බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය විශ්වාස නො කරන බව නො පිළිගන්නා බව අස්සද්ධිය නම් වේ. එනම් ශ්‍රද්ධාව නැති බව ය. මෙය ඉතා හානිකර අනර්ථදායක ක්ලේශයකි. ශ්‍රද්ධාව නැති පුද්ගලයා අත් නැති මිනිසකු වැනිය. පියාපත් නැති පක්ෂියකු වැනිය. සොඬ නැති ඇතකු වැනි ය. ලෝකයේ බුදු කෙනකුන් පහළ වන්නේ කලාතුරකිනි. බුද්ධශූන්‍ය කල්ප කෝටි ගණනින් ඉක්ම යන්නේ ය. බුදු කෙනකුගේ ලොව පහළ වීම සියල්ල ඇති කප් රුකක් පහළ වීම වැනි ය. සියල්ල වෙළඳාමට තබා ඇති වෙළඳ සැලක් විවෘත වීම වැනි ය. බුදුන් වහන්සේ විසින් විවෘත කරන ලද ඒ වෙළඳ සැලෙහි අන් තැනකින් ලබා ගත නොහෙන බොහෝ සම්පත් ඇත්තේ ය. එහි මනුෂ්‍ය සම්පත් දේව සම්පත් බ්‍රහ්ම සම්පත් නිර්වාණ සම්පත් යන සියල්ල ඇත්තේ ය. ශ්‍රද්ධාව නැතියවුන්ට කලාතුරකින් පහළ වන ඒ වෙළඳ සැළින් කිසිවක් ලැබිය නො හැකිය. ඒවා ලැබීමට වුවමනා ධනය නම් ශ්‍රද්ධා ධනය ය.
ආයුං ආරෝගතා වණ්ණං සග්ගං උච්චාකුලීනතං
අසංඛතඤ්ච අමතං අත්ථි සබ්බාපණේ ජිනේ.
අප්පේන බහුකේනාපි කම්මමූලෙන ගය්හති
සද්ධාමූලෙන කිණිත්වා සධනා හෝථ භික්ඛවෝ.
(මිළින්ද පඤ්හ)
බුදු සස්නෙන් ලැබිය හැකි ප්‍රයෝජනය ලැබීමට, දෙව් මිනිස් සම්පත් ලැබීමට, නිවන් සම්පත් ලැබීමට අත්‍යවශ්‍ය දෙය ශ්‍රද්ධාව ය. එය සැමට වුවමනා සැම දෙනා විසින් ම ඇති කර ගත යුතු උතුම් ගුණයෙකි. බෞද්ධයකුට තිබිය යුතු ප්‍රධාන ගුණය ය. බුදු දහමෙහි එයට දී ඇත්තේ ඉතා උසස් තැනෙකි. සප්තාර්‍ය්‍ය ධනය දේශනය කිරීමේ දී මුලට ම ගෙන ඇත්තේ සද්ධා ධනය ය. ඉන්ද්‍රිය දේශනයේ දී මුලට ම ගෙන ඇත්තේ සද්ධින්ද්‍රිය ය. බලදේශනයේ දී මුලට ම ගෙන ඇත්තේ සද්ධා බලය ය. ශ්‍රමණ ප්‍රතිපදාව දක්වන සූත්‍රවල මුලට ම ගෙන ඇත්තේ ද ශ්‍රද්ධාව ම ය. “සද්ධා බීජං” යනුවෙන් ශ්‍රද්ධාව සැපසම්පත්වලට බීජයකැයි ද, සද්ධීධ විත්තං පුරසස්ස සෙට්ඨං” යනුවෙන් ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨ ධනයකැයි ද, “සද්ධාය තරති ඕඝං” යනුවෙන් සද්ධාව කරණ කොට සංසාරෝඝයෙන් එතරවේය යි ද, “සද්ධා හත්ථෝ මහා නාගෝ” යනුවෙන් ශ්‍රද්ධාව අතකැයි ද බුදුන් වහන්සේ වදාරා ඇත්තේ ය. මහා ප්‍රාඥ වූ අප මහ බෝසතාණන් වහන්සේ විසින් ද ශ්‍රද්ධාව මුල් කරගෙන ම ක්‍රියා කළ බව මහා සච්චක සූත්‍රයෙහි එන “න ඛෝ ආළාරස්සේව කාලාමස්ස අත්ථි සද්ධා මය්හම්පත්ථි සද්ධා” යනාදි පාඨ වලින් පෙනේ. බුදු රජාණන් වහන්සේ විසින් අනේකාකාරයෙන් වර්ණනා කරන ලද උසස් ගුණ ධර්මයක් වන මේ ශ්‍රද්ධාව ඇතැම් උගත්තු ඇතැම් පඬිවරු මෝඩයන් ගේ දෙයක් ලෙස පහත් කර කථා කරති. එසේ කථා කරන්නේ පණ්ඩිත බව නිසා නොව ඔවුන්ගේ මෝඩකම නිසාය යි කිය යුතු ය. එසේ කථා කරන අය කාලාම සූත්‍රය වරදවා තේරුම් ගෙන ඒවා කියා අන්‍යයන් ද මුළා කරති.
