මෙණ්ඩකප්‍ර‍ශ්නය

(94) තවද, මෙණ්ඩක නම් ප්‍ර‍ශ්නයෙහි ප්‍රාරම්භය දක්වන්නා වූ සියලු ම සමයකථාර්ථයන් දක්නා වූ සියලු ම තර්කශාස්ත්‍ර‍ය දන්නා වූ සියලු දෘෂ්ටිවාදීන් මර්දනය කරණ විශෙෂප්‍ර‍ඥාව ඇත්තා වූ සියලු කුශලාකුශලධර්මයන්ගේ විපාක දැනීම හා ස්ථානොචිතප්‍ර‍ඥාව ඇත්තා වූ සතර සංග්‍ර‍හවස්තුවෙන් ජනරඤ්ජනය කරන්නා වූ මිලිඳු නම් නරෙන්ද්‍රතෙම තීක්ෂ්ණ වූ ප්‍ර‍ශ්න විචාරා නාගසෙන ස්ථවිරයන් වහන්සේගේ ප්‍ර‍ඥාව භෙද කරණු පිණිස නාගසෙන ස්ථවිරයන් වහන්සේ කරා තර්කවාදයෙන් එළඹියේ ය. ඒ යතීන්ද්‍ර‍යානන්ගේ ඡායාවෙහි නො හැර ම වාසය කෙරෙමින් ඇසූ අර්ථ නැවත නැවතත් කාංක්ෂාස්ථාන පසිඳ විචාරමින් විශෙෂයෙන් විභාග කොට දක්නා ලද අවබොධ වූ ප්‍ර‍ඥාව ඇති ව ඒ මිලිඳු මහරජානෝ සියලු දෙවිමිනිසුන් කෙරෙහි ප්‍ර‍සිද්ධ වූහ.

එහෙයින් තුන්වෙනි දවස් රාත්‍රිභාගයෙහි රහොගත ව හිඳ ‘පාරාජික පචිති චූලමහානිද්දේස සුලුවග මහවග පරිවාරය හා මංගල රතන නාලක තුවටක සූත්‍ර‍ යන සූත්‍ර‍ නම් වූ යම් බුද්ධවචනකෙනෙක් ඇද් ද, සංයුත්තනිකායෙහි සගාථකවර්ගය ඇතුළු වූ සියලු ම සගාථ සූත්‍රගෙය්‍ය ධර්මකෙනෙක් ඇද් ද, සියලු ම අභිධර්මපිටකය හා නිර්ගාථකසූත්‍ර‍ හා ඉතිරි අෂ්ටාංගයට හා නො වන වෙය්‍යාකරණ නම් යම් බුද්ධවචන කෙනෙක් ඇද්ද, දම්පියා ථෙරථෙරීගාථා හා සූත්‍ර‍නිපාතයෙහි සූත්‍ර‍ නම් නො වන සුද්ධිකගාථාධර්මයන් ඇතුළු වූ ගාථා නම් ධර්මකෙනෙක් ඇද්ද, සොමනස්සඤාණමයිකගාථාපටිසංයුත්ත වූ දෙයාසූවක් පමණ උදාන සූත්‍රාන්තධර්මකෙනෙක් ඇද්ද, සූත්‍ර‍දශාතිරෙකශතප්‍ර‍මාණ වූ ඉතිවුත්තක නම් ධර්මකෙනෙක් ඇද්ද, අපන්නකාදි පන්සියපණස් ජාතකධර්ම කෙනෙක් ඇද්ද, මහණෙනි, ආනන්දස්ථවිරයන් කෙරෙහි මේ ආශ්චර්ය අද්භූත වූ ධර්මයෝ සතරදෙනෙක’ යනාදීන් වදාළ වූ අද්භූතධර්ම කෙනෙක් ඇද්ද, චූලමහාවෙදල්ල සම්මාදිට්ඨි ශක්‍ර‍ප්‍ර‍ශ්න සංඛාරභාජනිය මහාපුණ්ණම සූත්‍රාදි වූ සූසැට ප්‍ර‍මාණ වෙදල්ලසූත්‍රාන්ත ධර්මකෙනෙක් ඇද්ද, යන මේ සූත්‍රගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතකාද්භූත වෙදල්ල යන නවාංග වූ ශාස්තෘශාසනය තමාගේ නුවණින් විමසා බලා අනුමාර්ජනය කෙරෙමින් අනාගතයෙහි අල්පබුද්ධින් විසින් අවුල් හැර මුදා ලිය නො හැක්කා වූ එහෙයින් ම දෘෂ්ටිවාදීන් විසින් කරණ නිග්‍ර‍හ සහිත වූ මෙණ්ඩක නම් ප්‍ර‍ශ්නයන් දුටහ. “ධර්මරාජයාගේ ශාසනයෙහි පර්යායයෙන් වදාළ ධර්මයෝත් ඇත. යම් යම් දෙයක් උදෙසා වදාළ ධර්මයෝත් ඇත. ස්වභාවයෙන් වදාළ ධර්මයෝත් ඇත. දෙසනාවෝත් ඇත. ඒ ඒ ධර්මයන්ගේ අර්ථය තත් වූ පරිද්දෙන් නො දැනීම කරණ කොට ගෙණ අනාගතකාලයෙහි දී ඒ මෙණ්ඩක නම් සර්වඥවචනයෙහි අන්‍ය දෘෂ්ටිවාදීන්ගේ විග්‍ර‍හයකුදු වන්නේ වී නම් නපුර. එබැවින් මම චිත්‍ර‍කථික වූ නාගසෙන ස්ථවිරයන් පහදවා ගෙණ මෙණ්ඩක නම් ගැටළු අවුල් සිඳ හරිමි. ඒ නාගසෙන ස්ථවිරයන් විසින් දක්වන ලද නිරවුල් මාර්ගයෙන් අනාගතයෙහි ධර්මකථිකයෝ අර්ථ ධර්ම ලොවට දක්වති’ සිතූහ. (95) එසේ හෙයින් කියන ලදී:-

“භස්සප්පවෙදී වෙතණ්ඩි-අනුබුද්ධි විචක්ඛණො,

මිලින්‍දො නාම භෙදාය-නාගසෙනමුපාගමි.

-

වසන්තො තස්ස ඡායාය-පරිපුච්ඡන්තො පුනප්පුනං,

පභින්නබුද්ධි හුත්‍වාන-සොපි ආසීති පාකටො.

-

නවඞ්ගං අනුමජ්ජන්තො-රත්තිභාගෙ රහොගතො,

අද්දක්ඛි නිපුණෙ පඤෙහ-දුන්නිවෙඨෙ සනිග්ගහෙ.

-

පරියායභාසිතං අත්‍ථි-අත්‍ථි සන්‍ධාය භාසිතං,

සභාවභාසිතං අත්‍ථි-ධම්මරාජස්ස සාසනෙ.

-

තෙසං අත්‍ථං අවිඤ්ඤාය-මෙණ්ඩකෙ ජිනභාසිතෙ,

අනාගතම්හි අද්ධානෙ-විග්ගහො තත්‍ථ හෙස්සති.

-

භද්දකථිං පසාදෙත්‍වා-ඡෙජ්ජාපෙස්සාමි මෙණ්ඩකෙ,

තස්සං නිද්දිට්ඨමග්ගෙන-නිද්දිසන්ති අනාගතෙ” ති.

මෙසේ සිතා ඉක්බිති මිලිඳුමහරජානෝ රාත්‍රියගේ ඇවෑමෙන් අරුණු නැඟුනු කල්හි ඉස් සෝධා නහාපියා සිරසෙහි අත් තබා වැඳ ගෙණ අතීතානාගතවර්තමානකාලත්‍ර‍යයෙහි වූ සියලු ම සර්වඥවරයන් සිහි කොට “අද මෙයින් මතු සත්දවසක් මුළුල්ලෙහි අටගුණයක් සමාදන් ව මා විසින් තපස්හි හැසිරිය යුතු වන්නේ ය. පුරුදු කරණ ලද තපස් ඇත්තා වූ ඒ මම මාගේ නාගසෙනාචාරීන් වහන්සේගේ සිත් ගෙණ සිට හිස මුඩු වූ ශ්‍ර‍මණ වෙශධාරීන්ට ම සුදුසු වූ රහස් කථාවක් බැවින් මෙණ්ඩක නම් වූ මෙණ්ඩක ප්‍ර‍ශ්නයන් විචාරමි” යි සිතා අෂ්ටව්‍ර‍තපද කෙනෙකුන් සමාදන් වූහ.

