එක් දවසක් ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේ කරා එළඹ, “ස්වාමීනි, බුදුවරුන් ගේ ප්‍රාර්ථනාව සිදුවීමට කොතෙක් කල් ගත විය යුතුදැ”යි විචාළෝය. “බුද්ධානං ආනන්ද, හෙට්ඨිම පරිච්ඡේදෙන චත්තාරි අසංඛෙය්‍යානි කප්පසතසහස්සඤ්ච මජ්ඣිම පරිච්ඡෙදෙන අට්ඨ අසංඛෙය්‍යානි සප්පසතසහස්සඤ්ච උපරිම පරිච්ඡෙදෙන සොළස අසංඛෙය්‍යානි කප්පසතසහස්සඤ්ච.” “ආනන්දය, බුදුවරුනට යටත්පිරිසෙයින් චතුරසංඛ්‍ය කල්ප ලක්ෂයක් ද, මධ්‍යම පරිච්ඡේදයෙන් අෂ්ටාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ද, උපරිම පරිච්ඡේදයෙන් ෂෝඩශාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ද ගත විය යුතුය” යි වදාළ සේක.
පසේ බුදුවරයන් ගේ ප්‍රාර්ථනාව සිදුවීමේ කාලය විචාළ කල්හි “පච්චේක බුද්ධානං ද්වෙ අසංඛෙය්‍යානි කප්පසත සහස්සඤ්ච”යි පසේ බුදුවරුන් ගේ ප්‍රාර්ථනා සිද්ධියට ද්වාසංඛ්ය කල්ප ලක්ෂයක් ගතවන බව වදාළ සේක.
බුද්ධ ශ්‍රාවකයන් ගේ කාලය ගැන විචාළ කල්හි “දිවින්නං අග්ගසාවකානං එකං අසංඛෙය්‍යං කප්පසත සහස්සඤ්ච, අසීති මහාසාවකානං සප්පසතසහස්සං. තථා බුද්ධස්ස මාතාපිතුන්නං උපට්ඨාකස්ස පුත්තස්සාති” යි අග්ර්රශ්රාවකයන් වහන්සේලාට ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකුත් අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාට කල්ප ලක්ෂයකුත්, බුදුන් වහන්සේ ගේ මාපියන්ට හා උපස්ථායකයාටත් පුත්‍රයාටත් එපමණ ම කාලයක් වුවමනා බව වදාළ සේක. අනික් ශ්‍රාවකයන් ගේ මඟපල ලැබීම පිළිබඳ කාල නියමයක් නො වදාළ සේක. අන් සූත්‍රයක හෝ අටුවාවක ද සාමාන්‍ය රහතුන් ගේ ප්‍රාර්ථනා සිද්ධියට කාල නියමයක් දක්වා නැත. ඒ නිසා සාමාන්‍ය අයට මඟපල ලැබීමට පෙරුම් පිරීමේ කාල නියමයක් නැති බව කිය යුතු ය.
අතීතයේ දී සමහරුන් එක ගාථාවක් එක ධර්ම දේශනාවක් ඇසූ පමනින් ම ඉතා පහසුවෙන් මඟපල ලැබූ බවත්, සමහරුන් බොහෝ කල් වීර්‍ය්‍ය කොට ඉතා දුකසේ මඟපල ලැබූ බවත්, සමහරුන් බොහෝ කල් වෙහෙසී ද නො ලැබූ බවත් දහම් පොත්වල එන පැරණි කථාවලින් පෙනේ. ඒවා අනුව මඟපල ලැබීමට අතීත පාරමිතාවක් තිබිය යුතු බව පිළිගත යුතු ය. බලවත් අතීත පාරමිතාව ඇතියවුන් පහසුවෙන් මඟපල ලැබූ බවත්, තරමකට පාරමිතාව මෝරා තුබූ අය අමාරුවෙන් මඟපල ලැබූ බවත් අතීත පාරමිතාවක් නො තුබූ අය උත්සාහ කොටත් මඟපල නො ලැබූ බවත් කිය යුතු ය. “පඤ්චිමෙ ආනන්ද ආනිසංසා පුබ්බයොගාවචරෙ දිට්ඨෙව ධම්මෙ පටිගච්චෙව අඤ්ඤං ආරාධෙති නො චෙ දිට්ඨෙව ධම්මෙ පටිගච්චෙ අඤ්ඤං ආරාධෙති” යනාදි පූර්ව යෝගාවචර සූත්‍රය අනුව සලකා බැලුවාම ද මඟපල ලැබීමට පූර්ව පාරමිතාවක් වුවමනා බව පිළිගතයුතු ය. එහි වර්තමාන භවයේ දී මඟපල ලැබෙන බව වදාරා තිබෙන්නේ පූර්වයෝගාවචරයාට ය. පෙර ජාතිවල දී කළ යෝග කර්මය ඒ අය ගේ පාරමිතාව ය. ප්‍රකෘති ශ්‍රාවකයන් ගේ මඟපල ලැබීමේ කාලය පිළිබඳ නොයෙක් ආචාර්ය්ය මත ඇත්තේ ය.
පකති සාවකා කප්පසතම්පි කප්පසහස්සම්පි අනුස්සරන්ති, අසීති මහා සාවකා සතසහස්ස කප්පෙ අනුස්සරන්ති, ද්වෙ අග්ගසාවකා එකං අසංඛෙය්‍ය සතසහස්සං ච. පච්චෙකබුද්ධා ද්වෙ අසංඛෙය්‍යානි සතසහස්සඤ්ච. එත්තකො හි තෙසං අභිනීහාරො.
මේ විශුද්ධිමාර්ගයේ පූර්වෙනිවාසානුස්මෘති කථාවෙහි එන වැකියකි. ප්‍රකෘති ශ්‍රාවකයෝ කල්ප සියයක් ද කල්ප දහසක් ද අතීත ජාති සිහි කෙරෙත් ය. අසූමහා ශ්‍රාවකයෝ කල්ප ලක්ෂයක් සිහි කෙරෙත් ය. අග්‍ර ශ්‍රාවකයෝ ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයක් සිහි කෙරෙත් ය. පසේබුදුවරයෝ අසංඛ්‍ය දෙකක් හා කල්ප ලක්ෂයක් සිහි කෙරෙත් ය. ඔවුන් ගේ අභිනීහාරය (ප්‍රාර්ථනා කරමින් ආ කාලය) එපමණමය” යනු එහි තේරුම ය. මේ පාඨය අනුව ඇතැම් ආචාර්‍ය්‍යවරයෝ කල්ප සියය හා දහස සාමාන්‍ය ශ්‍රාවකයන් ගේ පාරමිතා කාලය ලෙස පවසති. ඇතැම් ආචාර්‍ය්‍යවරයෝ විමානවස්තු ප්‍රකරණයෙහි දැක්වුණු මණ්ඩුක දිව්‍ය පුත්‍රයා ගේ කථාව අනුව ජාති දෙක තුනක පාරමිතා වුව ද මඟපල ලැබීමට ප්‍රමාණවත් බව කියති. තවත් සමහරු කල්ප ලක්ෂයක් ම පෙරුම් පිරිය යුතු බව කියතා. එසේ කියන්නේ කුමක් සාධක කොට ද යන බව අපි නො දනිමු.