මිලින්දපඤ්හයෙහි මුල

අටුවා ලියන කාලයෙහි දැන් තිබෙන මිලින්දපඤ්හය නො තිබුනු බවත්, එහෙත් අනෙක් මිලින්දප්‍ර‍ශ්නයක් පැවැති බවත් යට දැක් වූ කරුණුවලින් තීරණය කර ගත හැකි ය. ඒ පුරාතන මිලින්දප්‍ර‍ශ්නය කිනම් භාෂාවකින් ලියා තුබුනේ දැයි නිශ්චය කිරීමට ප්‍රමාණවත් සාක්ෂ්‍ය දුර්ලභ ය. එහෙත් මෙහි ප්‍රාරම්භ පාඨය වූ “තං යථානුසූයතෙ” යන්න සංස්කෘතරචනාවෙක්හි මුහුණුවර දක්වන්නකි. එය “තද්‍යථානු‍ශ්‍රෑයතෙ” යන සංස්කෘතපාඨයෙහි පාලිපරිවර්තනය යි. එහෙයින් වර්තමාන පාළිමිලින්දපඤ්හයට මුල් වූයේ සංස්කෘතභාෂාවෙන් ලියා තුබුනු මිලින්දප්‍ර‍ශ්නයෙකැ යි අනුමාන කට හැකි ය.

‘අටුවාචාරීන් වහන්සේ සංස්කෘතග්‍ර‍න්ථයකින් කරුණු ගණිත් ද?’ යනු දැන් නැඟිය හැකි ප්‍ර‍ශ්නයකි. ‘ඔවු’ යනු ඊට දිය හැකි කෙටි පිළිතුර යි. ග්‍ර‍න්ථයෙහි භාෂාව කුමක් වුවත් එහි ඇතුළත් කරුණු බුද්ධ වචනයන්ට අවිරුද්ධ නම්, ස්වමතයන් ස්ථිර කිරීමට ඉවහල් වේ නම්, එබඳු කරුණු ගෙණ පෙළබසට නඟා දැක්වීම අටුවාචාරීන් වහන්සේට නුපුරුදු වූවක් නො වේ. ස්වනිකායිකයෙකු නො වූ ද මහාකවි අශ්වගොෂ තෙරුන්ගේ පොත්වලින් ගත් කරුණු බුදුගොස්තෙරුන්ගේ අටුවා පොත්හි පෙණෙන බව අපි දනිමු.

ඒ මූලය වූ සංස්කෘතමිලින්දප්‍ර‍ශ්නය පවා සංවාදයෙන් කලක් ගත වූ පසු කළ බව සිතිය හැකි ය.

අටුවා ඇදුරු බුදුගොස්තෙරණුවෝ සිය ගත්වලට නොයෙක් ගත්වලින් කරුණු ගත්හ. එහෙත් ඒ කරුණු ගත් ගත්වල නම් හෝ ගත් කතුවරුන්ගේ නම් හෝ බොහෝ විට නො දැක්වූහ. සුමංගලවිලාසිනියෙහි නිකාය ශබ්දාර්ථ දැක්වීමෙහි දී පාණිනීයයෙහි තුන්වන අධ්‍යායයෙහි තුන්වන පාදයෙහි එය ලොකව්‍යවහාරයෙන් ගත් සාධකයකැ යි කීහ. පාණිනීයයෙහි නම වත් නො දැක්වූහ. මනොරථපූරණියෙහි (හේවාවිතාරණ මුද්‍ර‍ණයෙහි 451 වන පිටුවෙහි) ජනපද විතර්කය විස්තර කිරීමෙහි දී දැක් වූ “අසුකො ජනපදො ඛෙමො සුහික්ඛො” යන්න මහාකවි අශ්වඝොෂතෙරුන්ගේ සෞන්දරනන්දකාව්‍යයෙහි පසළොස් වැනි සර්ගයෙහි 42 වන ශ්ලෝකයෙහි ප්‍ර‍ථමාර්ධයය වූ “අසෞක්ෂෙමො ජනපදඃ සුහික්ෂොසාවසෞ ශිවඃ” යන්නෙහි පාලිපරිවර්තනය වූ නමුත් ඒ බවක් නො කීහ.

මෙලෙසින් නම් නො කියා නොයෙක් පොත්වලින් කරුණු ගත් අටුවාචාරීන් වහන්සේ නාගසෙනතෙරුන්ට දැක්වූ ගෞරවය ඉතා මහත් ය. උන්වහන්සේ බොහෝවිට නම් දැක්වූ සීහලට්ඨකථා ආදි පැරණි අටුවාවන්ට ද වඩා මිලින්දප්‍ර‍ශ්නයට ගරු කළහ. උන්වහන්සේ සුමංගලවිලාසිනියෙහි දී හා පපඤ්චසූදනියෙහි දී ද යථොක්ත “අතිදුක්කරං” යනාදි මිලින්දපඤ්හපාඨය උද්ධරණය කරද්දී “කිමෙත්ථ අඤ්ඤෙන වත්තබ්බං, වුත්තමෙතං නාගසෙනත්ථෙරෙනෙව මිලින්දරඤ්ඤා පුට්ඨෙන” (=මෙහි ලා අනෙකෙකු විසින් ම මෙය කියන ලදී) යි කියමින් නාගසෙන වචන අතිශය ප්‍රාමාණිකත්වයෙන් හා මහාපදෙශත්වයෙන් ද සැලකූහ. සුත්තනිපාතට්ඨකථාව මෙහි දී මේ පාඨයෙහි “අඤ්ඤෙන” (=අනෙකෙකු විසින්) යන්න “අම්හෙහි” (=අප විසින්) යි යෙදුනේ ය. අටුවාචාරීන් වහන්සේ විසින් මිලින්දප්‍ර‍ශ්නය එතරම් ගුරුස්ථානයෙහි ලා සලකන ලද්දේ නම් අන්‍යයන් ගැණ කියනුම කිම?