ධයන්ටත් බණ ඇසිය හැකිය, දන් දිය හැකිය, සිල් රැකිය හැකිය, භාවනා කළ හැකිය, තිරිසන් සත්ත්වයන් ද බණ අසා ස්වර්ගයට ගිය බව බෞද්ධ පොත්වල සඳහන් වී තිබේ. තිරිසනුන්ටත් එසේ පින් කළ හැකිව තිබෙන කල්හි මනුෂ්‍ය අන්ධයාට එය නො කළ හැකිවීමට කරුණක් නැත. ගොළු බිහිරන්ට අන්ධයන්ට තරමට පින් කිරීමේ ශක්තිය නැත. එහෙත් සමහරවිට ඔවුහු ද අනුන් කරනු බලා සිට මල් පිදීම් වැඳීම් ආදි පින්කම් කරති. එයින් ඔවුන්ට ද ඥානයෙන් තොර දුබල කුශල් ඇති වේ.
තද අකුසල් කොට කුසලින් වැල කය
අඳ ගොළු බිහිරිව ලදුවත් මේ කය
යන මේ කවි දෙපදය නිසාත් අඳ ගොළු බිහිරිව උපදින්නේ අකුශලයෙන්ය කියා වැරදි හැඟීමක් ඇතිවිය හැකි ය. මනුෂ්‍යභාවය කාම සුගතිභූමි සතෙන් එකකි. අකුශලයකින් දුගතියෙහි මිස කිසි කලෙක සුගතියෙහි නූපදී. බලවත් කුශලය සුගතියෙහි අංගසම්පූර්ණ උත්පත්තියක් ඇති කරයි. දුබල කුශලය එසේ කිරීමට සමත් නො වේ. එබැවින් බලවත් කුශල් නැතියෝ මිනිස්ලොව අංගවිකලව උපදිති. අකුශලයකින් මිනිසකුව උපදිනවාය කියතහොත් එය ධර්මයට විරුද්ධ ය.
බලවත් පින් නො කළ අය දුබල කුශල්වලින් මිනිස්ව අහේතුක ප්රතිසන්ධිය ලබති. ඔවුහු අන්ධයෝ ද, ගොළුවෝ ද, බිහිරෝ ද, නපුංසකයෝ ද, පණ්ඩකයෝ ද, කෙලතොළුවෝ ද, පිස්සෝ ද, වික්කල් ගසන්නෝ ද වෙති. සමහරවිට අකුශල් නිසා ඉපදීමෙන් පසු අන්ධ භාවාදියට පැමිණෙති.