“ලක්දිවට බුදුරජාණන් වහන්සේ නො වැඩියහ” යි විනයවර්ධන කාරයෝ වාද කරති. ඔවුන් එයට සාධකය වශයෙන් දක්වන්නේ බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ බවක් පිටකත්‍රයේ සඳහන්ව නො තිබීම ය. ‘ලක්දිවට බුදුරදුන් වැඩි සේක් නම් ඒකාන්තයෙන් ම ඒ පුවත සංගායනාත්‍රයට නැඟී පෙළ දහමෙහි සඳහන් විය යුතුය’යි ඔවුහු කියති. එය මහමෝඩ කතාවකි. පිටකත්‍රය බුදුන් වහන්සේ ගේ ආ ගිය තැන් පිළිබඳ වූ උන් වහන්සේ විසින් කළ වැඩ පිළිබඳ වූ වාර්තාවක් නොව ධර්මසංග්රහයෙකි. නිදානයත් සමග දැක්වූ කල්හි සමහර ධර්ම තේරුම් ගැනීම පහසු ය. එබැවින් ඒ ඒ ධර්මවල නිදාන කථා ද පිටකත්‍රයෙහි සඳහන් වී තිබේ. උන් වහන්සේ වැඩම කළ සමහර තැන් පිටකත්‍රයෙහි සඳහන් වී ඇත්තේ ධර්මවල නිදාන දක්වා තිබීමෙනි. තථාගතයන් වහන්සේ වැඩ වදාළ ස්ථාන සියල්ල ම පිටකත්‍රයෙහි සඳහන් වී ඇතය කියා හෝ සඳහන් විය යුතුය කියා හෝ සිතනවා නම් එය අනුවණ කමෙකි. තථාගතයන් වහන්සේ වැඩම කළ තැන්වලින් දහසෙන් පංගුවකුදු පිටකත්‍රයෙහි සඳහන් වී නැත. උන් වහන්සේ දේශනය කළ ධර්මවලින් ද පිටකත්‍රයෙහි ඇතුළු වී ඇත්තේ ඉතා ස්වල්පයෙකි. බුදුරජාණන් වහන්සේ බ්රහ්මාරාධනාව ලබා බරණැස ඉසිපතනයට වැඩ වදාරා පස්වග මහණුන් ඇතුළු දේවබ්රහ්මයන්ට දම්සක් පැවතුම් සූත්‍රය දේශනය කළ සේක. ඒ සූත්රධර්මය පිටකත්‍රයට සංග්‍රහ වී ඇත්තේ ය. ඒ ධර්ම දේශනාව ඇසීමෙන් ආයුෂ්මත් කොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේට ධර්මාවබෝධය විය. සෙස්සන්ට නො වීය. ඉන්පසු තථාගතයන් වහන්සේ ඉතිරි සතර නමට නැවත දහම් දෙසූ බවත් එයින් වප්ප භද්දිය යන දෙනමට ධර්මාවබෝධය වූ බවත් ඉන්පසු ඉතිරි දෙනමට නැවත ධර්මදේශනය කළ බවත් එයින් මහානාම අස්සජි යන දෙනමට ධර්මාවබෝධ වූ බවත් “අථ ඛො භගවා තදවසෙසෙ භික්ඛු ධම්මියා කථාය ඔවදි අනුසාසි” යනාදීන් මහාවග්ග පාලියෙහි දක්වා තිබේ. දම්සක් පැවතුම් සූත්‍රය දෙසීමෙන් පසු ඔවුනට දෙසූ ධර්ම පිටකත්‍රයෙහි සඳහන් වී නැත. ඉක්බිති තථාගතයන් වහන්සේ ඒ භික්ෂූන් පස් නමට ම “රූපං භික්ඛවෙ, අනත්තා” යනාදීන් අනත්ත ලක්ඛණ සූත්‍රය දෙසූ සේක. එය පිටකත්‍රයෙහි සංග්‍රහ වී ඇත්තේ ය.
ඉක්බිති තථාගතයන් වහන්සේ එක් රාත්‍රි කාලයක දී තමන් වහන්සේ වෙත පැමිණි යස නමැති සිටු පුත්‍රයකුට දහම් දෙසූහ. ඒ ධර්මදේශනය ඇසීමෙන් යස කුලපුත්‍රයා හට ධර්මාවබෝධය විය. අනතුරුව යස සිටු පුත්‍රයා සොයමින් පැමිණි ඔහුගේ පියාට ද තථාගතයන් වහන්සේ දහම් දෙසූහ. ඔහු ද පැහැදී රත්නත්‍රය සරණ ගොස් උපාසකයෙක් විය. ඉක්බිති තථාගතයන් වහන්සේ ඒ සිටුවරයා ගේ නිවසට ද වැඩ වදරා දහම් දෙසූහ. නැවත තථාගතයන් වහන්සේ විමල - සුබාහු - පුණ්ණජි - ගවම්පති යන යස සිටු පුත්‍රයා ගේ යහළුවන් සතර දෙනකුට දහම් දෙසූහ. ඔවුහු ද පැහැදී පැවිදි වූහ. ඉන්පසු දිනක යස සිටු පුත්‍රයා ගේ යහළුවන් පණස් දෙනකුන්ට දහම් දෙසූහ. මේ ප්රවෘත්ති ද මහාවග්ග පාලියේ ම සඳහන් ව ඇත්තේ ය. ධර්මය දේශනය කළ බව මෙසේ සඳහන් වෙනවා මිස ඒ තැන්වල දී දෙසූ ධර්ම පිටකත්‍රයෙහි සඳහන් වී නැත.
