මිලිඳුරජතුමා හා නාගසෙනතෙරුන් වහන්සේ ද මනස්කල්පිත පුද්ගලයන් නො වන බව මතු දැක්වෙන කරුණුවලින් ඔප්පු වෙයි. ඒ දෙදෙනා අතර සිදු වූ, මේ ග්රන්ථයෙහි දැක්වූ, සංවාදය ද නුවූවක් නො වේ. එහෙත් ඒ සංවාදයට අනතුරු ව ම එය ග්‍රන්ථාරූඨ වූයේ ය යි කීමට මේ පොතෙහි මුල ම යෙදී තිබෙන “තං යථානුසූයතෙ” යන පාඨය ඉඩ නො දෙයි. ඒ පාඨයෙන් හැඟෙන්නේ ඒ සංවාදය සිදු වීමෙන් කලකට පසු ශ්‍රැතිපරම්පරාවෙන් ලද කරුණු සංග්‍රහ කොට මිලින්දපඤ්හය කළ බව යි. පාළි අටුවාවන්හි කීප පළක ම මිලින්ද පඤ්හයෙන් උපුටාගත් පාඨ ඇතත් ඒ පාඨ දැන් අප අතට පැමිණ තිබෙන මිලින්දපඤ්හයෙහි පාඨයන් හා හැම ලෙසින් ම සමාන නො වන බව මතු දැක්වෙන නිදර්ශනයන්ගෙන් ඔප්පු වෙයි.
සුමංගලවිලාසිනියෙහි අම්බට්ඨසුත්තවණ්ණනාවෙහි මිලින්දපඤ්හයෙන් උද්ධරණය කළ-
“අතිදුක්කරං භන්තෙ නාගසෙන භගවතා කතන්ති.’ ‘කිං මහාරජාති. ‘මහාජනෙන හිරිකරණොකාසං බ්‍රහ්මායුබ්‍රාහ්මණස්ස අන්තෙවාසිඋත්තරස්ස ච බාවරිස්ස අන්තෙවාසීනං සොළස බ්රාහ්මණානං ච සෙලස්ස බ්‍රහ්මණස්ස අන්තෙවාසීනං තිසමාණවානඤ්ච දස්සෙසි භන්තෙ’ති. ‘න මහාරාජ භගවා ගුය්හා දස්සෙසි. ඡායං භගවා දස්සෙසි. ඉද්ධියා අභිසඞ්ඛරිත්වා නිවාසනනිවත්ථං කායබන්ධනබද්ධං චීවරපාරුතං ඡායාරූප මත්තං දස්සෙසි මහාරාජා’ ති. ‘ඡායාරූපෙ දිට්ඨෙ සති දිට්ඨො යෙව නනු භන්තෙ’ති. ‘නිට්ඨතෙතං මහාරාජ, හදයරූපං දිස්වා බුජ්ඣනකසත්තො භවෙය්ය, හදයමංසං තින්නෙත්වා දස්සෙය්‍ය සම්මාසම්බුද්ධො’ති. ‘කල්ලොසි’[1] භන්තෙ නාගසෙනා’ති”.
යන මේ පාඨය පපඤ්චසූදනියෙහි බ්‍රහ්මායුසුත්තවණ්ණනාවෙහි ද, සුත්තනිපාතට්ඨකථාවෙහි සෙලසුත්තවර්ණනාවෙහි ද දක්නා ලැබේ. ඒ පොත්හි ලෙඛකප්‍රමාදයෙන් වූ විසදෘශපාඨ පෙණෙතත් එය මෙහි දී සැලකිය යුතු නො වේ.
මේ පාඨය හා අර්ථයෙන් සමාන වන මිලින්දපඤ්හපාඨය මෙසේ යි-
“දුක්කරං භන්තෙ නාගසෙන භගවතා කතං, යං එකස්සපි අදස්සනීයං තං දස්සෙන්තොනා’ති. ‘න මහාරාජ භගවා ගුය්හං දස්සෙසි. ඉද්ධියා පන ඡායාං දස්සෙසී’ති. ඡායාය හි භන්තෙ දීට්ඨාය දීට්ඨායෙව හොති ගුය්හං යං දිස්වා නිට්ඨඞ්ග තොති.......................................... යදි මහාරාජ කොචී භගවතො හදයං දීස්වා බුජඣෙය්ය තස්සපි භගවා යොගෙන හදයං දස්සෙස්ය”. (මුද්‍රිත මිලින්දපඤ්හයෙහි 134 පිටුව).