ඉක්බිති මිලිඳුමහරජානෝ ප්‍ර‍කෘතිවස්ත්‍ර‍ද්වය හැර සියලු රාජාභරණ ද ගලවා තබා කහවන් කසාපිළී හැඳ කුඩා මොට තුප්පියක් ශීර්ෂයෙහි වසා ගෙණ මුනිභාවයට පැමිණ අෂ්ටවිධ වූ ගුණධර්මයන් සමාදන් වෙමින් “මේ සද්දවස මුළුල්ලෙහි මා විසින් රාජ්‍යාර්ථය අනුශාසනා නො කට යුතු ය. රාගසංහිත වූ චිත්තය නො ඉපද විය යුතු ය. ද්වෙෂසංහිත වූ සිතක් නො ඉපද විය යුතු ය. මොහසංහිත වූ සිතක් නො ඉපද විය යුත්තේ ය. දාසකර්මකර පුරුෂජනයා කෙරෙහිත් යටත් වූ වෘත්ති ඇති විය යුතු ය. කායිකවාචසිකය රැක්ක යුතු ය. හාත්පසින් චක්ෂුරාදී ෂඩායතනයෝ රක්ෂා කට යුත්තාහු ය. මෛත්‍රීභාවනායෙහි චිත්තය ප්‍ර‍ක්ෂෙප කට යුත්තේ ය යි මෙකී අටගුණයක් සමාදන් ව ඉටා ගෙණ ඒ අටගුණයෙහි ම සිත පිහිටුවා ගෙණ නුවරින් පිටතට නොයික්ම සත් දවසක් කල් යවා අටවැනි දවස් රාත්‍රියගේ ඇවෑමෙන් පළමු කොට ම පෙරවරු භක්තකෘත්‍යය කොට වියදඬු පමණ දුර බලන යටිකුරු කළ ඇස් ඇති ව පමණ දැන කියන කථා ඇති ව මනා ව සන්සුන් ඉරියාපථයෙන් සන්තොස වූ ඔදවැඩියා වූ අතිප්‍ර‍සන්න වූ අවික්ෂිප්තචිත්තයෙන් නාගසෙන තෙරුන් වහන්සේ කරා එළඹ තෙරුන් වහන්සේගේ පාදද්වන්දය උත්තමාංගයෙන් වැඳ එකත්පසෙක සිට මේ වචනය සැලකළහ:-

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේ හා සමඟ මා විසින් මන්ත්‍ර‍ණය කට යුතු වූ (96) කිසියම් අර්ථයෙක් ඇත. ඒ මන්ත්‍ර‍ණයෙහි අන්කිසි තුන්වැනි කෙනෙකුන් නො කැමැත්තෙමි. ජනශූන්‍ය වූ විවේක ආරණ්‍යක වූ අෂ්ටාංගයෙන් යුක්ත වූ ශ්‍ර‍මණසාරූප්‍ය වූ අවකාශයෙක් ඇද්ද, එතැන්හි ප්‍ර‍ශ්නයතෙම විචාළ යුතු වන්නේ ය. ඒ මන්ත්‍ර‍ණයෙහි මට විචාළ දෙයක් නො සැංගිය යුතු ය. රහසක් නො කට යුත්තේ ය. ශාසනයෙහි රහස්බණ අසන්නට මම සුදුස්සෙමි. යහපත් වූ මන්ත්‍ර‍ණය පත්[1] කල්හි උපමායෙනුත්[2] ඒ අර්ථය පරීක්ෂා කට යුත්තේ ය. යම් ප්‍ර‍කාරයකින් කෙසේ දැ? යි කිව හොත්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් සේ මහාපෘථිවිතොම නිඃක්ෂෙප කට යුතු දෙයක් පැමිණි කල්හි නිඃක්ෂෙපයට සුදුසු වේ ද, එපරිද්දෙන් ම, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, රහස්ධර්මයන් අසන්නට මම සුදුස්සෙමි. යහපත් වූ මන්ත්‍ර‍ණයක් පැමිණි කල්හි (යි)” ඒ කථාව කරණු පිණිස ගුරුන් වහන්සේ හා සමග ජනවිවික්ත වූ වනයකට ප්‍ර‍විෂ්ට ව මෙලෙස කීහ:-

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ ලොකයෙහි මන්ත්‍ර‍න්‍ය කරණු කැමති පුරුෂයා විසින් අටතැනක් හැරිය යුතු වෙති. ඒ අටස්ථානයෙහි දී නුවණැති පුරුෂතෙම යහපත් අර්ථයක් මන්ත්‍රණය නො කරන්නේ ය. එහි මන්ත්‍ර‍ණය කළ අර්ථය ලිස්වා[3] යන්නේ ය. සිද්ධ නො වන්නේ ය. ඒ ස්ථානයෝ කවරහු ද? විෂමස්ථානයය හැරිය යුතු ය. ජනසභාව[4] හැරිය යුත්තේ ය. අතිවාතස්ථානය හැරිය යුත්තේ ය. ප්‍ර‍තිච්ඡන්නස්ථානය හැරිය යුත්තේ ය. දෙවාලයස්ථානය හැරිය යුත්තේ ය. යන මාර්ගය හැරිය යුත්තේ ය. චංක්‍ර‍මණය හැරිය යුත්තේ ය. පැන්තොට හැරිය යුත්තේ ය. මෙකී අටතැන් හැරිය යුත්තාහු ය” යි කීහ. එකල තෙරුන් වහ්නසේ “මහරජානෙනි, විෂමස්ථාන සහ අතිවාත පටිච්ඡන්න දෙවස්ථානමාර්ග චංක්‍ර‍මණ උදකතීර්ථකයෙහි කවර දොෂයෙක් දැ?” යි විචාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, විෂමස්ථානයෙහි දී මන්ත්‍ර‍ණය කළ අර්ථය විසිරෙන්නේ ය. ඉපිල යන්නේ ය. නැමී යන්නේ ය. සම්භව නො වන්නේ ය. ජනසභාවෙහි සිත කොල වන්නේ ය. සිත කෝල ව අර්ථය මනා කොට නො ම දක්නේ ය. මහා වාතස්ථානයෙහි දී කියන ශබ්දය ප්‍ර‍කාශ ව නො ඇසෙන්නේ වෙයි. ප්‍ර‍තිච්ඡන්නස්ථානයෙහි සෙස්සෝ රහස් අසා සමීපයෙහි සිටිති. දෙවස්ථානයෙහි දී මන්ත්‍ර‍ණය කළ අර්ථය ගරුකභාවයට පිරිනැමෙයි. මාර්ගයෙහි දී මන්ත්‍ර‍ණය කළ අර්ථය තුච්ඡ වන්නේ ය. චංක්‍ර‍මණයේ චඤ්චල වන්නේ ය. උදකතීර්ථයෙහි සියල්ලන්ට ප්‍ර‍කට වන්නේ ය” යි කීහ. ඒ බව මෙහි ගාථාවෙන් දැක්වීම වන්නේ ය:-

“විසමං සභයං අතිවාතො-පටිච්ඡන්නං දෙවනිස්සිතං,

පන්‍ථො ව සංකමො තිත්‍ථං-අට්ඨෙතෙ පරිවජ්ජයෙ” යි.

“ස්වාමීනි, නාගසෙයන් වහන්ස, මන්ත්‍ර‍ණය කරන්නා වූ මේ පුද්ගලයෝ අටදෙනෙක් මන්ත්‍ර‍ණය කළ අර්ථය විනාස කෙරෙති. ඒ අටදෙන කවුරු ද?[5] රාගචරිතයා ය, ද්වේෂචරිතයා ය, මොහචරිතයා ය, මානචරිතයා ය, ලුබ්ධයා ය, අලසයා ය, එකචින්ති ය, අඥානයා ය යන මේ පුද්ගලයෝ අටදෙන මන්ත්‍ර‍ණය කළ අර්ථය විනාස කරන්නාහු ය” යි කීහ. ඒ අසා තෙරුන් වහන්සේ “මහරජානෙනි, ඔවුන්ගේ දොෂ කවරේ දැ?” යි විචාළසේක. (97) “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, රාගචරිත තෙම නිරන්තරයෙන් ම රාගය සිතසිතා කල් යැවීම් වසයෙන් මන්ත්‍ර‍ණය කළ අර්ථය නසා ගන්නේ ය. ද්වේෂචරිතතෙම නිරන්තරයෙන් අනුන් කෙරෙහි ක්‍රොධ කිරීම් වසයෙන් මන්ත්‍ර‍ණය කළ අර්ථය නසා ගන්නේ ය. මොහචරිතතෙම තමන් මුළා වීම් වසයෙන් මන්ත්‍ර‍ණය කර ගත් අර්ථය නසා ගන්නේ ය. මානචරිතතෙම තමාගේ මානය කරණ කොට ගෙණ මන්ත්‍ර‍ණය කර ගත් අර්ථය නසා ගන්නේ ය. ලොභිපුරුෂතෙම තමාගේ ලොභ වසයෙන් මන්ත්‍ර‍ණය කර ගත් අර්ථයන් නසා ගන්නේ ය. අලසයා තමාගේ අලසතාවෙන් මන්ත්‍ර‍ණය කර ගත් අර්ථය නසා ගන්නේ ය. එකචින්ති පුරුෂයා තමාගේ සිත පස්සෙහි දුවන එකචින්තිතාවෙන් මන්ත්‍ර‍ණය කර ගත් අර්ථයන් නසා ගන්නේ ය. බාලයා තමාගේ කිසිවක් නො දන්නා අඥානතාවෙන් මන්ත්‍ර‍ණය කර ගත් අර්ථයන් නසා ගන්නේ ය. ඒ බව මෙහි ගාථාවෙන් දැක්වීම වන්නේ යි.

