නිවන් දැකිය හැක්කේ බුදුන් දැකීමෙන් නොව ධර්මය දැකීමෙනි. බුදුන් දැක ද නිවන් නුදුටුවෝ බොහෝ ය. ඇතැම්හු නිතර බුදුන් වහන්සේ ඇසුරු කරමින් උන් වහන්සේ දේශනය කරන ධර්මය ද ඇසූ නමුත් මඟපල ලබා නිවන් නුදුටුවෝය. බුදුන් වහන්සේ ජීවමාන කාලයේදීත් උන් වහන්සේ පිරිනිවීමෙන් පසුත් ධර්මය දැක බොහෝ දෙනෙක් මඟපල ලබා නිවන් දුටහ.
බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ විසාලා මහනුවර සච්චක නම් මහපඬිවරයෙක් වාසය කෙළේ ය. ඔහු බුදුරජාණන් වහන්සේ ඇතුළු මහසඟනට මහ දනක් ද දුන්නේ ය. තථාගතයන් වහන්සේ ඔහුට සූත්ර දෙකක් ම දේශනා කළ සේක. එහෙත් සච්චක මඟපල ලැබුවේත් නැත, පැවිදි වූයේත් නැත, යටත් පිරිසෙයින් තිසරණයෙහිවත් පිහිටියේ නැත. තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් වර්ෂ දෙසිය සතිසකින් පසු ලක්දිව බුදු සස්න පිහිටීමෙන් පසු සච්චක මේ ලක්දිව දක්ෂිණගිරි විහාරයේ ගොදුරු ගමෙහි ඇමැති පවුලක ඉපද වැඩිවිය පැමිණ බුදුසස්නෙහි පැවිදිව ත්රිපිටකය උගෙන විදසුන් වඩා සිවුපිළිසිඹියාවත් සමග අර්හත්වයට පැමිණ නිවන් දුටුවේ ය. මිහින්තලයේ කළුදිය පොකුණ සමීපයේ කළු තිඹිරිගස යට දී තුන්යම් රාත්රිය මුළුල්ලෙහි කාලකාරාම සූත්රයෙන් ධර්මදේශනා කළ කාළබුද්ධරක්ඛිත තෙරුන් වහන්සේ බුදුන් වහන්සේ හා එකල වාද කරමින් විසූ සච්චක පඬිවරයා ය. එකල ලක් රජය කළ තිස්ස මහරජතුමා එදා කළබුද්ධරක්ඛිත තෙරුන් වහන්සේ දෙසූ ධර්මය සිටගෙන ම රාත්රිය මුළුල්ලෙහි අසා සිට උන් වහන්සේ ගේ ධර්මයෙහි පැහැදී පසු දින උන් වහන්සේට ලක් රජය පූජා කෙළේ ය.
බුදුන් දක්නේ ද ධර්මය දක්නා තැනැත්තා ය. නිතරම බුදුරජාණන් වහන්සේ ළඟින් හැසිරෙමින් උන් වහන්සේ ගේ රූපය බල බලා ප්රීතිවෙමින් සිටි වක්කලී තෙරුන් වහන්සේට තථාගතයන් වහන්සේ විසින් “කිං තෙ වක්කලි, ඉමිනා පූතිකායෙන දිට්ඨෙන? යො ඛො වක්කලි. ධම්මං පස්සති සො මං පස්සති.” “වක්කලි මහණ, තට මේ කුණුකය දැකීමෙන් කවර ප්රයෝජනයක් ද? යමෙක් ධර්මය දකී නම් ඔහු ම මා දක්නේය” යි වදාළේ ද එහෙයිනි.