අටුවාවන්හි එන යථොක්ත පාඨය හා මේ මිලින්දපඤ්හපාඨය ද අසමාන ය යි කාට වුවත් පැහැදිලි වේ. මිලින්ද පඤ්හයෙහි වත්ථගුය්හනිදස්සන පඤ්හයෙහි මුල එක ම සෙලබ්‍රාහ්මණයා පමණක් සඳහන් වතත් අටුවා පාඨයෙහි තවත් නම් ද සඳහන් වේ.
මනොරථපූරණියෙහි පස්වන වර්ගයෙහි අටවැනි සූත්රවර්ණනාවෙහි මිලින්දපඤ්හයෙන් උද්ධෘත-
“භන්තෙ නාගසෙන එකස්මිං අච්ඡාරාක්ඛණෙ පවතිත්ත චිත්තසඞ්ඛාරා සවෙ රූපිනොඅස්සු, කීවමහාරාසීභවෙය්යා’ති. වාහසතානං ඛො මහාරාජ වීහීනං අඩ්ඪචූළං ච වාහා විහිසත්තම්මණානි ද්වෙ ච තුම්බා එකච්ඡරාක්ඛණෙ පවතතිතස්ස චිත්තස්ස සඞ්ඛම්පි න උපෙන්ති. කලම්පි න උපෙන්ති. කල භාගම්පි න උපෙන්තී’ති.”
යන පාඨය මිලින්දපඤ්හයෙහි එන්නේ බොහෝ අඩුපාඩු සහිත ව ය. මේ පාඨයෙහි මුල ම පෙණෙන මිලිඳුරජුගේ ප්රශ්නය මිලින්දපඤ්හයෙහි නො පෙණේ. ඊට මුලින් ඌනත්වයක් ඇති බව හැඟේ.
මිලින්දපඤ්හ පාඨය මෙසේ යි:-
“‘(තෙන හි භන්තෙ නාගසෙන බුද්ධො අසබ්බඤ්ඤෑ, යදි තස්ස පරියෙසනාය, සබ්බඤ්ඤැතඤාණං හොතීති.)............ (මෙතැන ඌනත්වයක් තිබේ). වාහසතං ඛො මහාරාජ වීහීනං අඩ්ඪචූළං ව වාහා වීහිසත්තම්මණානි ද්වෙ ච තුම්බා එකච්ඡරාක්ඛණෙ පවත්ත චිත්තස්ස එත්තකා වීහී ලක්ඛං (?) ඨපීයමානෙ පරීක්ඛයං පරියාදානං ගච්ඡෙය්යුං” (මිලින්දපඤ්හ 81 වන පිටුව).
මෙහි අවසානභාගය ද අටුවාවෙහි පෙණෙන පාඨය හා අසමාන ය.
සුමංගලවිලාසිනියෙහි මහාපරිනිබ්බාණසුත්තවණ්ණනාවෙහි පෙණෙන-
“භන්තෙ නාගසෙන කතමං ඛුද්දකං?කතමං අනුඛුද්දකන්ති? දුක්කටං මහාරාජ ඛුද්දකං. දුබ්භාසිතං අනුඛුද්දකං”
යන පාඨය මිලින්ද්දපඤ්හයෙහි (114) වන පිටුවෙහි)
“කතමානි තානි ඛුද්දකානි සික්ඛාපදානි? කතමානි අනුඛුද්දකානි සීක්ඛාපදානී’ති දුක්කටං මහරාජ ඛුද්දකසික්ඛාපදං දුබ්භාසිතං අනුඛුද්දකසික්ඛාපදං”.
යන ලෙසින් පෙණේ.
මේ සංසන්දනයෙන් පැහැදිලි වන්නේ අටුවාඇදුරු බුදුගොස්තෙරණුවන් දැන් තිබෙන මිලින්දපඤ්හය නුදුටු බව යි. දැන් තිබෙන මිලින්ද පඤ්හය අටුවා කිරීමෙන් පසු කාලයක කළ බව එයින් ම ඔප්පු වේ. මේ මිලින්දපඤ්හය රචනා කළ කාලය පිළිබඳ ව මීට වැඩි දෙයක් කිය නො හැකි ය.
-
‘කුසලොසි’ සුමංගල විලාසිනී පපඤ්චසූදනී අටුවාවන්හි පෙණේ. ↑