94. උද්ධච්චං 95. අසංවරො 96. දුස්සීල්‍යං

උද්ධච්චය යට විස්තර කර ඇත්තේ ය. ඉන්ද්‍රියේසු අගුත්තද්වාරතා යනුවෙන් යට විස්තර ඇත්තේ ද මේ අසංවරය ම ය.

චක්ඛුනා සංවරෝ සාධු, සාධු සෝතේන සංවරෝ,

ඝාණේන සංවරෝ සාධු, සාධු ජිව්හාය සංවරෝ,

කායේන සංවරෝ සාධු, සාධු වාචාය සංවරෝ,

මනසා සංවරෝ සාධු, සාධු සබ්බත්ථ සංවරෝ,

සබ්බත්ථ සංවුතෝ භික්ඛු, සබ්බ දුක්ඛා පමුච්චති.

(ධම්මපද)

ඇසට හමුවන ඉෂ්ට රූපයන් නිසා රාගය ඇතිවීමටත් අනිෂ්ට රූපයන් නිසා ද්වේෂය ඇතිවීමටත් රූපයන් නිත්‍ය සුඛ සුභ වශයෙන් ගෙන සම්මෝහය ඇතිවීමටත් ඉඩ හැරීම අසංවරය ය. එසේ නොවන පරිදි ආරක්ෂා වීම, චක්ෂුස වසා ගැනීම චක්ඛුන්ද්‍රිය සංවරය ය. එය යහපති. සෝත ඝාණ ජිව්හා යන ඉන්ද්‍රියයන් සංවර කර ගැනීම ද යහපති. ප්‍ර‍සාදකාය චෝපන කාය කියා කාය දෙකක් ඇත්තේ ය. ප්‍ර‍සාද කාය යනු ශරීරයේ පැතිර ඇති ස්පර්ශය දැන ගැනීමට උපකාර වන කාය ප්‍ර‍සාදය ය. චෝපන කාය යනු ගමනාදි ක්‍රියා සිදු කරන කය ය. ස්ප්‍ර‍ෂ්ටව්‍යයන් නිසා රාග ද්වේෂාදි ක්ලේශයන් ඇති වන්නට ඉඩ හැරීම ප්‍ර‍සාද කායයේ අසංවරය ය. කෙලෙස් නූපදිනා පරිදි ආරක්ෂා වීම ප්‍ර‍සාද කායද්වාරසංවරය ය. ප්‍රාණඝාතාදි කාය දුශ්චරිතයන් සිදුවන්ට ඉඩ හැරීම චෝපනකාය අසංවරය ය. ඉඩ නො හැරීම සංවරය ය. ප්‍ර‍සාදකාය චෝපනකායයන් ආරක්ෂා කර ගැනීම යහපති. මුසාවාදාදි පව්කම් නොවන පරිදි වාක්ද්වාර සංවරය යහපති. අභිධ්‍යාදි පව්කම් සිදු නොවන පරිදි මනෝද්වාර සංවරය යහපති. සියලු තැන් සංවර කර ගත් භික්ෂු තෙමේ සියලු දුකින් මිදෙන්නේ ය.