“රත්තො දුට්ඨො ච මූළ්හො ච-මානී ලුද්ධො තථාලසො,

එකචින්තී ච බාලො ච-එතෙ අත්‍ථවිනාසකා” යි.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ පුද්ගලයෝ නවදෙනෙක් මන්ත්‍ර‍ණය කරණ ලද රහස පහළ කෙරෙමින් හැසිරෙති. ධාරණය නො කෙරෙති. ඒ නවදෙන කවරු ද?1 රාගචරිතයා ය, ද්වෙෂචරිතයා ය, මොහචරිතයා ය, භීරුකයා ය, ආමිසගරුකයා ය, ස්ත්‍රී ය, සුරාසොණ්ඩයා ය, පණ්ඩකයා ය, ලදරුවා ය” යි කීහ. ඒ අසා තෙරුන්වහන්සේ “මහරජානෙනි, ඔවුන්ගේ දොෂ කවරේ ද?” යි විචාළසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, රාගචරිතතෙම රාගයෙහි ව්‍යාවෘත ව රාගවසයෙන් මන්ත්‍ර‍ණය කළ රහස පහළ කෙරෙමින් හැසිරෙන්නේ ය. රහස් කොට ධාරණය නො කරන්නේ ය. ද්වෙෂිපුද්ගලතෙම ද්වෙෂවශයෙන් මන්ත්‍ර‍ණය කළ රහස පහළ කෙරෙමින් හැසිරෙන්නේ ය. ධාරණ නො කරන්නේ ය. මොහී වූ මුළා තැනැත්තේ මොහවසයෙන් මන්ත්‍ර‍ණය කළ රහස් පහළ කොට හැසිරෙන්නේ ය. ධාරණය නො කරන්නේ ය. භයබහුල පුරුෂතෙම භීරුක බහුලතාවෙන් මන්ත්‍ර‍ණය කළ රහස් පහළ කෙරෙමින් හැසිරෙන්නේ ය. ධාරණය නො කරන්නේ ය. පිළීබත් ආදි ආමිස ගරුකතෙම ආමිසලාභය හෙතුකොට ගෙණ මන්ත්‍ර‍ණය කළ රහස් පහළ කෙරෙමින් හැසිරෙන්නේ ය. ධාරණය නො කරන්නේ ය. ස්ත්‍රීතොම ස්වල්ප ව වහා සිත පෙරළෙන බැවින් මන්ත්‍ර‍ණය කළ රහස් පහළ කොට හැසිරෙන්නී ය. ධාරණය නො කරන්නී ය. සුරාසොණ්ඩයා සුරාපානයෙහි ලොල් බැවින් මන්ත්‍ර‍ණය කළ රහස් පහළ කරන්නේ ය. ධාරණය නො කරන්නේ ය. පණ්ඩකයා ඔහුගේ නොයෙක් අංගවිකාර ඇති බැවින් මන්ත්‍ර‍ණය කළ රහස පහළ කෙරෙමින් හැසිරෙන්නේ ය. ධාරණය නො කරන්නේ ය. ලදරුතෙම ඔහුගේ චපලතාවෙන් මන්ත්‍ර‍ණය කළ රහස් පහළ කෙරෙමින් හැසිරෙන්නේ ය. රහස් කොට ධාරණය නො කරන්නේ ය. වහා පෙරළෙන (98) සිත් ඇත්තා වූ චලිත වූ චපල වූ මේ යථොක්ත වූ නවවිධ වූ පුද්ගලකෙනෙක් වෙති. ලොකයෙහි මොවුන් විසින් මන්ත්‍ර‍ණය කළ රහස් කථාවෙක් ඇත් නම්, වහා ම ප්‍ර‍කාශ වන්නේ ය. ඒ බව මෙහි ගාථාවෙන් දැක්වීම ව්නනේ ය:-

“රත්තො දුට්ඨො ච මූළ්හො ච-භීරු ආමිසචක්ඛුකො,

ඉත්‍ථිසොණ්ඩො පණ්ඩකො ච-නවමො භවති දාරකො

නවෙතෙ පුග්ගලා ලොකෙ-ඉත්තරා චලිතා චලා,

එතෙහි මන්තිතං ගුය්හං-ඛිප්පං භවති පාකටං” යි.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, අටකාරණයකින් ප්‍ර‍ඥාතොම වැටහෙන්නේ ය. මුහු කිරීමට යන්නේ ය. කවර අටකාරණයකින් ද? යත්:- වයස් පැමිණීමෙන් නුවණ පිරිනැමෙන්නේ ය. මුහු කිරීමට යන්නේ ය. යස පිරිවර පැමිණීමෙනුත් නුවණ පිරිනැමෙන්නේ ය. පරිපාකයට යන්නේ ය. නැවත නැවත ඇසීමෙනුත් නුවණ පිරිනැමෙන්නේ ය. මුහු කිරීමට යන්නේ ය. ගුරුන් කෙරෙහි වාසය කිරීමෙන් නුවණ පිරිනැමෙන්නේ ය. මුහු කිරීමට යන්නේ ය. යොනිසොමනස්කාරය කරණ කොට ගෙණ නුවණ පිරිනැමෙන්නේ ය. මුහු කිරීමට යන්නේ ය. ඔවුනොවුන් හා සාකච්ඡා කිරීමෙන් නුවණ වැටහෙන්නේ ය. මුහු කිරීමට යන්නේ ය. ස්නේහ ඇත්තවුන් සෙවනය කිරීමෙනුත් නුවණ වැටහෙන්නේ ය. මුහු කිරීමට යන්නේ ය. තුණුරුවන් පවත්නා පතිරූපදෙස වාසයෙනුත් නුවණ වැටහෙන්නේ ය. මුහු කිරීමට යන්නේ ය. ඒ බව මෙහි ගාථාවෙනුත් දැක්වීම වන්නේ ය.

“වයෙන යසපුච්ඡාහී-තිත්‍ථවාසෙන යොනිසො,

සාකච්ඡාස්නෙහසංසෙවා-පතිරූපවාසෙන ච

එතානි අට්ඨඨානානි-බුද්ධීවිසදකාරකා,

යෙසං එතානි සම්භොන්ති-තෙසං බුද්ධි පබුජ්ඣති” යි.

“මේ අටකාරණයෝ ප්‍ර‍ඥාවිශදකාරණයෝ ය. ගෘහස්ථ ප්‍ර‍ව්‍ර‍ජිත යම්කිසි කෙනෙකුන්ට මේ අටකාරණයෝ සම්භව වන්නාහු නම් ඔවුන්ගේ ප්‍ර‍ඥාව ශුද්ධියට යන්නේ ය” යි කීහ. නැවතත් “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ භූමිභාගය අෂ්ටවිධ වූ මන්ත්‍ර‍ණදොෂයෙන් දුරු වන ලද්දේ ය. මම ද මේ ලොකයෙහි උතුම් වූ මන්ත්‍ර‍ණ සහායෙක්මි. රහස් රක්ෂාකර ද වීමි. මම යම් තාක් ජීවත් වෙම් ද? ඒ තාක් කල් නුඹ වදාළ රහසක් නො හැර රක්ෂා කෙරෙමි. අටකාරණයෙනුත් මාගේ නුවණ වැටහීමට යන ලද්දේ ය. දැන් මේ ප්‍ර‍ස්තාවට මනා කොට පිළිපදිමින් වසන්නා වූ මා වැනි අන්තෙවාසිකයෙක් දුර්ලභ වන්නේ ය. අන්තෙවාසිකයා කෙරෙහි පැවැත්ත යුතු වූ ආචාර්යවර්යන්ගේ යම් පස්විසි ආචාර්ය ගුණකෙනෙක් ඇද්ද, ඒ ගුණධර්මවලින් ආචාර්යවරයන් වහන්සේ විසින් යහපත් කොට පිළිපැද්ද යුත්තේ ය. ඒ පස්විසි ගුණ[6] කවරේ ද? යත්:- ස්වාමීනි, මේ බුද්ධශාසනයෙහි-

(99) “ආචාරියෙන අන්තෙවාසිම්හි සත්තං සමිතං ආරක්ඛා උපට්ඨපෙතබ්බා අසෙවනසෙවනා ජානිතබ්බා. පමත්තාප්පමතත්තා ජානිතබ්බා. සෙය්‍යාවකාසො ජානිතබ්බො ගෙලඤ්ඤං ජානිතබ්බං. භොජනං ලද්ධාලද්ධං ජානිතබ්බං. විසෙසො ජානිතබ්බො පත්තගතං සංවිභජිතබ්බං. අස්සාසෙතබ්බො මා භායි අත්‍ථො තෙ අභික්කමතී’ති ඉමිනා පුග්ගලෙන පටිචරතී ති පටිචාරො ජානිතබ්බො. ගාමෙ පටිචාරො ජානිතබ්බො. විහාරෙ පටිචාරො ජානීතබ්බො. න තෙන සහ සල්ලාපෙ කාතබ්බො ඡිද්දංදීස්වාඅධිවාසෙතබ්බං. සක්කච්චකාරිනා භවිතබ්බං. අඛණ්ඩ කාරිනා භවිතබ්බං. අරහස්සකාරිනා භවිතබ්බං. නිරවසෙසකාරිනා භවිතබ්බං. ‘කථංජානෙමීමං[7] සිප්පෙසූති ජනකචිත්තං උපට්ඨපෙතබ්බං. ‘කථං අයං න පරිහාසෙය්‍යා‘ති වඩ්ඪිචිත්තං උපට්ඨපෙතබ්බං. බලවං ඉමං කරොමි සික්ඛා බලෙනා’ති චිත්තං උපට්ඨපෙතබ්බං. මෙත්තචිත්තං උපට්ඨපෙතබ්බං. ආපදාසු න විජහීතබ්බං. කරණීයෙ නප්පමජ්ජිතබ්බං. ඛලිතෙ ධම්මෙන පග්ගහෙතබ්බොති. ඉමෙ ඛො භන්තෙ, පඤ්චවීසති ආචරියස්ස ආචරියගුණා. තෙහි ගුණෙහි මයි සම්මා පටිපජ්ජස්සු.”

