4. කාමවිතක්කෝ
5. ව්‍යාපාදවිතක්කෝ
6. විහිංසාවිතක්කෝ
සත්ත්වයන් කැමති වන ඇලුම් කරන වස්තූහු කාමයෝ ය. මනාප වූ රූප ශබ්ද ගන්ධ රස ස්ප්‍රෂ්ටව්‍යයෝ ය, තවත් ක්‍රමයකින් කියත හොත් සත්ත්වයනට ප්‍රියමනාප ආහාරපාන වස්ත්‍ර ආභරණ පරිභෝගභාණ්ඩ ගේ වතු කුඹුරු රන් රිදී මුතු මැණික් මුදල් යනාදිය ද ගවාදි සත්ත්වයෝ ද අඹු දරු නෑ මිතුරෝ ද යන මොහු කාමයෝ ය. ඒ කාමයන් ලැබීම පිළිබඳ වූ ද, පරිභෝග කිරීම පිළිබඳ වූ ද, පරෙස්සම් කිරීම පිළිබඳ වූ ද, දියුණු කිරීම පිළිබඳ වූ ද කල්පනාව කාමවිතක්ක නම් වේ. කාම විතර්කයෙන් තොර ව ගිහි ජීවිතය නො පැවැත්විය හැකි ය. කාමයන්ගෙන් ඈත් ව දුකින් මිදෙනු පිණිස මහණදම් පුරන්නවුන්ට මෙය අනර්ථකර ය.
ව්‍යාපාද විහිංසා විතර්ක දෙක බෙහෙවින් සම බැවින් වෙන් කිරීම අපහසු ය. මෛත්‍රියට විරුද්ධ ස්වභාවය ව්‍යාපාදය ය. අන්‍යයන්ට යහපතක් කිරීම මෛත්‍රියේ ස්වභාවය ය. නපුරක් කිරීම ව්‍යාපාදයේ ස්වභාවය ය. එබැවින් අන්‍යයන්ට අවමන් කිරීම පහරදීම ආදියෙන් පීඩා කිරීම් පිළිබඳ කල්පනාව ව්‍යාපාද විතර්කය යි කිය යුතු ය.
කරුණාවට විරුද්ධ ස්වභාවය විහිංසාව ය. කරුණාවෙන් කෙරෙනුයේ දුක්ඛිතයන්ට පිහිට වීම ය. අන්‍යයන්ට දුක්දීම විහිංසාව ය. අන්‍යයන්ට දුක් දීම කරදර කිරීම පිළිබඳ කල්පනාව විහිංසා විතර්කය ය. ව්‍යාපාද විහිංසා විතර්කයන් ඉතිවුත්තක අටුවාවේ දක්වා ඇත්තේ මෙසේ ය:-
“ව්‍යාපාදවිතක්කෝ අප්පියෝ අමනාපේ ච සත්තේ වා සංඛාරේ වා කුජ්ඣිත්වා ඔලෝකනතෝ පට්ඨාය යාව නාසනා උප්පජ්ජති. විහිංසා විතක්කෝ ඉමේ සත්තා හඤ්ඤන්තු වා වජ්ඣන්තු වා උච්ඡිජ්ජන්තු වා විනස්සන්තු වා මා වා අහේසුන්ති වා චින්තන කාලේ පන සත්තෙසු උප්පජ්ජති.”