ධ්‍යාන වඩන්නා වූ ඇතමුන් රූපය නපුරක් වශයෙන් සලකන්නාක් මෙන්, රූපය පිළිකුල් කරන්නාක් මෙන් ඇතැම්හු ‘ඇලීම් කිපීම් මුළාවීම් සියල්ල ම ඇත්තේ සිත නිසාය, සිත නැති කල්හි ඒ කිසිවක් නැතය’ යි සිතෙහි දොස් දකිති. සිත පිළිකුල් කෙරෙති. සිතක් නැති බව ම උතුම්ය, එය ම නිවනය කියා සලකා සිතක් නැති භවයක ඉපදීමේ බලාපොරොත්තුවෙන් රූපාවචර පඤ්චමධ්‍යානය උපදවා ගනිති. තීර්ථායතනවල පැවිදි වූ ඇතැම්හු වායෝකසිණ භාවනාව කොට රූපාවචර චතුර්ථධ්යානය (පඤ්චක ක්රමයෙහි පඤ්චම ධ්‍යානය) උපදවා ඉන් නැගිට සිතෙහි දොස් දකිති. අත් පා සිඳීම් ආදියෙන් වන යම් දුකක් වේ නම්, යම් බියක් වේ නම් ඒ සියල්ල වන්නේ සිත නිසාය, සිතක් නැත්තහුට ශරීරයට කුමක් වුවත් වන දුකක් නැත, සිතක් නැති බව ම උතුම් ය, එය ම ශාන්ත ය යි සලකා ඔවුහු අචිත්තක භවය පතති. ඒ හැම දෙනම ධ්‍යානයෙන් නො පිරිහී කලුරිය කළහොත් ඒ ධ්‍යාන කුශල බලයෙන් කාලක්‍රියා කළ ඉරියව්වෙන් ම විඥාන විරහිත අසංඥ භවයෙහි ඉපිද මහාකල්ප පන්සීයක් ජීවත් වන්නාහ. ඔවුන් ගේ ශරීර චිත්‍රරූප මෙන් එහි නිශ්චලව පවතී. මෙසේ කී කල්හි සිතක් නැතිව සැමදා ම කොටයක් මෙන් නිශ්චලව තිබෙන ශරීරයකින් කිසි ප්‍රයෝජනයක් නැත. නිෂ්ප්රයෝජන ශරීරයක් ඔවුනට ඇති වන්නේ කුමට ද? යන ප්රශ්නය ඇති වේ. සිත නැති බැවින් මළ සිරුරක් බඳු අසඥ සත්ත්වයා ගේ ශරීරයෙන් ඇති ප්‍රයෝජනයක් නම් නැත. මමය කියා සලකන මේ පඤ්චස්කන්ධය ගැන මහත් වූ තණ්හාවක් සැම සත්ත්වයකුට ම ඇත්තේ ය. ඒ තණ්හාව අර්හත්මාර්ගඥානයෙන් ප්‍රහීණ නො කළ සත්ත්වයෝ නැවත නැවත ඉපදීම් වශයෙන් ඒ පඤ්චස්කන්ධය ලබති. අසංඥ භවයෙහි උපදනා පුද්ගලයා හට නාමස්කන්ධ සතර පිළිබඳ තණ්හාව තාවකාලික වශයෙන් ප්‍රහීණ ය. රූපය පිළිබඳ තණ්හාව ඔහුට අප්‍රහීණ ය. එබැවින් යෝගාවචරයා විසින් ලබා ඇති රූපාවචර පඤ්චමධ්යානයෙහි විපාකය ලැබෙන කල්හි ඔහුට රූප කය ඇති වේ. සිත පිළිබඳ තණ්හාව තාවකාලික වශයෙන් ප්රහාණය කර ඇති නිසා නාමස්කන්ධ සතර ඔහුට ඇති නො වේ. සිත නැති කයින් ප්‍රයෝජනයක් නැති බව අනිකකි. රූපස්කන්ධය පිළිබඳ තෘෂ්ණානුශය ඇති නිසා රූප කය ඔහුට ඇති වන්නේ ම ය.
