අසවල් කාලයේ භාවනා කළ හොත් මඟපල ලැබිය හැකිය, අසවල් කාලයේ නො ලැබිය හැකිය කියා මඟපල ලැබීම පිළිබඳ කාලවිභාගයක් බුදුන් වහන්සේ නො වදාළ සේක. උන් වහන්සේ පිරිනිවන් පානා දිනයෙහි සුභද්ද පිරිවැජිහට මෙසේ වදාළ සේක.
“සුභද්‍රය! යම් සසුනක ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය නැත්තේ නම් එහි පළමුවන ශ්‍රමණයා ද නැත. දෙවන ශ්‍රමණයා ද නැත, තුන්වන ශ්‍රමණයා ද නැත. සතරවන ශ්‍රමණයා ද නැත. සුභද්‍රය! යම් සසුනක ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ඇත්තේ නම් එහි පළමුවන ශ්‍රමණයා ද ඇත. දෙවන ශ්‍රමණයා ද ඇත. තෙවන ශ්‍රමණයා ද ඇත. සතර වන ශ්‍රමණයා ද ඇත. සුභද්‍රය! මේ සස්නෙහි ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ඇත්තේ ය. ඒ නිසා සුභද්‍රය! පළමුවන ශ්‍රමණයා ඇත්තේත් මෙහි ය. දෙවන ශ්‍රමණයා ඇත්තේත් මෙහි ය. තෙවන ශ්‍රමණයා ඇත්තේත් මෙහි ය. සතරවන ශ්‍රමණයා ඇත්තේත් මෙහි ය. සුභද්‍රය! අනික් තැන් ශ්‍රමණයන්ගෙන් හිස් ය. “ඉමෙච සුභද්ද, භික්ඛු සම්මා විහරෙය්යුං න සුඤ්ඤො ලොකො අරහන්තෙහි අස්ස.” සුභද්‍රය! මේ භික්ෂූහු මනා කොට වාසය කෙරෙත් නම් ලෝකය රහතුන්ගෙන් සිස් නො වූවක් වන්නේ ය.”
මඟපල ලැබීමේ පිළිවෙත පිරුවත් ඒවා නො ලැබෙන කාලයක් ඇති නම් බුදුන් වහන්සේ මෙසේ නො වදාරන්නාහ. මේ දේශනාවේ සැටියට තේරුම් ගත යුත්තේ කවදා වුවත් මඟපල ලැබෙන ප්‍රතිපත්තිය හරියට පිරුව හොත් ඒවා ලැබෙන බව ය. ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය යි කියනු ලබන මේ ප්‍රතිපත්ති ක්‍රමය සැමදා ම නෛර්‍ය්‍යාණික ය. එය අනෛර්‍ය්‍යාණික වන කාලයක් නැත. මෙකල ඒ ප්‍රතිපත්ති ක්‍රමයෙන් මඟපල නො ලැබිය හැකි ය යි කීම පෙර නෛර්‍ය්‍යාණික වුවත් ඒ ධර්මය දැන් අනෛර්‍ය්‍යාණික ය යි කීමකි. එසේ කියා බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය අවලංගු කිරීම බරපතළ වරදෙකි. පිළිවෙත් පුරා මඟපල ලබන පුද්ගලයන් කලින් කලට අඩු වැඩි වන බව නම් කිය හැකි ය. එසේ ම මඟපල ලබන අය කලකට නැති බවත් කිය යුතු ය. මඟපල ලබන අය කලකට නැති වන්නේත් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය අවලංගු වීමෙන් නොව එය අනුව පිළිපදින අය නැති වීමෙනි.
ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වඩන අය හෙවත් අෂ්ටාංගික මාර්ගය අනුව පිළිපදින අය නැතිවීමෙන් වන ශාසනාන්තර්ධානය අටුවාවල දැක්වෙන සැටියට බැලුවත් තවම මඟපල ලබන අය සිටින කාලය ය.
“වස්සසහස්සන්ති චෙතං පටිසම්භිදා පභෙදපත්ත ඛීණාසවානං වසෙන වුත්තං. තතො පන උත්තරිම්පි ඛීණාසව වසෙන වස්සසහස්සං, අනාගාමි වසෙන වස්සසහස්සං, සකදාගාමි වසෙන වස්සසහස්සං, සොතාපන්න වසෙන වස්සසහස්සන්ති එවං පඤ්ච වස්ස සහස්සානි පටිවෙධ සද්ධම්මො ඨස්සති”.
මේ අංගුත්තරනිකාය අට්ඨක නිපාත වර්ණනාවේ එන පාඨයෙකි. මේ පාඨයෙන් දැක්වෙන්නේ ප්‍රතිවේධ ශාසනය සිවුපිළිසිඹියාපත් රහතන් වහන්සේලා ගේ වශයෙන් වර්ෂ දහසක් ද සාමාන්‍ය රහතන් වහන්සේ ගේ වශයෙන් වර්ෂ දහසක් ද, අනාගාමීන් ගේ වශයෙන් වර්ෂ දහසක් ද, සකෘදාගාමීන් ගේ වශයෙන් දහසක් ද, සෝතාපන්නයන් ගේ වශයෙන් දහසක්දැ යි මෙසේ අවුරුදු පන් දහසක් පවත්නා බව ය. දැනට පැමිණ ඇත්තේ බුද්ධ වර්ෂයේ තවෙන වර්ෂ දහස ය. කියන ලද අටුවා පාඨයේ සැටියට මේ කාලය අනාගාමී ඵලයටත් පැමිණෙන අය සිටිය යුතු කාලය බව කිය යුතුය. අධිගමය පවත්නා කාල අටුවාවල දැක්වෙන්නේ එකිනෙකට මඳ වෙනස්කම් ද ඇතිව ය. එහෙත් සැම අටුවාවක මකියන සැටියට තවමත් අධිගමලාභීන් ඇති කාලය ය. භාවනා කළත් මේ කාලයේ මඟපල ලැබිය නො හැකි ය යි කීම බුදු රජාණන් වහන්සේ ගේ දේශනාවටත් අටුවාවටත් විරුද්ධ බැවින් එය නො පිළිගත යුතු ය.