යනුවෙන් “ගුරුවරයා විසින් අන්තෙවාසිකයා කෙරෙහි නිරන්තරයෙන් යහපත් කොට ආරක්ෂා තැබිය යුත්තේ ය. අසෙවනාසෙවනයෝ දැන ගත යුත්තාහු ය. ප්‍ර‍මාධ අප්‍ර‍මාදයෝ දත යුත්තාහ. නිද්‍රාවකාශය දත යුත්තේ ය. ගිලන්බව දත යුත්තේ ය. භොජනය ලත් නො ලත්බව දත යුතු ය. ශ්‍ර‍ද්ධා වීර්ය බහුශ්‍රැතාදී පුද්ගලවිශෙෂය දත යුත්තේ ය. පාත්‍ර‍යට ලත් දෙයක් වත් බෙදා දිය යුත්තේ ය. භය නො ගණුව, තොපට අර්ථ ඉගෙණීම වැඩී යන්නේ ය” යි කියා අස්වසාලිය[8] යුත්තේ ය. මෙනම් පුද්ගලයා හා හැසිරෙන්නේ ය’ යි කියා හැසිරීම දත යුත්තේ ය. ග්‍රාමයෙහි හැසිරීම දත යුත්තේ ය. විහාරයෙහි හැසිරීම දත යුත්තේ ය. ඒ අන්තෙවාසිකයා හා සමග කවර වෙලායෙහිත් සල්ලාප නො කට යුත්තේ ය. අන්තෙවාසිකයාගේ සිදුරක් දැක නො කිපී ඉවසිය යුත්තේ ය. කරණ සත්කාරයක් සකස් කොට ම කරවන සුලු විය යුත්තේ ය. උගන්වන ශාස්ත්‍ර‍ධර්මයන්ගේ අඩාළ නො කිරීමෙන් හා කරණ සත්කාරයෙන් ම අඛණ්ඩකාරී විය යුත්තේ ය. රහස් කාරි නො විය යුත්තේ ය. නිරවශෙසකාරී නො විය යුත්තේ ය. ‘කවර උපායෙකින් මොහු ශිල්පෙයහි උපදවම් දෝ හෝ?’ යි කියා ජනක චිත්තය ඉපද විය යුත්තේ ය. ‘කෙසේ නම් මොහු ශීලාදිගුණයෙන් නො පිරිහෙත් දෝ හෝ?’ යි කියා වර්ධන චිත්තය ඉපද විය යුත්තේ ය. මොහු ‘ශික්ෂාබලයෙන් බලවත් කෙරෙමි’ යි කියා චිත්තය උපදවා ලිය යුත්තේ ය. මෛත්‍රීචිත්තය උපදවා ලිය යුත්තේ ය. ආපදර්ථයක් පැමිණි කල්හි නො හැරිය යුත්තේ ය. කිසි කට යුතු කෘත්‍යයක් පැමිණි කල්හි ‘මට කිම් ද?’ යි කියා ප්‍ර‍මාද නො විය යුත්තේ ය. ඛලිත ව සිත චඤ්චල වූ කල්හි ධර්මයෙන් සංග්‍ර‍හ කට යුත්තේ ය. ස්වාමීන් වහන්ස, මේ යථොක්ත වූ පස්විසිගුණයෝ ආචාර්යවරයාගේ ආචාර්ය ගුණයෝ ය. ඒ ගුණයෙන් මා (100) කෙරෙහි යහපත් කොට පිළිපැද වදාළ මැනැව. තවද ස්වාමීනි, මට කාංක්ෂාවක් උපන්නේ ය. සර්වඥභාෂිත වූ මෙණ්ඩක නම් ප්‍ර‍ශ්නධර්මයෝ ඇත. අනාගත කාලයෙහි ඒ ධර්ම දෙශනාවෙහි දෘෂ්ටිවාදීන්ගේ කලහවිග්‍ර‍හයෙක් උපදින්නේ ය. ඒ අනාගතකාලයෙහි නුඹ වහ්නසේ වැනි වූ අතුල්‍යබුද්ධීන් වහන්සේලා දුර්ලභ වන්නාහු ය. එහෙයින් පරවාදීන්ට නිග්‍ර‍හ කරණු පිණිස මාගේ ඒ ප්‍ර‍ශ්නධර්මදෙශනාවන් කෙරෙහි ලා ප්‍ර‍ඥා ඇස පිරිසිදු කොට දෙවා වදාළ මැනැවැ” යි කියා ආරාධනා කළහ.

එකල්හි පරවාදීභකුම්භවිදාරණකෙශරීන්ද්‍ර‍භූත වූ මාගේ නාගසෙන ථෙරසාමීන් වහන්සේ “යහපත, මහරජානෙනි,” යි කියා එපවත් පිළිගෙණ තුණුරුවන් ආශ්‍ර‍ය කරණ උපාසකයාගේ උපාසකගුණදසයක් දක්වා වදාළසේක:-

“දස ඉමෙ, මහාරාජ, උපාසකස්ස උපාසකගුණා. කතමෙ දස, ඉධ, මහාරා, උපාසකො සංඝෙන සමානසුඛදුක්ඛො හොති. ධම්මාධිපතෙය්‍යො හොති. යථාබලං සංවිභාගරතො හොති. ජිනසාසනපරිහානිං දිස්වා අභිවඩ්ඪියා වායමති. සම්මාදිට්ඨිකො හොති. අපගතකොතූහලමඞ්ගලිකො ජීවිත හෙතුපි න අඤ්ඤං සත්‍ථාරං උද්දිසති. කායිකං වාචසිකඤ්චස්ස‘රක්ඛිතං හොති. සමග්ගරාමො හොති. සමග්ගරතො. අනුසූයකො හොති. න ච කුහනවසෙන සාසනෙ චරති. බුද්ධං සරණං ගතො හොති. ධම්මං සරණං ගතො හොති. සංඝං සරණං ගතො හොති. ඉමෙ ඛො මහාරාජ, දස උපාසකස්ස උපාසක ගුණා” යි

යනුවෙන් “මහරජානෙනි, උපාසකයාගේ උපාසකගුණයෝ මේ දශයෙක. දශය කවරේ ද? මහරජානෙනි, මේ බුද්ධශාසනයෙහි උපාසකතෙම සංඝයා වහන්සේ හා සමාන වූ සුවදුක් කැමති වේ ද, සද්ධර්මය ම අධිපති[9] කොට ඇත්තේ වේ ද, යථා ශක්තියෙන් පූජා විභාගයෙහි ඇලී වසන්නේ වේ ද, සර්වඥශාසනයාගේ පිරිහීම දැක අභිවෘද්ධිය පිණිස වීර්ය කරන්නේ ය. සම්‍යක් ප්‍ර‍තිපත්තියෙහි හැසිරීමෙන් සම්‍යග්දෘෂ්ටික වේ ද, පහ කරණ ලද කොතූහලමංගලික නම් විපරීත දෘෂ්ටිව්‍ර‍තසමාදානාදි මංගල ක්‍රියාවන් ඇත්තේ දිවිහිමියෙනුත් අන්‍යශාස්තෘ කෙනෙකුන් පිහිට ය යි නො කියන්නේ ය. ඔහු විසින් කායිකය හා වාචසිකය රක්ෂා කරණ ලද්දේ වේ ද, සාමග්‍රිතායෙහි කැමැත්තේ වේ ද, සාමග්‍රිතායෙහි ඇලුනේ වේ ද, ඊර්ෂ්‍යා නො කරණ සුලු වේ ද, වඤ්චා වසයෙන් ශාසනයෙහි නො හැසිරේ ද, බුදුන් සරණ ගියේ වේ ද, දහම් සරණ ගියේ වේ ද, සඟ සරණ ගියේ වේ ද, මහරජානෙනි, මෙකී දසගුණයෝ උපාසකයාගේ උපාසකගුණයෝ නම් වෙති. ඒ සියලු ම ගුණයෝ තොප කෙරෙහි විද්‍යමාන ව පවතිත්. තොපට ඒ ඒ උපාසකගුණගණාංගය යුක්ත ය. අනුච්ඡවික ය. සුදුසු ය.

“තෙපි යම් සර්වඥශාසනය පිරිහීමක් දැක අභිවෘද්ධියක් කැමැත්තෝ ය. ‘යහපත, තොපට අවකාශ කෙරෙමි’ යි තෙපි මාගෙන් සැප සේ ම විචාරව” යි වදාළසේක.

ඉක්බිති කරණ ලද අවකාශ ඇති මිලිඳුමහරජානෝ ගුරු වූ (101) නාගසෙන ස්ථවිරයන්ගේ ශ්‍රීපාදද්වන්දයෙහි වැඳ වැටී තමාගේ හිස මස්තකයෙහි අඤ්ජලිය කොට වැඳ ගෙණ මෙපවත් සැලකළහ:-

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, මේ අන්‍යලබ්ධිමත් තීර්ථකයෝ මේ ආකාර කියන්නාහු ය:- ‘ඉදින් සර්වඥතෙම ලොකයා කරණ පූජාව ඉවසනසේක් වී නම්, ක්ලේශපරිනිර්වාණයෙන් පිරිනිවන් නො පෑසේක. සර්වඥතෙම ලොකයා හා සංයුක්තසේක. භවයට ඇතුළත් වූසේක. ලොකයා කෙරෙහි ලොකයා හා සාධාරණ වූසේක. එහෙයින් ඒ සර්වඥයාහට කරණ ලද පූජා සත්කාරයතෙම වඳ වන්නේ ය. සිස් වන්නේ ය. නිෂ්ඵල වන්නේ ය. ඉදින් ක්ලෙශයන් කෙරෙන් මිදී පිරිනිවන් පෑ වදාළ සේක් වී නම්, ලොකයා හා අමිශ්‍ර‍ වූසේක. සියලුම භවයන් විසින් හරණ ලද වූ සේක. ඒ සර්වඥයාහට පූජාසත්කාරයක් උපදින්නේ වී නම්, පිරිනිවන් පෑ වදාළ සර්වඥතෙම ඒ පූජාව මඳකුත් නො ඉවසනසේක. නො ඉවසන්නා වූ අප්‍රාණිසර්වඥයාහට කරණ ලද පූජා සත්කාරයතෙම සිස් වන්නේ ය. වඳ වන්නේ ය. අඵල වන්නේ ය. නිෂ්ඵල වන්නේ ය’ යි කියත්. ස්වාමීනි, මේ දෙකෙළෙවරක් ඇති උභතොකොටික ප්‍ර‍ශ්නයෙක. අසම්ප්‍රාප්ත වූ අර්හත්ඵල සිත් ඇත්තවුන්ට මේ ප්‍ර‍ශ්නයතෙම විෂය නො වන්නේ ය. ප්‍ර‍ඥා මහත්ත්වයෙන් මහත් වූ නුඹ වහන්සේ වැනි මහතුන් වහන්සේලාට මේ ප්‍ර‍ශ්නයතෙම විසඳා කීම විෂය වන්නේ ය. මේ දෘෂ්ටිජාලය බිඳ වදාළ මැනැව. නුඹ වහන්සේට ම මේ ප්‍ර‍ශ්නයතෙම සම්ප්‍රාප්ත වූයේ ය. පරවාදයන්ට නිග්‍ර‍හ කරණු පිණිස මතු අනාගතයෙහි වසන සර්වඥපුත්‍ර‍යන්ට ප්‍ර‍ඥාඇසක්් දෙවා වදාළ මැනැවැ” යි කීහ.