සිල් නැති බව දුස්සීල්‍ය නම් වේ. සිල් නැති පුද්ගලයා දුශ්ශීල නම් වේ. ගෘහස්ත දුශ්ශීලයාය ශ්‍ර‍මණ දුශ්ශීලයාය යි දුශ්ශීලයෝ දෙදෙනෙකි. පස්පවින් නො වැළකෙන ගිහියා ගෘහස්ථ දුශ්ශීලයා ය. පරිජි වී ඇති පැවිද්දා ශ්‍රමණ දුශ්ශීලයා ය. ගිහියන් ප්‍ර‍සිද්ධියේ ම පව් කරන බැවින් ඔවුන්ගේ දුශ්ශීලත්වය‍ ප්‍ර‍කට ය. පැවිද්දාගේ දුශ්ශීලත්වය අප්‍ර‍කට ය. පාවහන් යුවලක් ලාගෙන දිලිසෙන සිවුරක් පොරොවාගෙන මුදල් පසුම්බියක් අතේ ඇති ව ඇවිදින පැවිද්දා එයින් දුශ්ශීලයෙකැ යි නො කිය හැකි ය. දුඹුරු සිවුරක් පොරොවා පාත්‍ර‍යක් උරයෙහි එල්වා කබල් කුඩයක් ගෙන බිම බලා ගමන් කරන පැවිද්දා එපමණකින් ම සිල්වතෙකැයි ද නො කිය හැකි ය. පැවිද්දන්ගේ දුශ්ශීලත්වය නොදැන දුශ්ශීලයෝය යි පැවිද්දන්ට ගරහා බොහෝ ගිහියෝ පව් සිදු කර ගනිති. පුදුමය නම් බොහෝ ගිහියන් තමන් දුශ්ශීලව හිඳ දුශ්ශීලයෝ ය යි පැවිද්දන්ට ගර්හා කිරීම ය. බොහෝ ගිහියෝ සුරාපානාදි පව්කම් කරමින් ම ගිය ගිය තැනදී පන්සිල් සමාදන් වෙති. එයින් ඔවුහු සිල්වත් නො වෙති. සිල්වතාය කියයුත්තේ සැම කල්හි පඤ්ච දුශ්ශීලයෙන් වැළකී සිටින තැනැත්තාට ය. සත්ත්වයන් බොහෝ සෙයින් අපායට යන්නේ දුසිල්කම් නිසා ය. දුශ්ශීලත්වයෙහි ආදීනව බොහෝ ය. ශීලයේ අනුසස් ද එසේම ඉතා බොහෝ ය. ශීලය සම්බන්ධයෙන් සීලව මහරහතන් වහන්සේ විසින් ප්‍ර‍කාශිත ගාථා පෙළක් මෙසේ ය.

1. සීලමේවිධ සික්ඛෙථ - අස්මිං ලෝකේ සුසික්ඛිතං

සීලං හි සබ්බසම්පත්තිං - උපනාමේති සේවිතං,

.

2. සීලං රක්ඛෙය්‍ය මේධාවී - පත්ථයානෝ තයෝ සුඛෙ

පසංසං පිත්තිලාභං ච - පෙච්ච සග්ගේ පමෝදනං.

.

3. සීලවා හි බහූ මිත්තෙ - සංයමේනාධිගච්ඡති,

දුස්සීලෝ පන මිත්තේහි - ධංසතේ පාපමාචරං.

.

4. අවණ්ණඤ්ච අකිත්තිඤ්ච - දුස්සීලෝ ලභතෙ නරෝ

වණ්ණං කිත්තිං පසංසඤ්ච - සදා ලභති සීලවා.

.

5. ආදි සීලං පතිට්ඨා ච - කල්‍යාණානඤ්ච මාතුකං

පමුඛං සබ්බධම්මානං - තස්මා සීලං විසෝධයෙ.

.

6. වේලා ච සංවරං සීලං - චිත්තස්ස අභිහාසනං,

තිත්ථඤ්ච සබ්බබුද්ධානං - තස්මා සීලං විසෝධයෙ.

.

7. සීලං බලං අප්පටිමං - සීලං ආවුධ මුත්තමං,

සීලමාභරණං සෙට්ඨං - සීලංල කවචමබ්භුතං.

.

8. සීලං සේතුමහේසක්ඛෝ - සීලංගන්ධෝ අනුත්තරෝ

සීලං විලේපනං සෙට්ඨං - යේන වාති දිසෝදිසං,

.

9. සීලං සම්බලමේවග්ගං - සීලං පාථෙය්‍ය මුත්තමං,

සීලං සෙට්ඨෝ අතිවාහෝ - යේන යාති දිසෝදිසං.

.

10. ඉධෙව නින්දං ලභති - පෙච්චාපායේ ච දුම්මනෝ

සබ්බත්ථ දුම්මනෝ බාලෝ - සීලේසු අසමාහිතෝ

.

11. ඉධෙව කිත්තිං ලභති - පෙච්ච සග්ගේව සුම්මනෝ

සබ්බත්ථ සුමනෝ ධීරෝ - සීලේසු සුසමාහිතෝ.

.

12. සීලමේව ඉධ අග්ගං - පඤ්ඤවා පන උත්තමෝ

මනුස්සේසු ච දේවේසු - සීලපඤ්ඤාණතෝ ජයං.

