සිංහල ගත්කතුවරු

ලක්දිව සිංහල ග්‍ර‍න්ථකර්තෘවරයෝ ද, මිලින්දපඤ්හය අමතක නො කළහ. ඉතාමත් පැරණි වූ මිලින්දප්‍ර‍ශ්න සිංහල පරිවර්තනයක් අපට දැන් නැතත් එබන්දක් නො වූයේ ය යි කිය නො හැකි ය. කුරුණෑගල රාජ්‍යසමයෙහි නැතහොත් ඊට ආසන්න කාලයෙක්හි කරණ ලද සද්ධර්ම රත්නාවලියෙහි හා ජයවර්ධනපුර රාජ්‍ය කාලයෙහි කළ සද්ධර්ම රත්නාකරයෙහි ද මිලින්දප්‍ර‍ශ්නයෙහි සංක්ෂෙපයක් අන්තර්ගත ය. ‘මිලිඳු’ නාමය සිංහල කවීන්ගේ සිහියෙන් ඉවත් නො වූ බව පැරකුම්බා සිරිතෙහි 72 වන කවෙහි-

“පැනය කියන විසඳන කලැ මිලිඳුනිරිඳු සදිසිවාද” යන පාදයෙන් ඔප්පු වේ.

රක්ඛිතතල

හිමාලයෙහි වූ ‘රක්ඛිතතල’ නම් පර්වතයක් මිලින්දපඤ්හයෙහි සඳහන් වේ. මේ නාමය අනෙක් පාළි පොතක දුටු බවක් අපට මතක නැත. සිංහල පොත්හි හිමාලයෙහි වූ රක්ගල්තලක් නම් සඳහන් වේ. ඒ ‘රක්ගල්තල’ යන්න සඳහා එහි සැබෑ අර්ථය නො සලකා මේ ‘රක්ඛිතතල’ යන වචනය පාළි මිලින්දපඤ්හයෙහි යෙදුනේ නම්, මේ පාළිමිලින්දපඤ්හයට වඩා පැරණි වූ සිංහල මිලින්දප්‍ර‍ශ්නයක් තුබුනු බවත් එය ද බලමින් පාළිමිලින්දපඤ්හය ලියූ බවත් සිතිය හැකි ය. ‘රක්’ යනු ‘මනඃශිලා’ නම් උපධාතුවිශෙෂයට සිංහල නාමයකි. ‘මනොසිලාතල’ යන්න සිංහලයට පෙරලූ පැරණි ගත්කතුවරු ‘රක්ගල්තල’ යි යෙදූහ. ‘රක්ගල්තල’ යන්නෙහි ඇති ඒ අර්ථය නො දත්තෙකු අතින් එය ‘රක්ඛිතතල’ යි පාළියට පෙරළීමට බැරි බවක් නො මැති යි. පාළිමහාබොධිවංශකර්තෘ ආදි ශ්‍රෙෂ්ඨ උගතුන් අතින් ද මෙ බඳු වැරදි වූ බව පෙණෙන හෙයින් මෙය ද නො විය හැක්කක් නො වේ.