ලෝකයෙහි පළමුවෙන් රහතන් වහන්සේලා එක් සැට නමක් ඇති වීමෙන් පසු ඒ භික්ෂූන් ධර්ම ප්රචාරයට යවා තථාගතයන් වහන්සේ උරුවෙල්දනව්වට වැඩම කරන අතරමග දී භද්දවග්ගිය කුමාරයන් තිස්දෙනකුන්ට දහම් දෙසූහ. ධර්මාවබෝධය වී ඔවුහු ද තථාගතයන් වහන්සේ ගෙන් පැවිද්ද ලබා ගත්හ. උරුවෙල්දනව්වට වැඩ වදාරා එහි වූ ජටිලයන්ට දහම් දෙසා ඔවුන් ද පැවිදි කළහ. ඒ පුරාණ ජටිල භික්ෂූන් දහම් නම සමග තථාගතයන් වහන්සේ බිම්සර රජු පැහැදවීම පිණිස රජගහනුවරට වැඩි සේක. දොළොස් නහුතයක් බ්‍රාහ්මණ ගෘහපතීන් සමග බිම්සර රජතුමා තථාගතයන් වහන්සේ දකින්නට පැමිණියේ ය. ඒ මහා ජන සමාගමයෙහි උන් වහන්සේ දහම් දෙසූහ. දහම් අසා බිම්සර රජතුමා හා දොළොස් නහුතයක් බ්‍රාහ්මණ ගෘහපතීහු උපාසකත්වයට පැමිණියහ. මේ ප්රවෘත්ති විනය පිටකයෙහි සඳහන් වෙනවා මිස ඒ තැන්වල දී දෙසූ ධර්ම කොතැනකවත් පිටකත්‍රයෙහි සඳහන් වී නැත. මෙතෙක් තැන්වල දෙසූ දහම් පිටකත්‍රයෙහි සඳහන් නො වන කල ලක්දිව දී දෙසූ දහමක් සඳහන් නො වීම පුදුමයක් ද? ලක්දිව දී දේශනය කළ ධර්මයක් පිටකත්‍රයෙහි නැති නිසා තථාගතයන් වහන්සේ ලක්දිවට නො වැඩියහයි කීම කොතරම් මෝඩ කථාවක් ද?
අතීතප්රවෘත්ති සෙවිය යුත්තේ පිටකත්‍රයෙන් නොව මුඛපරම්පරාගත කථාවලින් හා ඉතිහාස පොත්වලිනි. යම්කිසි විශේෂ කරුණක් සිදු වූවා ම එය බොහෝ කලක් මහජනයා අතර මුඛපරම්පරා කථාවලින් පවත්නේ ය. ඉතිහාස පොත්වලට ඇතුළු වන්නේ ද ඒවා ය. බුදු රජාණන් වහන්සේ ලක්දිවට වැඩම කිරීම ඉතා වැදගත් කරුණෙකි. එබඳු කරුණු මුඛපරම්පරාවෙන් පැවත අවුත් පසුව පොත්වලට ඇතුළුවීම පුදුමයක් නො වේ. බුදුන් වහන්සේ ගේ ලක්දිව වැඩම කිරීම සමන්තපාසාදිකා නම් වූ විනය අටුවාවෙහි මෙසේ දක්වා තිබේ.
“සම්මාසම්බුද්ධො කිර ඉමං දීපං ධරමානකාලෙපි තික්ඛත්තුං අගමාසි. පඨමං යක්ඛදමනත්ථං එකකොව ආගන්ත්වා යක්ඛෙ දමෙත්වා, මයි පරිනිබ්බුතෙ ඉමස්මිං දීපෙ සාසනං පතිට්ඨහිස්සතීති තම්බපණ්ණිදීපෙ රක්ඛං කරොන්තො තික්ඛත්තුං ආවිජ්ඣි. දුතියං මාතුල භාගිනෙය්‍යානං නාගරාජූනං දමනත්ථාය එකකොව ආගන්ත්වා තෙ දමෙත්වා අගමාසි. තතියං පඤ්චසත භික්ඛුපරිවාරො ආගන්ත්වා මහාචෙතියට්ඨානෙ ච ථූපාරාම චෙතියට්ඨානෙ ච මහාබොධිපතිට්ඨිතට්ඨානෙ ච මුතියංගණචෙතියට්ඨානෙ ච දීඝවාපිචෙතියට්ඨානෙ ච කල්යාණිචෙතියට්ඨානෙ ච නිරොධ සමාපත්තිං සමාපජ්ජිත්වා නිසීදි.”