සත්ත්වයනට සංසාරයක් ඇති බව, පින් පව් ඇති බව, පින් පව් වල විපාක ඇති බව, සත්ත්වයන් පින් පව් අනුව සුවදුක් ලබන බව, අපේ ඉන්ද්‍රියයන්ට අසු නො වන සත්ත්වයන් හා වස්තූන් ඇති බව, අපාය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඇති බව, ධ්‍යානාභිඥා ඇති බව, මාර්ග ඵල ඇති බව, නිර්වාණය ඇති බව යන මේවා සාමාන්‍ය මනුෂ්‍ය ඥානයෙන් නො දත හැකිය. ඒ කරුණු දත හැක්කේ සාමාන්‍ය මනුෂ්‍ය ඥානය ඉක්මවා උත්තරීතර ඥානයක් ලබා ඇති අයට ය. බුදුන් වහන්සේ එබඳු උත්තරීතර ඥානයක් ලබා ඇති බැවින් උන් වහන්සේට සියල්ල ම දැකිය හැකිය. උත්තරීතර ඥානය ලබා ඇති ඇතැම් බුද්ධ ශ්‍රාවකයෝ ද වෙති. ශාරිපුත්‍ර මෞද්ගල්‍යායනාදි ඒ උත්තම පුද්ගලයන්ට ඉහත කී කරුණු දත හැකිය. ඉහත කී කරුණු වලින් යම්කිසි ප්‍රමාණයක් දැකීමට සමත් නුවණ ලබා ඇති බාහිර තවුසෝ ද වූහ. උත්තරීතර ඥානයක් නැති සාමාන්‍ය ජනයා විසින් ඒ නුවණ ලබා ඇති උත්තම පුද්ගලයන්ගේ කීම පිළිගත යුතු ය. එසේ පිළිගැනීම ශ්‍රද්ධාවය ය. ඒ උත්තම පුද්ගලයන් විසින් පවසන ලද ධර්මය තමන්ට නො දැනෙන නො පෙනෙන නිසා ප්‍රතික්ෂේප කිරීම ජාත්‍යන්ධයකු ලෝකයේ වර්ණ නැතැය යි කියන්නාක් මෙනි. තමාට නො දැනෙන නො පෙනෙන පමණින් යමක් ප්‍රතික්ෂේප කිරීම අනුවණ කමකි.
