අප විසින් දැනට පවත්නා පිටකත්‍රය පිළිගන්නවා නම් “තණ්හා - අරති - රගා” යන මාරදුහිතෘන් තිදෙනා බුදුරදුන් පෙළඹවීමට ගිය පුවත පිළිගත යුතුය. මාර යුද්ධය ගැන පිටකත්‍රයට අයත් පොත්වල සඳහන් වී ඇති කරුණු ඉතා ස්වල්පයකි. මරඟනන් බුදුරදුන් වෙත පැමිණීම පිළිබඳ සංයුත්ත නිකායේ මාර සංයුත්තයේ විස්තරයක් සඳහන්ව ඇත්තේ ය. එහි, සිංහල බණ පොත්වල එන විස්තරය තරම් විස්තරයක් නැත. අටුවාවලත් නැත. පෙළෙහි හෝ අටුවාවෙහි නැති කරුණු අනුව පොත් ලියන අයට දැන ගැනීමට ක්‍රමයක් නැත. ඔවුන් මරඟනන් ගැන ලියා ඇති නොයෙක් විස්තර ලියා ඇත්තේ ‘එසේ වන්නට ඇතය’ කියා ඔවුනට සිතුණු පරිදි විය යුතු ය. මරඟනන් ගේ රැඟුම් දැක්වීම දැන් චිත්රවලත් නඟා ඇති නමුත් ඔවුන් බුදුන්වහන්සේ ඉදිරියේ නැටුම් ගැයුම් කළ බවක් පෙළෙහි හෝ අටුවාවල සඳහන් වන්නේ නැත. බොහෝ දෙනා මේ කාරණය ගැන සැක කරන්නේත් ඇතැම් පොත්වල ඇති අධික වර්ණනා නිසා විය හැකි ය. ඇතැම්හු ඒ මාර දුහිතෘන් ගේ ප්‍රවෘත්තියත් තථාගතයන් වහන්සේ විසින් කෙලෙස් වලින් ජය ගත් සැටි දැක්වීමට ගොතන ලද ප්‍රබන්ධයකැයි ද කියති. සමහර විට ඔවුන් එසේ කියන්නේ මාරදූන් ගේ පුවත නිකම් ම බොරුවකැයි කීමට ඇති බිය නිසා විය හැකි ය. අර්හන්මාර්ගඥානයෙන් සකල ක්ලේශයන් නැසූ බුද්ධ ශ්රාවකයන්ටත් නැවත කිසි කලෙක කෙලෙස් මතු වී ඒමක් නැත. එසේ තිබිය දී බෝධි මූලයේ අර්හන්මාර්ගඥානයෙන් සියලු කෙලෙසුන් නැසූ බුදුන් වහන්සේට පස්වන සතියේ දී නැවත කෙලෙස් මතු වීමක් කෙසේ සිදුවිය හැකි ද? නො හැකි ම ය. එබැවින් මාරදූන් ගේ පුවත පස්වන සතියේදී නැවත ද තථාගතයන් වහන්සේට කෙලෙස් මතු වී ඒවා පැරදවීම දැක්වීමට ගෙතූ කතාවක් නො වන බව කිය යුතු ය. මරඟනන් ගේ පුවත මාර සංයුත්තයේ දැක්වෙන්නේ මෙසේ ය.
මාරයා එදා යුද්ධයෙන් පැරදීම නිසා දොම්නසට පැමිණ බුදුරජාණන් වහන්සේට නුදුරු තැනක වාඩිවී කල්පනා කරමින් බිම ඉරි අඳිමින් සිටියේ ය. මාර දුහිතෘන් ඔහු වෙත ගොස් -
“කෙනාසි දුම්මනො තාත! පුරිසං කන්නු සොචසි,
මයං තං රාගපාසෙන අරඤ්ඤ මිව කුඤ්ජරං
බන්ධිත්වා ආනයිස්සාම වසගො තෙ භවිස්සති” යි
පියාණෙනි! ඔබ කුමට නො සතුටුව ඉන්නහු ද? කිනම් පුරුෂයකු ගැන ඔබ ශෝක කරන්නහු ද? අපි වල් අලියකු මෙන් ඒ පුරුෂයා රාග බන්ධනයෙන් බැඳගෙන එන්නෙමු. ඔහු ඔබ වසඟයට පැමිණෙන්නේ ය යි කීහු. එකල්හි මාරයා -
“අරහං සුගතො ලොකෙ න රාගෙන සුවානයො,
මාරධෙය්‍ය අතික්කන්තො තස්මා සොචා මහං භුසං” යි