එකල අලාමක ඤාණ ගති ඇති නාගසෙන තෙරුන් වහන්සේ වදාරණ සේක්:- “මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ අනුපාදා නිර්වාණධාතුවෙන් පිරිනිවන් පා වදාළසේක. ඒ පිරිනිවි භාග්‍යවතුන් වහන්සේ පූජාසත්කාර නො ඉවසනසේක. ප්‍ර‍ථමබොධිමූලයෙහි දී ම තථාගතයන් වහන්සේගේ ආලය කොට ගන්නා ආසාතොම ප්‍ර‍හීණ වන ලද්දී ය. දැන් වනාහි අනුපාදිශෙෂනිර්වාණධාතුවෙන් පිරිනිවන් පෑ වදාළ බුදුරජානන් වහන්සේගේ ඉවසීමක් නැති බව කියනු ම කවරේ ද? මහරජානෙනි, මෙම කාරණය සාරී නම් බ්‍රාහ්මණදේවීන්ගේ පුත්‍ර‍ වූ සද්ධර්ම සේනාධිපති වූ අග්‍ර‍ශ්‍රාවක වූ මහාතෙර සාමීන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. ‘සදිව්‍යමනුෂ්‍යයන් විසින් අසමසම වූ සර්වඥවරයෝ පුදනු ලබන්නාහු ය. ඒ සර්වඥවරයෝ ඒ පූජාසත්කාරය ආලයක් කොට නො ඉවසති. අනන්ත වූ බුදුවරයන්ගේ මේ ධර්මතාවකැ” යි වදාළසේක.

“පූජීයන්තා[10] අසමසමා-සදෙවමානුසෙහි තෙ,

න සාදියන්තී සක්කාරං-බුද්ධානං ඵස ධම්මතා” යි.

ඒ අසා මිලිඳු මහරජානෝ කියන්නාහු:- “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, පුත්‍රතෙම හෝ පියානන්ගේ ගුණ කියන්නේ ය. පියානෝ හෝ තමාගේ පුත්‍ර‍යන්ගේ ගුණ කියන්නාහු. පරවාදයන්ගේ නිග්‍ර‍හයට මේ බව කාරණයක් ‍නො වන්නේ ය. සැරියුත් මහතෙරුන් වහන්සේ කී මේ කාරණය බුදුන් කෙරෙහි ප්‍රීතියෙන් කළ ප්‍ර‍සාදය ප්‍ර‍කාශ කිරීම නම් වන්නේ ය. (102) වහා ම නුඹ වහන්සේ මට ඒ උභතොකොටිකප්‍ර‍ශ්නයෙහි ලා ස්වකීය වූ ශාසනවාදයාගේ ප්‍ර‍තිෂ්ඨාව පිණිසත් දෘෂ්ටිජාලයාගේ දඟ හැරීම පිණිසත් අනික් කාරණයක් මනා කොට වදාළ මැනැවැ” යි කීහ. එකල පවරගණීන්ද ගම්භීරධීසාගර[11] පාරප්‍රාප්ත වූ නාගසෙන ථෙර ස්වාමීන් වහන්සේ කියන සේක්:-

“මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ වදාළසේක. භාග්‍යවතුන් වහන්සේ ලොකයාගේ පූජාසත්කාරයත් නො ඉවසනසේක. නො ඉවසන්නා වූ ම තථාගතයන් වහන්සේගේ ශාරීරික පාරිභොගික වූ ධාතුරත්නය දිව්‍යමනුෂ්‍යයෝ ප්‍ර‍තිෂ්ඨා කොට ගෙණ තථාගතයන් වහන්සේගේ බුද්ධඥාන නමැති රත්නය අරමුණු කොට ගෙණ මනා කොට ප්‍ර‍තිපත්තිය සෙවනය කරන්නාහු ත්‍රිවිධ වූ සම්පත්තීන් ම ලබන්නාහු ය. ‘මහරජානෙනි, යම් සේ මහත් වූ මහගිනිකඳෙක් දිලියෙමින් ඇවිළ තෙමේ නිවී ගියේ වී නම්, කිමෙක් ද, “මහරජානෙනි, ඒ මහා අග්නිස්කන්ධයතෙම තෘණ කාෂ්ඨ කඩ පෙනෙලි ආසාවෙන් ඉවසන්නේ වේ දැ?” යි විචාළසේක. “ස්වාමීනි, ඒ මහාඅග්නිස්කන්ධයතෙම ඇවිළෙමින් සිටත් තෘණ කාෂ්ඨ උපාදානයන් ආසාවකින් නො ඉවසන්නේ ය. කිමෙක් ද, එසේ කල නිවී ගියා වූ උපශාන්ත වූ අචෙතන ඒ ගිනිකඳ තෘණාදිය ඉවසන්නේ වේ ද.

“මහරජානෙනි, එහි වනාහි ගිනිකඳ නිරුද්ධ ව නිවී උපශාන්ත වූ කල්හි ලොකයෙහි අග්නි ශූන්‍ය වේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්ස, කෘෂ්ඨය, අග්නියගේ ඉපදීමට කාරණ වන්නේ ය. ගැණීම වන්නේ ය. ගිනි කැමැත්තා වූ යම් කිසි මනුෂ්‍යකෙනෙක් ඇද් ද, ඒ මනුෂ්‍යයෝ තමන්ගේ ශක්තිබල වීර්යයෙන් ම, තමා තුළ වූ පුරුෂකාරයෙන්[12] ද, කාෂ්ඨය මථනය කොට ගිනි උපදවා ගෙණ ඒ ගින්නෙන් කට යුතු වූ කර්මාන්තයන් කරන්නාහු ය” යි කීහ.

“මහරජානෙනි, එසේ වී නම්, නො ඉවසන්නා වූ තථාගතයන් වහන්සේට කරණ ලද අධිකාර නම් වූ පූජාසත්කාරයතෙම වඳ වන්නේ ය. සිස් වන්නේ ය. නිෂ්ඵල වන්නේ ය යි කියන්නා වූ මිත්‍යාදෘෂ්ටීන්ගේ වචනය මිථ්‍යා වන්නේ ය. තුච්ඡ වන්නේ ය. සිස් වන්නේ ය. මහරජානෙනි, යම් සේ මහත් වූ අග්නිස්කන්ධයතෙම දිලියෙමින් ඇවිලෙන්නේ වේ ද එපරිද්දෙන් ම අප භාග්‍යවතුන් වහන්සේ දශසහශ්‍රිලොක ධාතුයෙහි අනන්ත වූ බුද්ධශ්‍රීන් දිලිහුනුසේක. මහරජානෙනි, යම් සේ අග්නිස්කන්ධයතෙම දිලිහී ගොස් නිවී ගියේ වේ ද, එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ දශසහශ්‍රීලොකධාතුයෙහි බුද්ධශ්‍රීයෙන් දිලියෙමින් අනුපාදිසෙස වූ නිර්වාණධාතුවෙන් පිරිනිවන් පෑ වදාළසේක. මහරජානෙනි, යම් සේ නිවී ගියා වූ මහාඅග්නිස්කන්ධයතෙම තෘණ කාෂ්ඨ නො ඉවසා ද, එපරිද්දෙන් ම ලොකයාහට හිත වැඩ කැමැත්තා වූ තථාගතයන් වහන්සේ ඉවසන ආසාතොම ප්‍ර‍හීණ වූවා ය. උපශාන්ත වූවා ය. මහරජානෙනි, යම් සේ ගිනි කැමැති මනුෂ්‍යයෝ නිවි ගියාවූ අග්නිස්කන්ධයෙහි උපාදාන නම් ගැණීමක් නැති කල්හි තමන්ගේ ථාමබලවීර්යයෙන් තමා තුළ වූ පුරුෂකාරයෙන්[13] ගිනි ගානා කාෂ්ඨ මථනය කොට ගිනි උපදවා ඒ ගින්නෙන් කට යුතු වූ කර්මාන්තයන් කරන්නාහු ය. (103) එපරිද්දෙන් ම දිව්‍යමනුෂ්‍යයෝ ද පිරිනිවීයා වූ කිසිවක් නො ඉවසන්නා වූ තථාගතයන් වහන්සේගේ ධාතුරත්නය ප්‍ර‍තිෂ්ඨා කොට ගෙණ තථාගතයන් වහන්සේගේ ඥානරත්නය අරමුණු කොට ගෙණ මනා කොට ම ප්‍ර‍තිපත්තිය සෙවනය කරන්නාහු ය. ත්‍රිවිධ වූ දිව්‍යමනුෂ්‍යනිර්වාණසම්පත් ලබන්නාහු ය. මහරජානෙනි, මේ කාරණයෙනුත් පිරිනිවියා වූ කිසිවක් නො ඉවසන්නා වූ තථාගතයන් වහන්සේට කරණ ලද අධිකාරයතෙම අවඳ වන්නේ ය. අනන්තඵල දෙන බැවින් සඵල වන්නේ ය.