බුදුන් වහන්සේගේ ධර්මය නුවණැතියෝ උන්වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් පිළිගනිති. ඇතැමුන් කියන සැටියට තමාට දැනෙන දෙය හැර අනිකක් නො පිළිගන්නේ නම් කාහටවත් කිසි පිනක් කරන්නට නො ලැබෙන්නේ ය. බුදුන් වහන්සේ රජ පවුලක උපන් කෙනෙකි. මනුෂ්‍යයකුට ලැබිය හැක සියලු සම්පත් අඩුවක් නැතිව උන්වහන්සේට තිබිණි. වුවමනාවට ද වඩා තිබිණි. ඒ සියල්ල හැර උන් වහන්සේ පැවිදි වූහ. සවසක් දුක් විඳ උන්වහන්සේ සියල්ල දත හැකි නුවණ ලබාගත්හ. උන්වහන්සේ හිස මුඩුකර ගෙන සිවුරු හැඳ පොරවා ගෙන පාත්‍රයක් ගෙන පිඬු සිඟා ජීවත් වෙමින් ගමින් ගම රටින් රට පා ගමනින් ම වැඩම කරමින් තමන් වහන්සේ විසින් අවබෝධ කර ගන්නා ලද ධර්මය ලෝකානුකම්පාවෙන් දේශනය කළහ. උන්වහන්සේ එසේ දහම් දෙසමින් හැසිරුණේ නැවත ගිහි වී ගිහි සම්පත් ලැබීමේ මගක් නැති නිසා නො වේ. උන් වහන්සේ සැම කල්හි ම විසුවේ රාජ්‍යය කිරීමට සුදුසු තත්වය ඇතිව ම ය. දිනක් උන් වහන්සේ දක්නට ගිය ත්‍රිවේදයේ පර තෙරට පැමිණ සිටි තුන්සියයක් මානවකයනට වේදය ඉගැන්වූ සේල නම් බ්‍රාහ්මණ පඬිවරයා උන් වහන්සේ දැක පිළිසඳර කථා කොට උන් වහන්සේගේ රූපය වර්ණනා කොට “මෙබඳු උත්තම රූපයක් ඇත්තා වූ ඔබ වහන්සේට මේ පැවිද්දෙන් කිනම් ප්‍රයෝජනයක් ද? ඔබ චක්‍රවර්ති රජ වීමට සුදුසු ය. ඔබ වහන්සේ චක්‍රවර්ති රජ වන්න” යයි කී බව මජ්ඣිම නිකායේ සේල සූත්‍රයෙහි සඳහන් වේ. එබඳු තත්ත්වයක් ඇති බුදුන් වහන්සේට තමන් වහන්සේ විසින් ප්‍රත්‍යක්ෂ කර ගෙන ඇති ධර්මයක් නැතිනම් දුක් විඳිමින් මහජනයා රවටමින් ඇවිදීමට කිසි කරුණක් නැත. නුවණැතියන්ට බුදුන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබා උන් වහන්සේගේ ධර්මය පිළිගැනීමට මේ කාරණය ම ප්‍රමාණවත් ය. බුදුරජාණන් වහන්සේට රජ පවුල් සිටු පවුල් ධනවත් බ්‍රාහ්මණ පවුල් වලින් පැවිදි වූ බොහෝ ශ්‍රාවකයෝ වූහ. මහකසුප් තෙරණුවෝ සත්විසි කෝටියක් ධනයට හිමි ව සිටි කෙනෙකි. යස තෙරුන් වහන්සේ බොහෝ ධනය ඇති සිටු පවුලක කෙනෙකි. උන් වහන්සේට තුන් සෘතුවට වාසය කිරීමට වෙන් වෙන් වූ ප්‍රාසාද තුනක් තිබිණි. වස්සාන සෘතුවේ දී පුරුෂයන්ගෙන් තොර ප්‍රාසාදයේ පොළොවෙහි පය නො තබාා ම සුව විඳි කෙනෙකි. එබඳු උසස් බුද්ධ ශ්‍රාවකයෝ බොහෝ වූහ. බුදුරදුන් අසර්වඥ නම් ශාසනය හිස් නම් ඒ ශ්‍රාවකයෝ දුක් විඳිමින් බුදු සස්නෙහි රැඳී නො සිටින්නාහ. මේ කරුණු ද බුදුන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි විශ්වාසය තැබීමට වැදගත් හේතූහුය.
දන් දීමෙහි මේ මේ අනුසස් ඇත්තේ ය. එබැවින් දිය යුතුය. විහාරාරාම කළ යුතු ය. ළිං පොකුණු මාවත් තැනිය යුතුය. ගිලන් හල් ගිමන් හල් දහම් හල් පාසල් ආදිය තැනිය යුතුය යි සත්පුරුෂයන් විසින් කරනු ලබන අනුශාසනය තේරුම් ගත නොහෙන බව තේරුම් නොගන්නා බව අවදඤ්ඤුතා නම් වේ. තද මසුරන්ට ඒ අනුශාසනය නො වැටහේ. ඔවුහු ධනය රැස් කර තබා සමහර විට තුමූ ද ප්‍රයෝජනයක් නො ලබා මැරී ප්‍රේතත්වයට හෝ තිරශ්චීනත්වයට පැමිණෙති. කෝසජ්ජය යට විස්තර කර ඇත.