1. ලෝභෝ
2. දෝසෝ
3. මෝහෝ
ගසක හෝ වැලක මුල ඇති කල්හි ඒ මුල නිසා බොහෝ අතු පතර සතර දිශාවට හා උඩටත් ලියලා යන්නාක් මෙන් ලෝභය ඇති කල්හි ඒ ලෝභයෙන් අනේකප්‍රකාර අකුශල ධර්මයෝ ඇති වන්නාහ. ලෝභය ඇති වූ කල්හි ලෝභයෙන් මඩනා ලද පුද්ගල තෙමේ ඒ ලෝභයෙන් මෙහෙයන ලදුව මස් කෑම සඳහා සතුන් මරයි. සොරකම් කරයි. ධනය ගැනීම සඳහා සමහර විට මිනිසුන් ද මරයි. මාපියන් සතු ධනය ගැනීම සඳහා ඔවුන්ට ද නොයෙකුත් හිරිහැර කරයි. සමහරවිට මාපියන් ද මරයි. අනුන්ගේ ධනය කොල්ල කයි. ධනය සඳහා චෛත්‍ය බුදු පිළිම බිඳී. භික්ෂූන් මරයි. පරදාර සේවනය කරයි. නොයෙක් වඤ්චා කරයි. සුරාපානය කරයි. ඒ පව් සියල්ලට ම ලෝභය මුල බැවින් ලෝභය අකුශල මූලයෙකි.
ද්වේෂය ඇති වූ කල්හි එයින් ද අනේකප්‍රකාර අකුශල ධර්මයෝ නැගී එති. ද්වේෂය ලෝභයට වඩා දරුණු ය. ලෝභයෙන් අකුශලයෙන් නැඟී වැවී එන්නේ සෙමිනි. ද්වේෂයෙන් ඉතා වේගයෙන් අකුශල ධර්මයෝ වහා නැඟී එති. ද්වේෂය ඇති වූ කල්හි එයින් මඩනා ලද පුද්ගලයා පළමුවෙන් රවා බලයි. ඔහුගේ මුහුණ යක් මුහුණක් බඳු වෙයි. පරුෂ වචන කියයි. අත්පා ඔසවයි. පොලු කඩු කිණිසි තුවක්කු ගනී. අනුන්ට පහර දෙයි. සමහර විට අනුන් මරයි. ගෙවල් ගිනි තබයි. දේපොල විනාශ කරයි. සමහර විට තමා ද දිවි නසා ගනී. ඒ සියල්ලට ම මුල ද්වේෂය ය. එබැවින් ද්වේෂය අකුශල මූලයකි.
මෝහය නුවණැස නැති කොට සත්ත්වයා අන්ධ කරන ධර්මයෙකි. මෝහයෙන් මුළා වූවහුට ආත්මාර්ථය නො දැනේ. පරාර්ථය ද නො දැනේ. ඔහුට පෙනෙන්නේ යුක්තිය අයුක්තිය සේ ය. අයුක්තිය යුක්තිය සේ ය. ධර්මය අධර්මය සේ ය. අධර්මය ධර්මය සේ ය. අර්ථය අනර්ථය සේ ය. අනර්ථය අර්ථය සේ ය. පින පව සේ ය. පව පින සේ ය. ඔහු අකාලවාදී වෙයි. අභූතවාදී වෙයි. අනර්ථවාදී වෙයි. අධර්මවාදී වෙයි. අවිනයවාදී වෙයි. ඔහුට නො කළ හැකි නීච ක්‍රියාවක් නො කළ හැකි පවක් නැත. ඔහු බලවතකු වී නම් වඩාත් පව්කම් කරයි. ඔහුට මෝහය නිසා ලෝභය ද නැඟ එයි. ද්වේෂය ද නැඟ එයි. ලෝභ ද්වේෂ මෝහ යන තුනෙන් ම පීඩිත වූ හෙතෙමේ මෙලොව ද දුකින් ජීවත් වී මරණින් මතු අපායෙහි ද උපදින්නේ ය. අනේක අකුශලයන්ට මුල් වන බැවින් මෝහය අකුශල මූලයකි. ලෝභ මෝහයෝ සංසාර ප්‍රවෘත්තියට ද මූලයෝ වෙති.