“මහරජානෙනි, අනිකුදු ඉතිරි කාරණයක් ඇත. යම් කාරණයකින් පිරිනිවියා වූ කිසිවක් නො ඉවසන්නා වූ තථාගතයන් වහන්සේට කරණ ලද සත්කාරයතෙම අවඳ වේ ද, සඵල වේ ද, ඒ කාරණයත් ඇසුව මැනැව. මහරජානෙනි, යම් සේ මහත් වූ වාතයතෙම නොයෙක් වෘක්ෂලතාදිය තළවා වැතිර ගොස් වළක්නේ වී නම්, කිමෙක් ද? මහරජානෙනි, ඒ වැළකුනා වූ වාතයතෙම නැවත ඉපදවීමක් ආසාවකින් ඉවසා දැ?” යි විචාළසේක. “ස්වාමීනි, වැළකුනා වූ වාතයාගේ නැවත උත්පත්තිය පිණිස ආභොගයෙක් හෝ මනස්කාරයෙක් හෝ නැත්තේ ය. ඊට කාරණා කවරේ ද? යත්:- ඒ වායොධාතුතෙම සිත් නැත්තේ ය” යි කීහ. “කිමෙක් ද, මහරජානෙනි, වැළකුනා වූ ඒ වාතයාගේ නැවත වාතය[14] යි යන සංඥාව නැති වේ දැ” යි විචාළසේක. “නැත, ස්වාමීනි, තල්වැට විධූපනාදීහු ඒ වාතයාගේ උත්පත්තියට ප්‍ර‍ත්‍යය වන්නාහු ය. උෂ්ණයෙන් තැවුනා වූ පරිළාහයෙන් පීළිත වූවා වූ යම්කිසි මනුෂ්‍ය කෙනෙක් ඇද් ද, ඒ මනුෂ්‍යයාගේ තාලවණ්ටයකින් හෝ සතරැස් පවන් පතකින් හෝ තමන් ශක්තිබලවීර්යයෙන් ප්‍ර‍ත්‍යාත්මපුරුෂකාර[15]යෙන් වාතය උපදවා ගෙණ ඒ වාතයෙන් උෂ්ණය නිවන්නාහු ය. පරිළාහය ව්‍යුපශමනය කරන්නාහු ය” යි කීහ. “මහරජානෙනි, ඒ කාරණයෙන් ‘නො ඉවසන්නා වූ තථාගතයන් වහන්සේට කරණ ලද සත්කාරයතෙම වඳ වන්නේ ය. නිෂ්ඵල වන්නේ ය’ යි කියන්නා වූ මිථ්‍යාදෘෂ්ටීන්ගේ වචනය මිථ්‍යා වන්නේ ය. බොරු වන්නේ ය.

“මහරජානෙනි, යම් සේ මහත් වූ මහවාතයතෙම හමා පැතිර ගියේ වේ ද, එපරිද්දෙන් ම අප භාග්‍යවතුන් වහන්සේ දශසහශ්‍රීලොකධාතුවෙහි ශීතල මධුරතර ශාන්ත සුඛුම මෛත්‍රීවාතයෙන් පැතිර[16] වදාළසේක. මහරජානෙනි, යම් සේ මහත් වූ වාතය තෙම පැතිර ගොස් වැළැක්කේ වේ ද, එපරිද්දෙන් ම අප භාග්‍යවතුන් වහන්සේ සීතලමධුරතරශාන්ත ප්‍ර‍ණීතසුඛූම මෛත්‍රිවාතයෙන් තුන් ලෝ පතුරුවා හමා අනුපාදිශෙස වූ නිර්වාණධාතුවෙන් පිරිනිවුනුසේක. මහරජානෙනි, යම් සේ වැළකුනා වූ වාතය තෙම නැවත ඉපදීමක් නො ඉවසා ද, එපරිද්දෙන් ම ලොකහිත වූ සර්වඥයන් වහන්සේගේ සාදියනාතොම ප්‍ර‍හීණ වූවා ය. ව්‍යුපශාන්ත වූවා ය. මහරජානෙනි, යම් සේ ඒ මනුෂ්‍යයෝ උෂ්ණාභිතප්ත වූ ද, පරිළාහප්‍ර‍පීඩිත වූ ද, එපරිද්දෙන් ම දිව්‍යමනුෂ්‍යයෝ රාගද්වෙෂමොහත්‍රිවිධාග්නි සන්තාප පරිදාහ ප්‍ර‍පීඩිත වූවාහු ය. යම් සේ තාලවණ්ටය හා විධූපන නම් සිවුරැස් පවන්පත් ආදිය වාතයාගේ ඉපදීම පිණිස ප්‍ර‍ත්‍යයෝ වෙද් ද, එපරිද්දෙන් ම තථාගතයන් වහන්සේගේ ශාරීරික පාරිභොගික ධාතු රත්නය ද (104) සර්වඥතාඥානරත්නය ද ත්‍රිවිධසම්පත්තීන්ගේ ප්‍ර‍තිලාභය පිණිස ප්‍ර‍ත්‍යය වන්නේ ය. යම් සේ උෂ්ණාභිතප්ත ග්‍රීෂ්ම ප්‍ර‍පීඩිත වූ මනුෂ්‍යයෝ තාලවණ්ටයෙන් හෝ විධූපනයෙන් හෝ වාතය උපදවා උෂ්ණය නිවා ගණිද් ද, පරිළාහව්‍යුපශමනය කෙරෙද් ද, එපරිද්දෙන් ම දිව්‍යමනුෂ්‍යයෝ පිරිනිවියා වූ කිසිවක් නො ඉවසන්නා වූ තථාගතයන් වහන්සේගේ ධාතුරත්නය ද ඥානරත්නය ද යථා ශක්තීන් පුදා කුසල් උපදවා ගෙණ ඒ කුසලයෙන් රාගද්වෙෂමොහත්‍රිවිධාග්නිසන්තාප උෂ්ණය නිර්වාපණය කෙරෙති. පරිළාහය ව්‍යුපශමනය කෙරෙති. මහරජානෙනි, මේ කාරණයෙනුත් පිරිනිවියා වූ කිසිවක් නො ඉවසන්නා වූ තථාගතයන් වහන්සේට කළ සත්කාරය අවඳ වන්නේ ය. සඵල වන්නේ ය.

“මහරජානෙනි, අනිකක් ඉතිරි කාරණයක් ඇසුව මැනැව. පරවාදීන්ට නිග්‍ර‍හ පිණිස ය. මහරජානෙනි, යම් සේ පුරුෂයෙක් භෙරිය ආකොටනය කොට ශබ්දය උපදවන්නේ ය. ඒ පුරුෂයා විසින් උපදවන ලද්දා වූ යම් භෙරිශබ්දයෙක් ඇද් ද, ඒ ශබ්දයතෙම අන්තර්ධාන වන්නේ ය. කිමෙක් ද, මහරජානෙනි, ඒ බෙරශබ්දය නැවත උත්පාදනයක්[17] ඉවසන්නේ වේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි, ඒ ශබ්දයතෙම අන්තරහිත වූයේ ය. ඒ ශබ්දයාගේ පුනරුත්පාදය පිණිස ආභොගයක් හෝ මනස්කාරයෙක් හෝ නැත්තේ ය. එකවරක් උපන්නා වූ භෙරි ශබ්දය අන්තර්ධාන වූ කල්හි ඒ භෙරිශබ්දය හාත්පසින් සිඳුනේ ම වෙයි. ස්වාමීනි, ශබ්දයාගේ ඉපදීම පිණිස භෙරීහු වනාහි ප්‍ර‍ත්‍යය වන්නාහ. නැවත පුරුෂතෙම කරුණක් ඇති කල්හි ආත්මජ වූ වීර්යයෙන් භෙරිය ආකොටනය කොට ශබ්දය උපදවන්නේ ය.’ “මහරජානෙනි, එපරිද්දෙන් ම අප භාග්‍යවත් වූ සර්වඥයන් වහන්සේ තමන්ගේ ශීලසමාධි ප්‍ර‍ඥා විමුක්ති විමුක්තිඥානදර්ශනයෙන් වැඩුනා වූ ධාතුරත්නය ද ධර්මවිනය ද අනුශාසනා ව ද තමන් වැනි ශාස්තෘවක් කොට තබා වදාරමින් තෙමේ අනුපාදිසෙස වූ නිර්වාණධාතුවෙන් පිරිනිවන් පෑ වදාළසේක. පිරිනිවියා වූ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සම්පත්ති ලාභයතෙම සිඳී ගියේ ය. සංසාරභවදුක්ඛයෙන් පීඩිත ව වෙහෙසුනා වූ සත්වයෝ ධාතුරත්නය ද, ධර්මවිනය ද, අනුශාසනාව ද ප්‍ර‍ත්‍යය කොට ගෙණ යථාශක්තීන් පුදා ත්‍රිවිධ වූ සම්පත් කැමැත්තාහු ඒ සම්පත්තීන් ලබන්නාහු ය. මහරජානෙනි, මෙම කාරණයෙනුත් පිරිනිවියා වූ කිසිවක් නො ඉවසන්නා වූ තථාගතයන් වහන්සේට පූජාසත්කාර වශයෙන් කරණ ලද අධිකාර කෘත්‍යතෙම අවඳ වන්නේ ය. සඵල වන්නේ ය. මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අනාගත කාලය දක්නා ලද්දේ ය. කථනය කරණ ලද්දේ ය. කියන ලද්දේ ය. සිහි කොට වදාරණ ලද්දේ ය.

“සියා ඛො පනානන්‍ද තුම්හාකං එවමස්ස‘අතීතසත්‍ථුකං පාවචනං, නත්‍ථි නො සත්‍ථා‘ති. න ඛොපනෙතං ආනන්‍ද එවං දට්ඨබ්බං. යො වො ආනන්‍ද මයා ධම්මො ච විනයො ච දෙසිතො පඤ්ඤත්තො, සො වො මමච්චයෙන සත්‍ථා” යි.