තේරුම :

  1. මේ ලෝකයෙහි චාරිත්‍ර‍ වාරිත්‍රාදි ශීලය ම අඛණ්ඩාදි භාවයෙන් මැනවින් පුරන්නේ ය. මැනවින් පවත්වන ලද ශීලය සකල ලෞකික ලෝකෝත්තර සම්පත්තීන් ගෙන දෙන්නේ ය.
  2. ප්‍ර‍ශංසාව ප්‍රීතිය මතු ස්වර්ගයෙහි සතුටු වීමයන මේ සැප තුන පතන තැනැත්තේ ශීලය රකින්නේ ය.
  3. සිල්වත් තැනැත්තේ තමාගේ හික්මීමෙන් බොහෝ මිත්‍රයන් ලබන්නේ ය. දුශ්ශීලයා වනාහි පව් කිරීමෙන් මිත්‍ර‍යන්ගෙන් පිරිහෙන්නේ ය. ඔහුට මිත්‍රයෝ නැති වන්නාහ.
  4. දුශ්ශීල මනුෂ්‍ය තෙමේ ඉදිරියෙහි ගර්හාව ද අපකීර්තිය ද ලබයි. සිල්වත් මනුෂ්‍ය තෙමේ ඉදිරියේ ප්‍ර‍ශංසාව ද කීර්තිය ද ලබයි.
  5. ශීලය කුශල ධර්මයන්ගේ ආදියය. මූලයය. සියලු උත්තරීතර මනුෂ්‍ය ධර්මයන්ගේ ප්‍ර‍තිෂ්ඨාව ය. සමථ විදර්ශනාදි කල්‍යාණ කර්මයන්ගේ මව ය. සකල කුශල ධර්මයන් ගේ පැවැත්මයට දොරටුව ය. එ බැවින් ශීලය පිරිසිදු කර ගන්නේ ය.
  6. කාය දුශ්චරිතාදීන්ට ඉක්මවා යා නො හෙන බැවින් ශිලය වෙරළකි. කාය දුශ්චරිතාදීන්ගේ උත්පත්ති ද්වාරයන් වසන බැවින් සංවරයෙකි. සිත අතිශයින් සතුටු කරවන්නකි. සර්වඥ බුද්ධ ප්‍රත්‍යේක බුද්ධ ශ්‍රැත බුද්ධ යන සියලු බුදුවරයන් කෙලෙස් මල සෝදා ගන්නා තොටකි. එබැවින් ශීලය පිරිසිදු කර ගන්නේ ය.
  7. ශීලය මාර සේනා මර්දනයට අසදෘශ බලයෙකි. කෙලෙසුන් සිඳීමට උතුම් අවියෙකි. ගුණ ශරීරය සැරසීමට ශ්‍රේෂ්ඨ ආභරණයෙකි. ආත්මාරක්ෂාවට සන්නාහයෙකි. සැට්ටයෙකි.
  8. සංසාර මහෝඝයෙන් එතර වීමට ශීලය මහ බලය ඇති හෙයකි. ශීලය ප්‍ර‍තිවාතයෙහි ද යන උතුම් සුවඳකි. ශීලය ශ්‍රේෂ්ඨ විලවුනෙකි. ශීල සුගන්ධය ඇත්තේ සකල දිශාවන්හි ම සුවඳ පතුරවයි.
  9. ශීලය සංසාර මාර්ගයෙහි ගමන් කරන මගියාට උතුම් බත් මුලෙකි. සොරුන් විසින් පැහැර ගත නොහෙන හෙයින් අග්‍ර‍ වූ මාර්ගෝපකරණයෙකි. ශීලය සත්ත්වයා කැමති තැන්වලට පමුණුවන වාහනයෙකි. සිල්වතා එයින් කැමති කැමති දිශාවට යන්නේය.
  10. ශීලයෙන් නො හික්මුණු තැනැත්තේ මේ ලෝකයේ දී නින්දා ලබයි. මරණින් මතු අපායෙහි ඉපදී නො සතුටු සිත් ඇත්තේ වන්නේය. මෙලොව පරලොව සැම තැනම නො සතුටු සිත් ඇත්තේ වන්නේ ය.
  11. ශීලයෙන් හික්මුණු නුවණැත්තේ මෙලොවෙහි කීර්තිය ලබයි. මරණින් මතු ස්වර්ගයෙහි ඉපද සතුටු වෙයි. මෙලොව පරවෙ දෙක්හි සැම තන්හි සතුටු වෙයි.
  12. මේ ලෝකයෙහි ශීලය ම අග්‍ර‍ය. ප්‍ර‍ඥාවන්තයා වනාහි උත්තම ය මිනිස් ලොවෙහි ද දෙව්ලොවෙහි ද ශීල ප්‍ර‍ඥා දෙකින් ජය ගන්නේ ය.