දුෂ්කරක්‍රියා නො කොට බුදුවිය හැකි ද? නො හැකි ද? යන මේ ප්රශ්නය මහාසච්චක සූත්‍ර අටුවාවෙහි මතු කොට එයට පිළිතුරු දී තිබෙන්නේ දුෂ්කරක්‍රියා නො කොට ද, කොට ද බුදුවිය හැකිය කියා ය. එසේ නම් බෝධිසත්ත්වයන් වහන්සේ දුෂ්කරක්‍රියා කළේ කුමට ද? යන ප්රශ්නය එහි ම මතු කොට එයට ද පිළිතුරු සපයා තිබේ. දෙවියන් සහිත ලෝකයාට තමන් වහන්සේ ගේ පරාක්‍රමය මේ දුෂ්කරක්‍රියාවෙන් දැක් වූ කල්හි ඒ වීර්‍ය්‍ය කිරීමේ ගුණය උන් වහන්සේ ගේ සිතෙහි සතුටක් ඇති කරන්නක් වන්නේ ය යි සලකා දුෂ්කරක්‍රියාව කළහ යි ඒ අටුවාවෙහි දක්වා තිබේ. බලසෙනඟ ගෙන යුද්ධ දෙක තුනක් කොට සතුරන් නසා තමා ගේ පරාක්‍රමයෙන් රාජශ්‍රීයට පැමිණි ක්ෂත්රියයා තමා ගේ පරාක්‍රමය සිහි කරමින් මහත් වූ ප්‍රීතියක් ලබන්නේ ය. පරම්පරාවෙන් ආ රජය නිකම්ම ලැබූ තැනැත්තාට එබඳු ප්‍රීතියක් නො ලැබිය හැකිය. එමෙන් දුෂ්කරක්‍රියා කොට බුදු වූ කල්හි තමන් ගේ වීර්‍ය්‍ය - බලය පරාක්‍රමය සිහි කරමින් මහත් වූ ප්‍රීතියක් ලැබිය හැකිය යි ද කාරණය එහිම විස්තර කර තිබේ. පශ්චිම ජනයා කෙරෙහි අනුකම්පාවෙන් ඔවුනට ආදර්ශයක් දීම පිණිස දුෂ්කරක්‍රියා කළ බව ද කියා තිබේ. බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ද, දුෂ්කරක්‍රියා කොට ම බුදුවූහ. අපට නිකම් ම දුකින් මිදිය හැකිදැ යි සලකා ශ්‍රාවකයෝ මඟපල ලැබීමට වීර්‍ය්‍ය කරන්නාහ. ඔවුහු එසේ කොට මඟපල ලබා දුකින් මිදෙන්නාහ යි සිද්ධාර්ථ කුමාරයෝ දුෂ්කරක්‍රියාව කළහ.
යටත් පිරිසෙයින් සතියක් වත් දුෂ්කරක්‍රියා කිරීම මහබෝසතුන් ගේ ධර්මතාවක් බව බුද්ධවංශ අටුවාවේ දක්වා තිබේ. සිද්ධාර්ථකුමාරයෝ සවසක් ම දුෂ්කරක්‍රියා කළහ. අන්‍ය බෝධිසත්ත්වයන් එතරම් ම දීර්ඝ කාලයක් දුෂ්කරක්‍රියා කළ බවක් සඳහන් වී නැත. සිද්ධාර්ථ කුමාරයන් ගේ දුෂ්කරක්‍රියාව එතරම් දීර්ඝ වූයේ ‘අතීතයේ ජෝතිපාල නම් මානවකයකු වී, මේ මුඩු හිස ඇතියහුට බුදුබවක් කොයින් ද, බුදුබව පරම දුර්ලභ දෙයක්ය කියා කාශ්‍යප බුදුන් වහන්සේට අපහාස කිරීමේ පාපය නිසාය’යි අපදානපාලියෙහි මෙසේ වදාරා තිබේ.
“අචචා හං ජොතිපාලො කස්සපං සුගතං තදා,
කුතොනු බොධි මුණ්ඩස්ස බොධි පරම දුල්ලභා
තෙන කම්ම විපාකෙන අචරිං දුක්කරං බහුං
ඡබ්බස්ස මුරුවෙලායං තතො බොධි මපාපුණි.”