(105) යනාදීන් “ආනන්දයෙනි, තොපට වනාහි ‘අතීත ශාස්තෘක වූ බුද්ධ වචනයක් ඇත. ‘අපගේ ශාස්තෘන් වහන්සේ මෙකලට නැතැ’ යි කියා මෙසේ සිතක් වන්නේ වේ ද, ආනන්දයෙනි, මේ කාරණය මෙසේ නො දත යුත්තේ ය. ආනන්දයෙනි, තොපට මා විසින් යම් ධර්මයෙක් විනයෙක් දෙශනා කරණ ලද ද, පණවන ලද්දේ වේ ද, ඒ ධර්මවිනයතෙම මාගේ ඇවෑමෙන් තොපට අනුශාසනා කරණ ලොවුතුරා ශාස්තෘකෙනෙකැ” යි කියා වදාළසේක. මේ කාරණයෙන්, මහරජානෙනි, පිරිනිවියා වූ කිසිවක් නො ඉවසන්නා වූ තථාගතයන් වහන්සේට කරණ ලද්දා වූ පූජාසත්කාරය තෙම වඳ වන්නේ ය, නිෂ්ඵල වන්නේ ය යි කියන්නා වූ තීර්ථකයන්ගේ ඒ වචනය මිථ්‍යා වන්නේ ය. අභූත වන්නේ ය. මුසාවාද වන්නේ ය. විරුද්ධ වන්නේ ය. විපරීත වන්නේ ය. දුක් වන්නේ ය. දුඃඛවිපාක වන්නේ ය. අපාගමනීය[18] වන්නේ ය.

මහරජානෙනි, අනිකුත් ඉතිරි කාරණයක් ඇත. යම් කාරණයකින් පිරිනිවියා වූ කිසිවක් නො ඉවසන්නා වූ තථාගතයන් වහන්සේට කරණ ලද අධිකාරය තෙම අවඳ වේ ද, සඵල වේ ද, ඒ කාරණයත් ඇසුව මැනව. මහරජානෙනි, මේ මහාපෘථිවිතොම ‘සියලු ම බීජජාතීහු මා කෙරෙහි හට ගණිත්ව’ යි කියා ඉවසා දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි” යි” කීහ. “මහරජානෙනි, එසේ වී නම් කුමක් පිණිස ඒ බීජජාතීහු නො ඉවසන්නා වූ මහාපෘථිවියෙහි හට ගෙණ දැඩි වූ මුලින් හා ඔබිනොබ වැලඳි ජටාවෙන් ප්‍ර‍තිෂ්ඨිත වූ කඳන් අරටු ශාඛාවෙන් හාත්පසින් විස්තීර්ණ ව පුෂ්පඵලධරයෝ වෙද් දැ?” යි විචාළසේක. ‘ස්වාමීනි, මහා පෘථිවිතොම නො ඉවසන්නී වී නමුත් ඒ නොයෙක් බීජජාතීන්ට ප්‍ර‍තිෂ්ඨාධාර වන්නී ය. අංකුරයන්ගේ නැඟීම පිණිස ප්‍ර‍ත්‍යය දෙන්නී ය. ඒ බීජජාතීහු ඒ පෘථිවිප්‍ර‍තිෂ්ඨාව කරණ කොට ගෙණ ඒ දෙන ප්‍ර‍ත්‍යය කරණ කොට ගෙණ හට ගෙණ දැඩි වූ මූල ජටා ප්‍ර‍තිෂ්ඨිත වූවාහු කඳන් අරටු ශාඛාවෙන් හාත්පසින් විස්තීර්ණ වූවාහු පුෂ්ඵපලධරයෝ වෙති” යි කීහ. “මහරජානෙනි, එසේ වී නම් ඉදින් ‘නො ඉවසන්නා වූ තථාගතයන් වහන්සේට කරණ ලද අධිකාරය වඳ වන්නේ ය, අඵල වන්නේ ය’ යි කියා විරුද්ධ වූ ඒ මිත්‍යාවන් කියත් නම්, තීර්ථකයෝ තමන්ගේ ස්වකීය වූ මිත්‍යාවාදයෙහි පැරැද්දාහු වෙති. නස්නා ලද්දාහු වෙති. මහරජානෙනි, යම් සේ මහාපෘථිවිය ද එපරිද්දේ තථාගත වූ අර්හත් සම්‍යක් සම්බුද්ධසර්වඥයන් වහන්සේ දත යුත්තේ ය. මහරජානෙනි, යම් සේ මහාපෘථිවිතොම කිසිවක් නො ඉවසා ද, එපරිද්දෙන් තථාගතයන් වහන්සේ කිසිවක් නො ඉවසනසේක. මහරජානෙනි, යම් සේ ඒ බීජජාතීහු පෘථිවිය නිසා හට ගෙණ දළ්හ මූල ජටා ප්‍ර‍තිෂ්ඨිතවූවාහු ඛන්ධ සාර ශාඛාවන් විස්තීර්ණ වූවාහු පුෂ්පඵලධරයෝ වෙද් ද, එපරිද්දෙන් දිව්‍යමනුෂ්‍යයෝ පිරිනිවියා වූ කිසිවක් නො ඉවසන්නා ම වූ තථාගතයන් වහන්සේගේ ධාතුරත්නය හා ඥානරත්නය කරණ කොට ගෙණ පොළෝ යට එරා බැසී දැඩි වූ මුල් නමැති අලොභාද්වෙෂාමොහකුශලමූලයෙන් පිහිටන ලද්දාහු ය. සමාධි නමැති වෘක්ෂස්කන්ධයන් හා සද්ධර්ම නමැති අරටු ඇති සතර සංවරශීල නමැති ශාඛාප්‍ර‍ශාඛානේ විස්තාර ව පතළාහු ය. පඤ්චවිධවිමුක්ති නමැති පඤ්චවර්ණ (106) පුෂ්පයෙන් හා ශ්‍රාමණ්‍යමාර්ගඵල නමැති අමෘත ඵලධරයෝ වෙති. මහරජානෙනි, මෙම කාරණයෙනුත් පිරිනිවියා වූ කිසිවක් නො ඉවසන්නා ම වූ තථාගතයන් වහන්සේට කරණ ලද අධිකාරය තෙම අවඳ වන්නේ ය. සඵල වන්නේ ය.

“මහරජානෙනි, අනිකුත් ඉතිරි කාරණයෙක් ඇත. යම් කාරණයකින් පිරිනිවියා වූ කිසිවක් නො ඉවසන්නා ම වූ තථාගතයන් වහන්සේට කරණ ලද අධිකාරයතෙම අවඳ වේ ද, සඵල වේ ද, ඒ කාරණයත් ඇසුව මැනැව. මහරජානෙනි, ඔටුවෝ ය, වෘෂභයෝ ය, ගද්‍ර‍භයෝ ය, එළුවෝ ය, ගවයෝ ය, මනුෂ්‍යයෝ ය යන මොවුහු තමන්ගේ ඇතුළු කුක්ෂියෙහි පණුවන්ගේ සම්භව වීම ආලය කොට ඉවසන්නාහු දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි” යි කීහ. “මහරජානෙනි, ඒ පණුවෝ කුමක් පිණිස නො ඉවසන්නා වූ ඔවුන්ගේ ඇතුළු කුක්ෂියෙහි ම සම්භව ව ඉපද බොහෝ දරුමුනුබුරන් හා විපුලභාවයට පැමිණෙන්නාහු දැ?” යි විචාළසේක. “ස්වාමීනි, අකුශලකර්මයාගේ බලවත් බැවින් නො ඉවසන්නා ම වූ ඒ සත්වයන්ගේ ශරීරය ඇතුළෙහි පණුවෝ හට ගෙණ බොහෝ දරුමුනුබුරන් හා විපුලභාවයට පැමිණෙන්නාහු ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම පිරිනිවියා වූ කිසිවක් නො ඉවසන්නා ම වූ තථාගතයන් වහන්සේගේ ධාතුරත්නයාගේ ද බුද්ධඥානරත්නයාගේ ද බලවත් බැවින් තථාගතයන් වහන්සේ කෙරෙහි කරණ ලද අධිකාරය අවඳ වන්නේ ය. සඵල වන්නේ ය.

“මහරජානෙනි, අනිකුත් ඉතිරි කාරණයෙක් ඇත. යම් කාරණයකින් පිරිනිවියා වූ කිසිවක් නො ඉවසන්නා ම වූ තථාගතයන් වහන්සේට කරණ ලද අධිකාරයතෙම අවඳ වේ ද, සඵල වේ ද, ඒ කාරණයත් ඇසුව මැනැව. මහරජානෙනි, මේ මනුෂ්‍යයෝ ‘අටඅනූවක් පමණ රෝගයෝ අපගේ මේ ශරීරයෙහි උපදිත්ව’ යි කියා කැමැති ව ඉවසන්නාහු දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි” යි කීහ. “මහරජානෙනි, ඒ අටානූවක් පමණ රෝගයෝ කුමක් පිණිස නො ඉවසන්නා වූ ඒ මනුෂ්‍යයන්ගේ ශරීරයෙහි පතිත ව උපදින්නාහු දැ?” යි විචාළසේක. “ස්වාමීනි, පූර්ව ජාතියෙහි කළ දුශ්චරිතයාගේ විපාකයෙන් රෝගයෝ උපදිති” යි කීහ. “මහරජානෙනි, ඉදින් පූර්වජාතියෙහි කරණ ලද අකුශලකර්මය මේ ආත්මයෙහි දී විඳීම වේ නම්, මහරජානෙනි, ඒ කාරණයෙනුත් පූර්ව ජාතියෙහි කරණ ලද්දා වූත් මේ ජාතියෙහි කරණ ලද්දා වූත් කුශලාකුශල කර්මය අවඳ වන්නේ ය. සඵල වන්නේ ය. මහරජානෙනි, මෙම කාරණයෙනුත් පිරිනිවියා වූ කිසිවක් නො ඉවසන්නා ම වූ තථාගතයන් වහන්සේට කරණ ලද අධිකාරය තෙම අවඳ වන්නේ ය. සඵල වන්නේ ය.

