සිද්ධාර්ථ කුමාරයෝ වප්මඟුල් දිනයෙහි අහසේ පලක් බැඳ වැඩ සිටියහ යි ඇතැම් සිංහල බණ පොත්වල කියා තිබේ. එය බුද්ධ දේශනාවටත් අටුවාවලටත් විරුද්ධ ය. එදා දඹ රුක් සෙවනෙහි දී උපදවා ගත්තේ ප්‍රථම ධ්‍යානය ය. ඒ බව තථාගතයන් වහන්සේ විසින් ම-
“අභිජානාමි ඛො පනාහං පිතුසක්කස්ස කම්මන්තෙ සීතාය ජම්බුච්ඡායාය නිසින්නො විවිච්චේව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරිතා.”
යනුවෙන් මහාසච්චක සූත්‍රයෙහි වදාරා තිබේ. ප්‍රථමධ්‍යානය උපදවා ගැනීමෙන් ප්‍රාතිහාර්‍ය්‍ය නො කළ හැකි ය. අහසට නැඟීම ප්රාතිහාර්ය්යයෙකි. එය කළ හැක්කේ චතුර්ථධ්යානය උපදවා ගත් අයට පමණෙකි. බෝසතාණන් උපදවා ගෙන සිටියේ ප්‍රථමධ්‍යානය පමණක් බැවින් උන් වහන්සේට අහසට නො නැඟිය හැකි ය. එදා දඹ ගස් යට සිද්ධිය මහාසච්චක සූත්‍ර අටුවාවේ විස්තර කර ඇත්තේ මෙසේ ය.
රජු ගේ වප්මඟුල් දිනයක් ඇත්තේ ය. එදාට නොයෙක් කෑම වර්ග පිළියෙල කරති. වීදි පිරිසිදු කරවා පුන්කලස් තබවා ධජපතාක නංවා මුළුනුවර දෙව්විමනක් සේ සරසති. සියලු දාසියන් හා කම්කරුවෝ අලුත් පිළි හැඳ, ගඳින් මලින් සැරසී රජගෙට රැස්වෙති. රජු ගේ කර්මාන්තයෙහි නඟුල් දහසක් යොදවති. එදින එකක් අඩු අටසියයක් යොදත්. එදින වැඩට යොදන සියලු ම නඟුල් ගොනුන් හා ලණුත් සමඟ ජාණුස්සෝණි බ්‍රාහ්මණයා ගේ රථය සේ රිදියෙන් වසන ලද්දේ වේ. රජු විසින් අල්ලා ගෙන යන නඟුල ස්වර්ණයෙන් වසන ලද්දේ වේ. ගොනුන් ගේ අං හා රැහැන් ද කෙවිටි ද රනින් වසන ලද්දේ ම වේ. රජතුමා මහ පිරිවරින් නික්මෙනුයේ පුතණුවන් ද ගෙන ගියේ ය. කර්මාන්ත ස්ථානයෙහි ඝන වූ අතුපතර ඇති හොඳ සෙවන ඇති දඹ ගසක් විය. ඒ ගස යට කුමාරයාණන්ට යහනක් තබවා රන් තරු ඇල්ලූ වියනක් බඳවා වටතිර බඳවා ආරක්ෂකයන් තබා රජතුමා සර්වාලංකාරයෙන් සැරසී ඇමැති සමූහයා පිරිවරා සී සානා තැනට ගියේ ය. රජතුමා රන් නඟුලක් ද, ඇමැතියෝ එකක් අඩු අටසියයක් රිදී නඟුල් ද, ගොවියෝ අවසේස නඟුල් ද ගෙන හෑමට පටන් ගත්හ. බෝධිසත්ත්වයන් පිරිවරා සිටි කිරිමව්වරු රජු ගේ සම්පත්තිය බලම්හ යි තිරය තුළින් පිටතට ගියහ. බෝසත්තුමා වට පිට බලා කිසිවකු නො දැක වේගයෙන් නැඟිට යහන මත පලක් බැඳ හිඳ ආශ්වාස ප්‍රශ්වාසයන් මෙනෙහි කොට ප්‍රථමධ්‍යානය උපදවා ගත්තේ ය. කිරිමව්වරු කෑම් බීම් අතර හැසිරෙන්නාහු මඳක් කල් පසු කළහ. එවේලෙහි අන් ගස්වල සෙවනැලි ඉර අවරට යාම නිසා නැගෙනහිරට ගොස් තිබිණ. දඹගසේ සෙවනැල්ල කිසි දිහාවකට නො ගොස් දඹ රුක වටා ම තිබිණ. ස්ත්‍රීහු කුමාරයෝ තනිව ම සිටිති යි වහා අවුත් බලන්නාහු බෝසත් කුමරු යහන මත පලක් බැඳ වැඩ සිටීම හා ඒ ප්‍රාතිහාර්‍ය්‍ය දැක වහා දුව ගොස් රජුට දැන් වූහ. රජතුමා වහා ගොස් ඒ ප්‍රාතිහාර්‍ය්‍ය දැක ‘දරුව, මේ මාගේ දෙවන වැඳීමය’යි කියා බෝසත්තුමාට වැන්දේ ය.
මේ වප්මඟුල් දිනයේ සිද්ධිය මහාසච්චක සූත්‍ර අටුවාවෙහි විස්තර කර ඇති ආකාරය ය. මේ පුවත බුද්ධවංශ අටුවාවෙහි ද මෙසේ ම විස්තර කර තිබේ. වප්මඟුල් දිනයේ වූ ප්‍රාතිහාර්‍ය්‍ය නම් සිදුහත් කුමරු ප්‍රථමධ්‍යානය උපදවා යහන මත වැඩ සිටීම හා දඹ ගසේ සෙවනැල්ල ඉවතට නො ගොස් බෝසතුන් වටා තිබීම ය.