මාරයුද්ධය පිළිබඳ විස්තරයක් දැක්වෙන දේශනාවක් පිටකත්‍රයෙහි දක්නට නැත. එහෙත් මාරයා පිළිබඳ නොයෙක් පුවත් සූත්‍ර විනය පිටක දෙක්හි දක්නා ලැබේ. මහ බෝ මැඩට සිද්ධාර්ථ කුමාරයන් හා යුද්ධයට මාරයා පැමිණි බව සූත්‍ර නිපාතයේ ප්‍රධාන සූත්‍රයෙහි-
සමන්තා ධජිනිං දිස්වා යුත්තං මාරං සවාහනං.
යුද්ධාය පච්චුග්ගච්ඡාමි මා මං ඨානා අවාචයි.”
යනුවෙන් ඉතා කෙටියෙන් වදාරා තිබේ. මාරයුද්ධය සිදු වූවක් ය යි නො සිතිය හැකි තරමට අතිශයෝක්තියෙන් සමහර පොත්වල විස්තර කර තිබේ. ඒවායේ කියැවෙන සැටියට නම් යුද්ධ කෙරුණු රටවත් ඉතිරි විය නො හැකි ය. සිදුවූවක් ලෙස සිතන්නට නො පිළිවන් වන පරිදි විස්තර කොට ඇති බැවින් ඒ යුද්ධය ඇත්තට ම සිදු වූවක් නොව, ක්ලේශප්‍රහාණයේ දුෂ්කරත්වය දැක්වීම සඳහා කෙලෙස්වල බලය දැක්වීම සඳහා ගොතන ලද කථාවක් ලෙස ඇතැම්හු සලකති. මේ යුද්ධය හැර මාරයා කළ නොයෙක් වැඩ සූත්‍ර විනය පිටක දෙක්හි ස්ථාන බොහෝ ගණනක සඳහන් වී ඇති බැවින් මාරයෙක් නැත ය යි නො කිය හැකි ය.
මාරයා ය කියනුයේ කාමලෝකයට අධිපති දෙවියෙකි. තපස් කිරීම් ආදියෙන් කාමලෝකයේ ඉන්නා සත්ත්වයන් ඉන් බැහැර යන්නට උත්සාහ කරනවා නම් ඔහු එයට විරුද්ධ ය. ඒ මාරයාට මහා සේනාවක් ද ඇත්තේ ය. සංසාරයෙන් එතර වනු පිණිස බලවත් උත්සාහයෙන් භාවනාවෙහි යෙදෙන යෝගාවචරයන්ට මාරයාගෙන් හෝ මාරපාක්ෂික භූතයන්ගෙන් දැනුදු බොහෝ කරදර ඇති වන බව ඇතැම් යෝගාවචරයෝ තමන් ගේ අත්දැකීම් අනුව කියති. ඒවා ගැන යෝග කළ අය මිස සාමාන්‍ය ජනයා නො දනිති. යෝගීන්ට බාධා කරන මේ දෙවියාට සත්ත්වයන් අනර්ථයෙහි යොදවා ඔවුන් අමාරුවට පත් කරන බැවින් ‘මාර’ ය යි ද, පාපධර්මයන්ගෙන් යුක්ත වන බැවින් ‘පාපිමය’ ය යි ද කියනු ලැබේ. තව ද, කණ්හ - නමුචි - අන්තක - පමත්ත - බන්ධූ, යන මේවා ඔහු හැඳින්වීමට බුදු දහමෙහි යොදා ඇති නාමයෝ ය. සසරින් එතරවීමට තැත් කරන සාමාන්‍ය බුද්ධශ්‍රාවකයන්ට ද අවහිර කරන මේ මාරයා තමන් වහන්සේත් සංසාරයෙන් එතරව තවත් බොහෝ සත්ත්වයන් සංසාරයෙන් එතර කරවීමේ මහා ව්‍යාපාරයක් පවත්වා ගෙන යන සිද්ධාර්ථ කුමාරයන් වහන්සේට අවහිර කිරීමට පැමිණීම පුදුමයට කරුණක් නො වේ.
බෝසතාණන් වහන්සේ දුෂ්කරක්‍රියා කරන කාලයේ දී එය අත්හරින ලෙස මාරයා පැමිණ අවවාද කළ බව ප්‍රධාන සූත්‍රයෙහි වදාරා තිබේ. තථාගතයන් වහන්සේට පිරිනිවන් පානා ලෙස ආරාධනා කළ බව මහා පරිනිර්වාණ සූත්‍රයෙහි සඳහන් වී තිබේ. වේරඤ්ජාවෙහි දී තථාගතයන් වහන්සේ ඇතුළු පන්සියයක් භික්ෂූන්ට වස් කාලය මුළුල්ලෙහි දානය වැළැක්වීමෙන් මාරයා කරදර කළ සැටි විනය පිටකයේ පාරාජිකා පාලියෙහි විස්තර කර තිබේ. තථාගතයන් වහන්සේ බුදු වූ අලුත නේරඤ්ජරා තීරයේ අජපාල නුග රුක මුල එක් රාත්‍රියක වැඩ වෙසෙන කල්හි මහ ඇතකු ගේ වේශයෙන් පැමිණ උන් වහන්සේ බිය ගැන්වීමට උත්සාහ කළ බව ද, තවත් දිනයක එහි දී ම රාත්‍රියේ අන්ධකාරයෙහි ශුභාශුභ නානා ප්‍රකාර දේ දැක්වීමෙන් උන් වහන්සේ බියගැන්වීමට උත්සාහ කළ බව ද, තථාගතයන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන කල්හි එක් රාත්‍රියක මාරයා මහා සර්පයකු ගේ වේශයෙන් අවුත් උන් වහන්සේ බිය ගන්වන්නට උත්සාහ කළ බව ද මාරසංයුත්තයේ සඳහන් වේ. තවත් භික්ෂු භික්ෂුණීන්ටත් නොයෙක් නොයෙක් කරදර කළ බව එහි සඳහන් වේ.