ලෝකයෙහි මාරයා ගේ වාසස්ථානය වූ ලෝකය ඉක්ම වූ අර්හත් වූ සුගතයන් වහන්සේ රාගයෙන් ගෙන ඒම පහසු නො වේ. එබැවින් මම තදින් ශෝක වෙමි යි කීය. ඉක්බිති තණ්හා - අරති - රගා යන මාරදූහු තථාගතයන් වහන්සේ වෙත ගොස් “අපි ඔබට උපස්ථාන කරමු” යි කීය. තථාගතයන් වහන්සේ එයට ඇහුන්කන් නුදුන් සේක. ඉක්බිති මාරදූහු පසෙකට ගොස් ‘පුරුෂයන් ගේ අදහස් අනේකාකාර ය. අපි එක එක්කෙනා කුමාරිකාවන් සියය බැගින් මවා ගෙන ඔහු වෙත යමුය’ යි සිතා, එසේ ගොස් නැවතත් ‘ශ්‍රමණය, අපි ඔබට උපස්ථාන කරමු’ යි කීහ. එයට ද තථාගතයන් වහන්සේ සැලකිල්ලක් නො කළ සේක. ඉක්බිති නැවත වරක් දරුවන් නො ලැබූ වයසේ ස්ත්‍රීන් සියය බැගින් මවාගෙන ද, එක් දරුවකු ලැබූ වයසින් පෙනෙන ස්ත්‍රීන් සියය බැගින් මවාගෙන ද, දෙවරක් වැදූ වයසින් පෙනෙන ස්ත්‍රීන් සියය බැගින් මවාගෙන ද, මධ්‍යම වයසේ ස්ත්‍රීන් සියය බැගින් මවාගෙන ද, මහලු ස්ත්‍රීන් සියය බැගින් මවාගෙන ද, තථාගතයන් වහන්සේ වෙත ගොස් පෙර සේම යාඥා කළහ. තථාගතයන් වහන්සේ සැලකිල්ලක් නො දැක්වූහ. ඉක්බිති මාරදූහු එක් පසෙකට ගොස් මේ ශ්‍රමණයා රාගබන්ධනයෙන් බැඳ ගෙන එන්නට නුපුළුවනැයි අප පියා කීයේ සැබෑවක. රාගය ප්රහාණය කර නැති ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ මේ උපක්‍රමය කරන ලද්දේ නම් ඔහු ගේ ළය හෝ පැළෙන්නේ ය. ඔහුට ලේ වමනය හෝ වන්නේ ය. ඔහු උමතු බවට හෝ පැමිණෙන්නේ ය. කැපූ ළපටි බට ලීයක් සේ ඔහු වියළී යන්නේ ය යි ඔවුනොවුන් කථා කර ගත්හ. ඉක්බිති ඔවුහු වෙන වෙන ම තථාගතයන් වහන්සේ ගෙන් ප්‍රශ්න ඇසූහ.
“අත්ථස්ස පත්තිං හදයස්ස සන්තිං
ඡෙත්වාන සෙනං පියසාතරූපං
එකාහං ඣායං සුඛ මනුබොධිං
ජනෙන තස්මා න කරොමි සක්ඛිං”
යනාදීන් තථාගතයන් වහන්සේ පිළිතුරු දුන් සේක. ඉක්බිති මාරදුහිතෘහු මාරයා වෙත ගොස් තථාගතයන් වහන්සේ රාගයෙන් බැඳීමේ දුෂ්කරත්වය ඔහුට කීහ. මේ මාරදුහිතෘන් ගේ ප්‍රවෘත්තිය මාරසංයුත්තයේ දක්වා ඇති සැටි ය. තණ්හා - අරති - රගා යන වචන කෙලෙස්වලට ද යෙදෙන වචන වීමත් මාරදුහිතෘන් ගේ ප්‍රවෘත්තිය ඇතැමුන්ට ක්ලේශයන් පිළිබඳ ප්‍රබන්ධයකැයි ගැනීමට කරුණක් වී තිබේ. එහෙත් එය එසේ නො වන බව තේරුම් ගැනීමට මාගන්දිය බ්‍රාහ්මණයා හට තථාගතයන් වහන්සේ වදාළ-
“දිස්වාන තණ්හං අරතිං රගඤ්ච
නාහොසි ඡන්දො අපි මෙථුනස්මිං
කිමෙවිදං මුත්තකරීස පුණ්ණං
පාදාපි නං සංඵුසිතුං න ඉච්ඡෙ”
යන ගාථාවත් හොඳ සාක්ෂ්යයෙකි. මා හට තණ්හා - අරති - රගා යන මාරදුහිතෘන් දැක ද මෛථුනයට කැමැත්තක් නො වීය. මෙවැනි මලමුත්‍රයෙන් පිරුණු ශරීරයක් කුමට ද, ඇය පයින් ස්පර්ශ කිරීමටවත් නො කැමැත්තෙමිය යනු එහි තේරුම ය. මාරදුහිතෘන් තථාගතයන් වහන්සේ වෙත නො පැමිණියා නම් මාගන්දිය බ්‍රාහ්මණයාට ඔවුන් දුටු බව වදාරන්නට කරුණක් නැත.