තෘෂ්ණාව අප්‍රහීණ බැවින් අසංඥසත්ත්වයා මරණින් කෙළවර නොවී නැවත ද භවයෙහි උපදින්නේ ය. තෘෂ්ණාව අප්‍රහීණ වූ අසංඥ සත්ත්වයා ගේ සිත් පරම්පරාවේ නැවැත්ම ධ්‍යාන බලයෙන් වූ තාවකාලික සිද්ධියකි. ධ්‍යාන බලය කෙළවර වනු සමග ම ඔහුට අතීත භවයේ ඇති වූ අන්තිම සිත ළඟට ඇතිවිය යුතු සිත ඇති වන්නේ ය. අසංඥ භවයට යාමට පූර්ව භවයේ ඔහුට අන්තිමට ඇති වූයේ චුති චිත්තයකි. චුති චිත්තයට අනතුරුව ප්රතිසන්ධි චිත්තයක් ඇතිවීම චිත්තනියාමය ය. එබැවින් ඔහුට ඔහු ලබා සිටි ධ්‍යාන බලවේගය අවසන් වනු සමග යම් කිසි භවයක ප්රතිසන්ධි චිත්තයක් ඇතිවිය යුතු ය. ඒ ප්රතිසන්ධි චිත්තය ඔහු ගේ අතීත චිත්ත පරම්පරාවට අයත් ය. “සඤ්ඤුප්පාදා ච පන තෙ දෙවා තම්හා කායා චවන්ති” යි වදාරා ඇති පරිදි ‘ප්රතිසන්ධි චිත්තය පහළවීමෙන් අසංඥ සත්ත්වයා ඒ භවයෙන් ච්‍යුත වුයේය’ යි කියනු ලැබේ. අසංඥ භවයෙන් ච්‍යුත වන සත්ත්වයා කාමභවයෙහි පිළිසිඳ ගන්නා බවත්, මහා විපාක සිත් අට අතුරෙන් එකක් ප්රතිසන්ධි චිත්තය වශයෙන් ඇතිවන බවත් ඔහු ගේ ධ්‍යාන වීථියේ උපචාර චේතනාවල විපාක වශයෙන් එය ඇති වන බවත් චිත්තවීථි පොත්වල කියා තිබේ.
අසංඥ භවය ගැන ධම්මපදය විහංග අටුවාවේ කියා තිබෙන්නේ මෙසේ ය.
“එකච්චේ හි තිත්ථායතනෙ පබ්බජිත්වා චිත්තං නිස්සාය රජ්ජන දුස්සන මුය්හනානි නාම හොන්තී ති චිත්තෙ දොසං දිස්වා අචිත්තකභාවො නාම සොහනො දිට්ඨධම්මනිබ්බානමෙතන්ති සඤ්ඤාවිරාගං ජනෙත්වා තත්රෑපගං සමාපත්තිං භාවෙත්වා තත්ථ නිබ්බත්තන්ති. තෙසං උප්පත්තික්ඛණෙ එකො රූපක්ඛන්ධො යෙව නිබ්බත්තති ඨත්වා නිබ්බත්තො ඨිතොව හොති. නිසීදිත්වා නිබ්බත්තො නිසින්නකොව, නිපජ්ජිත්වා නිබ්බත්තො නිපන්නොව. චිත්තකම්මරූප සදිසා හුත්වා පඤ්චකප්ප සතානි තිට්ඨන්ති. තෙසං පරියොසානෙ සො රූපකායො අන්තරධායති. කාමාවචරසඤ්ඤා උපපජ්ජති. තෙන ඉධ සඤ්ඤුප්පාදෙන තෙ දෙවා තම්හා කායා චුතාති පඤ්ඤායන්ති.”
බ්‍රහ්මජාල සූත්‍ර අටුවාවෙහි මෙසේ කියා ඇත්තේ ය.
“එකච්චෙ තිත්ථායතනෙ පබ්බජිත්වා වායො කසිණො පරිකම්මං කත්වා චතුත්ථං ඣානං නිබ්බත්තෙත්වා ඣානා වුට්ඨාය චිත්තේ දොසං පස්සති; චිත්තේ සති හත්ථච්ඡෙදාදි දුක්ඛඤ්ච සබ්බ භයානි ච හොන්ති, අලං ඉමිනා චිත්තෙන අචිත්තකභාවො ව සන්තො ති. එවං චිත්තෙ දොසං පස්සිත්වා අපරිහීණජ්ඣානො කාලං කත්වා අසඤ්ඤීසු නිබ්බත්තති. චිත්තමස්ස චුති චිත්ත නිරොධෙන ඉධෙ ව නිවත්තති. රූපක්ඛන්ධමත්තමෙව තත්ථ පාතුභවති. තෙ තත්ථ යථා නාම ජියාවෙගඛිත්තො සරො යත්තකො ජියා වෙගො තත්ථක මෙව ආකාසො ගච්ඡති, එවමෙවං ඣානවෙගක්ඛිත්තෝ උප්පජ්ජිත්වා යත්ථකො ඣාන වෙගො තත්ථකමෙව කාලං තිට්ඨති. ඣානවෙගෙ පරිහීණෙ තත්ථ රූපක්ඛන්ධො අන්තරධායති. ඉධ පරිසන්ධිසඤ්ඤා උප්පජ්ජති.”