“මහරජානෙනි, ‘නන්දක නම් යක්ෂතෙම සැරියුත් මහතෙරුන් වහන්සේට අපසාදනය කොට අතින් පහරක් ගසා ඒ අකුශලකර්මයෙන් පෘථිවිය පළා ගෙණ අවීචියට ගියේ ය’ යි කියා තොප විසින් අශ්‍රැතපූර්ව වී ද? අසන ලද්දේ දැ?” යි විචාළසේක. “එසේ ය, ස්වාමීනි, අසන ලද්දේ ය. ලොකයෙහිත් මේ බව ප්‍ර‍කට ය” යි කීහ “කිමෙක් ද, මහරජානෙනි, සැරියුත් මහතෙරුන් වහන්සේ නන්දක යක්ෂයාගේ මහා පෘථිවි ගැලීම කැමැති ව (107) ඉවසූසේක් දැ?” යි විචාළසේක. “අනේ! ස්වාමීනි, දෙවියන් සහිත වූ ලොකය නැති ව අභාවයට යන්නේ වී නමුත් චන්ද්‍ර‍සූර්යයෝ පෘථිවියෙහි වැටී යන්නාහු වූ නමුත්, මහමෙරුපර්වත රාජයා විසිර යන්නේ වී නමුත්, සැරියුත්මහතෙරුන් වහන්සේ අනුන්ට වන දුකක් සතුටින් නො ඉවසනසේක. ඊට කාරණ කවරේ ද? යත්:- යම් හෙතුවකින් සැරියුත් මහතෙරුන් වහන්සේ කිපෙනසේක් වී නම්, චිත්තදූෂණය වනසේක් වී නම්, ඒ කිපෙන කාරණය තෙම සැරියුත් මහතෙරුන් වහන්සේ විසින් නසන ලද්දේ ය. අර්හත්මාර්ගශස්ත්‍රයෙන් සිඳ හරණ ලද්දේ ය. ස්වාමීනි, ඒ හේතූන් නසා හැරිය බැවින් සැරියුත් මහතෙරුන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතය නසන්නවුන් කෙරෙහිත් කොපයක් නො කරණසේකැ” යි කීහ. “ඉදින් මහරජානෙනි, සැරියුත් මහතෙරුන් වහන්සේ නන්දක නම් යක්ෂයාගේ පෘථිවියෙහි ගැලීයාම නො ඉවසූසේක් වී නම්, කුමක් පිණිස වනාහි නන්දක නම් යක්ෂතෙම පෘථිවියට ප්‍ර‍විෂ්ට වූයේ වී දැ?” යි විචාළසේක. “ස්වාමීනි, මූ කළ අකුශල කර්මයාගේ බලවත් බැවිනැ” යි කීහ. “මහරජානෙනි, ඉදින් අකුශල කර්මයාගේ බලයෙන් නන්දක නම් යක්ෂතෙම පෘථිවියෙහි ගැලී ප්‍ර‍විෂ්ට වූයේ වී නම්, සිතින් නො ඉවසන්නාහටත් කරණ ලද අපරාධයතෙම අපායෙහි ම හෙළන බැවින් අවඳ වන්නේ ය. නොයෙක් දුක් විඳුවන බැවින් සඵල වන්නේ ය. මහරජානෙනි, එහෙයිනුත් කුශලකර්මයාගේ බලවත් බැවිනුත් නො ඉවසන්නාහටත් කරණ ලද අධිකාරයතෙම දෙව් ලොව උපදවන බැවින් අවඳ වන්නේ ය. නොයෙක් සැප විඳුවන බැවින් සඵල වන්නේ ය. මහරජානෙනි, මේ කාරණයෙනුත් පිරිනිවියා වූ කිසිවක් නො ඉවසන්නා වූ තථාගතයන් වහන්සේට කරණ ලද අධිකාරයතෙම අවඳ වන්නේ ය. සඵල වන්නේ ය.

“මහරජානෙනි, දැන් මේ බුද්ධොත්පාදයෙහි යම් මනුෂ්‍යකෙනෙක් පෘථිවියට ප්‍ර‍විෂ්ට වූවාහු ද, ඒ පොළව පළා ගෙන අපායට ගියාහු කෙනෙක් දෙන ද? ඒ පෘථිවිප්‍ර‍විෂ්ට වූ කාරණයෙහි තොපගේ ඇසීමෙක් ඇද් දැ?” යි විචාළසේක. “එසේය, ස්වාමීනි, මා විසින් අසන ලද්දේ ය” යි කීහ. “මහරජානෙනි, එසේ වී නම්, තෙපි මට අස්වා ලව” යි කීසේක. “ස්වාමීනි වහන්ස, චිඤ්චාමාණවිකාවෝ ය, සුප්‍ර‍බුද්ධශාක්‍යයෝ ය, දෙවදත්ත තෙරණුවෝ ය, නන්දක නම් යක්ෂයා ය, නන්දක නම් මාණවකයා ය යන මේ පස්දෙන මහාපෘථිවිය ද පළාගෙණ අපායට ගියාහු ය” යි කියා මා විසින් මෙම කාරණය අසන ලද්දේ ය” යි කීහ. “මහරජානෙනි, ඒ පස්දෙන කවර කෙනෙකුන් කෙරෙහි අපරාධ කළාහු දැ?” යි විචාළසේක. “ස්වාමීනි, බුදුන් කෙරෙහිත් ශ්‍රාවකයන් කෙරෙහිත් අපරාධ කළාහු ය” යි කීහ. “කිමෙක් ද, මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේ හෝ ශ්‍රාවකයන් වහන්සේලා හෝ මේ පස්දෙනාගේ මහාපෘථිවි ප්‍රවේශය ඉවසුවාහු දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්සැ” යි කීහ. “මහරජානෙනි, එසේ වී නම්, ‘පිරිනිවන් පෑ වදාළාවූ කිසිවක් නො ඉවසන්නා ම වූ තථාගත වූ අප බුදුරජානන් වහන්සේට තුන්ලෝවාසීන් විසින් කරණ ලද්දා වූ පූජාසත්කාරයතෙම වඳ වන්නේ ය. සිස් වන්නේ ය (108) අඵල වන්නේ ය” යි කියා මෙසේ දෘෂ්ටිවාදයෙන් ‘ඉදින් බුදුරජ තෙම ලොකයාගේ පූජාව ඉවසනසේක් නම් නිවන් නො දැක සත්ව ලොකයෙහි ම හිඳිනාසේක. ඕහට කළ පූජායෙන්[19] කම් කිම් ද? ‘ඉදින් සත්වලොකයා කෙරෙන් මිදී නිවන් දැක්කසේක් නම්, ඒ සත්වලොකයෙහි නැති බැවින් නො ඉවසන බුදුරජහට කළ පූජායෙනුත්1 කමෙක් නැතැ” යි කියා දෙකෙළවරක් අල්වා මේ උභතොකොටික ප්‍ර‍ශ්නය විචාළ මිලිඳු රජහට යම්සේ දඹ කනු කැමැති දොහලිකපුරුෂයෙකුහට සියක් යොදුනක් උස ඇති අමෘතඵලභරිතමහාදඹවෘක්ෂය සොලවාලු කලක් මෙන් තමන් තමන් වහන්සේගේ ශ්‍රැතාන්තබුද්ධීන් අනෙකප්‍ර‍කාර උපමා ගෙණ හැර දක්වා රජහුගේ දෘෂ්ටිය ප්‍ර‍ලය කොට විධ්වංසනය කර වදාළසේක.

එකල මිලිඳු මහරජානෝ ප්‍රීතිවේගයෙන් පිණා ගොස් දොහොත් මුදුනෙහි තබා ගෙණ “සාධු! සාධු!! ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේ විසින් මේ ගම්භීර වූ ප්‍ර‍ශ්නයතෙම යහපත් කොට අවබෝධ කරවන ලද්දේ ය. ප්‍ර‍කාශ කර වදාරණ ලද්දේ ය. රක්ෂා කට යුතු වූ රහසක් ප්‍ර‍කාශ කරණ ලද්දේ ය. දෘෂ්ටිගැටය බිඳ හරණ ලද්දේ ය. දෘෂ්ටිග්‍ර‍හණය නො ගැන්ම කරණ ලද්දේ ය. එහෙයින් ප්‍ර‍වරගණීන්ද්‍ර‍භූත වූ නුඹ වහන්සේ කරා පැමිණ පරවාදයෝ නෂ්ට වූහ. මිථ්‍යාදෘෂ්ටීහු භග්න වූහ. අන්‍ය ලබ්ධි ගත් ලාමක වූ තීර්ථකයෝ හිරු දුටු ක‍ඳෝපැණියන් සෙයින් නිෂ්ප්‍ර‍භ වූවාහු ය” යි කියා ප්‍ර‍ශංසා කළහ.

පූජා අප්‍ර‍තිග්‍ර‍භණ ප්‍ර‍ශ්නය නිමි

  1. උගත් උපගතෙ-පාලි

  2. උපායෙනුත්

  3. ලෙස්වා

  4. සහායං පාලි (භය සහිත ස්ථානය)

  5. කවරේ

  6. ගුණයෝ

  7. ජනෙමිමං

  8. අස්වාලිය

  9. ආධිපත්‍යය

  10. පූජයන්ති

  11. ධීර සාගර

  12. ඊට සතුරුවූ පවචත්ත පුරිෂකාර-පාළි

  13. කාෂ්ඨයට සතුරු වූ පුරුෂාකාරයෙන් ‘පච්චවත්ත පුරිස කාරෙන’-පාළි

  14. වාතය යි කියා සංඥාව වැටහේ

  15. උෂ්ණාදියට සතුරු පුරුෂාකාර

  16. පතුරුවා

  17. උපාදානයක්

  18. අපායගාමිනී

  19. පූජායෙහිත්