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදුන් වහන්සේ ගේ ජන්ම භූමිය වූ දඹදිවින් බුද්ධාගම තුරන් විය. මේ දිවයිනෙහි එය දියුණු විය. බොහෝ රහතන් වහන්සේලා මෙහි විසූහ. එසේ ම ජීවිතයට ද වඩා බුදුසසුන උසස් කොට සලකා ක්‍රියා කළ බොහෝ සැදැහැවත්හු ද මෙහි විසූහ. බොහෝ දුක් විඳ පිටකත්‍රය මුඛපරම්පරාවෙන් ආරක්ෂා කර ගත්තේ මෙහි විසූ සිංහල භික්ෂූන් ය. පළමු වරට එය පොත්වල ලියූවේ ද සිංහල භික්ෂූන් ය. අටුවා ටීකා ලියුයේත් මෙහිය. තවත් බොහෝ බණ පොත් ලියූයේත් මෙහි ය. අද සැම රටවලට ම බුදුසමය පවත්වා ගැනීමට පිහිට වී ඇත්තේ මේ දිවයිනෙහි ලියවුණු ඒ දහම් පොත් සමූහය ය. අනාගතයෙහි එතරම් විශාල සේවයක් කෙරෙන මේ දිවයින ගැන බුදුන් වහන්සේ විසින් විශේෂ සැලකිල්ලක් නො කරන ලද නම්පුදුම විය යුත්තේ ඒ ගැන ය. තමන් වහන්සේ ගේ ශාසනය ආරක්ෂා වීමට මහත් සේවයක් කෙරුණු මේ දිවයිනට උන් වහන්සේ වැඩම කිරීම පුදුමයක් නො වේ. එය සිදුවිය යුත්තක් ම ය.
මෙකල මෙන් අතීතයේ පොත් මුද්‍රණයට සම්මාදම් කිරීමක් හෝ පොත් ලියා මුද්‍රණය කරවා විකිණීමක් හෝ නො තිබිණ. අතීතයේ ගත්කරුවන් පොත් ලියූවේ ඒවාට ඇතුළත් කරන කරුණු නො නැසී කලක් පැවතීම පිණිස ය. පොතක් ලියා තැබීමෙන් ලෝකයට වන යහපත ගැන ම සලකා අතීතයේ පොත් ලියූ පින්වතුන්ට තම තමන් ගේ පොත්වලට බොරු ඇතුළු කර තබන්නට කිසි කරුණක් නැත. බොරු පොත් ලියා තබන්නට ද කරුණක් නැත. ඉතිහාස පොත්වල සඳහන් වන දඹදිවින් විජය නමැති කුමාරයකු මේ දිවයිනට පැමිණීම, දේවානම්පියතිස්ස ය කියා රජකු මෙහි විසූ බව එතුමා ගේ කාලයෙහි දඹදිවින් මිහිඳු මහරහතන් වහන්සේ මෙහි වැඩම කිරීම, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ දක්ෂිණ ශාඛාව මෙහි ගෙනවුත් රෝපණය කිරීම, බොහෝ සර්වඥ ධාතූන් වහන්සේලා මේ දිවයිනට ගෙන ආ බව, දුටුගැමුණුය කියා රජකු මෙහි විසූ බව යනාදි කරුණු සත්‍ය නම්, පිළිගත යුතු නම්, බුදුන් වහන්සේ මේ දිවයිනට වැඩම කිරීම පමණක් අසත්‍ය වන්නට නො පිළිගන්නට ඇති කරුණක් නැත.
වරින් වර පැමිණි උවදුරුවලින් බොහෝ රටවල බුදුසසුන විනාශ වී ගියේ ය. අප රටේ බුදුසසුනටත් බොහෝ උවදුරු පැමිණියේ ය. වරක් සීතාවක විසූ සිංහල රජකු විසින් ම බොහෝ භික්ෂූන් මරා දමා දහම් පොත් ද එකතු කරවා ගිනිබත් කරන ලද්දේ ය. පෘතුගීසීන් හා ඕලන්දයන් විසින් ද විහාරස්ථාන විනාශ කර දැමීමෙන් හා බෞද්ධයන්ට නොයෙක් වධ හිංසා කිරීමෙන් ද බුදුසසුන මේ දිවයිනෙන් තුරන් කරන්නට උත්සාහ කරන ලද්දේ ය.
දැනට පවත්නා පාදිලි උවදුර - විනයවර්ධන උවදුර - ළඟදී ඇති වී අභාවප්‍රාප්ත වූ තාපස උවදුර වැනි උවදුරු ලංකා බුද්ධ ශාසනයට නොයෙක් වර පැමිණෙන්ට ඇත. ඒ එකකින් වත් විනාශ නොවී අද දක්වා ම මේ දිවයිනේ බුදුසස්න පැවතීම ම බුදුන් වහන්සේ මේ දිවයිනට වැඩ වදාළ බවට හොඳ සාක්ෂ්‍යයක් නො වන්නේ ද? මෙය ගැන සිතා බලත්වා.!