තව ද මාරයා මුගලන් මහ රහතන් වහන්සේටත් එක් දිනක මහ කරදරයක් කළ බව මජ්ඣිම නිකායේ ‘මාරතජ්ජනීය’ සූත්‍රයෙහි දක්වා තිබේ. මාර කරදරය අප බුදුරජාණන් වහන්සේට පමණක් නොව අතීත බුදුවරයන් වහන්සේලාටත් උන් වහන්සේලාගේ ශ්‍රාවකයනටත් තුබූ බව ‘මාරතජ්ජනීය’ සූත්‍රයෙන් පෙනේ. ‘කකුසඳ’ බුදුන් ගේ කාලයේ දී දූසී නම් මාරයා බ්‍රාහ්මණ ගෘහපතීන්ට ආවේශ වී උන් වහන්සේ ගේ ශ්‍රාවකයනට බොහෝ කරදර කළ බවත් ඔහු ළමයකුට ආවේශ වී කකුසඳ බුදුන් වහන්සේ ගේ අග්‍රශ්‍රාවක වූ විධුර තෙරුන් වහන්සේ ගේ හිසට ගලකින් ගසා තුවාල කළ බවත් ඒ පාපයෙන් ‘දූසිමාර’ මැරී අපායෙහි උපන් බවත් මාරතජ්ජනීය සූත්‍රයෙහි දක්වා තිබේ. මේ කරුණු ගැන සලකා බලන කල්හි බුදුවරුන්ට හා බුද්ධශ්‍රාවකයන්ට කරදර කර මාර නමැති දෙවියකු ඇති බව පිළිගත යුතුය. මේ කරුණු අනුව බලන කල්හි මාරයුද්ධය ප්‍රබන්ධයක් නොව සත්‍යයක් බව කිය යුතු ය. බුදුවීම වළක්වන්නට එදා මාරයා සෑම උත්සාහයක් ම කරන්නට ඇත. එබැවින් එදා කැරුණු මාරයුද්ධය නිකම් ම ප්‍රබන්ධයකැයි නො කිය හැකි ය.
එදා මාරයා යුද කොට පැරද පලා ගියේ හිර බැස යාමට කලින් ය. කෙලෙස් යුද්ධ ය යි කිය යුත්තේ කෙලෙස් නැසීම සඳහා කරන භාවනාවට ය. මරහු පැරද පලා ගිය පසු බෝසතාණන් වහන්සේ භාවනාවට පටන් ගත්හ. ඒ රාත්‍රියේ ප්‍රථම යාමයෙහි බෝසතාණන් වහන්සේ භාවනා කොට ප්‍රථම - ද්විතීය - තෘතීය - චතුර්ථ රූපාවචර සමාපත්ති උපදවා පෙර උපන් ජාති පිළිවෙළ දක්නා නුවණ උපදවා ගත්හ. ඒ නුවණට මම අතීතයේ අසවල් තැන මෙසේ ඉපද සිටියෙමිය, අසවල් තැන මෙසේ ඉපද සිටියෙමි ය යි දහස් ගණන් ලක්‍ෂ ගණන් අතීත ජාති පෙනෙන්නට විය.
ඉක්බිති තව දුරටත් භාවනා කරන්නා වූ බෝසතාණන් වහන්සේට සත්ත්වයන් ගේ මරණෝත්පත්ති දැකිය හැකි නුවණ පහළ විය. එයින් උන් වහන්සේට මේ මේ සත්ත්වයෝ මේ මේ කර්ම කොට මැරි මැරී සුගති දුර්ගතිවල උපදනාහයි සත්ත්වයන් ගේ මැරීම් ඉපදීම් පෙනෙන්නට විය. මේ ඥාන දෙක ඇති කර ගැනීම කෙලෙස් යුද්ධයේ එක් කොටසකි. ඉක්බිති බෝසතාණන් වහන්සේ රාත්‍රියේ පශ්චිම යාමයෙහි සියලු ම බුදුවරයන් ගේ චාරිත්‍රය අනුව ප්‍රතීත්‍යසමුත්පාදයට නුවණ මෙහෙයා එය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කොට සත්ත්වයන් ගේ නැවත නැවත ඉපද ඉපද මැරීම තත්වූ පරිදි තේරුම් ගෙන ආනාපාන චතුර්ථධ්‍යානය උපදවා එය පාදක කොට පිළිවෙළින් ලෝකෝත්තර මාර්ග ඵලයන් උපදවමින් ගොස් සකල ක්ලේශයන් සමූල ඝාතනයෙන් නසා අවසන් කරන අර්හන් මාර්‍ගය උපදවා එය අනුව සියලු බුද්ධ ගුණයන් උපදවා ලොවුතුරු බුදු බවට පැමිණි සේක. අර්හන්මාර්‍ගඥානය උපදවා ගැනීම කෙලෙසුන්ට අන්තිම ප්‍රහාරය දීමය.