ආවර්ජනාප්‍ර‍තිබද්ධප්‍ර‍ශ්නය

නැවතත් රජ්ජුරුවෝ “ස්වාමීනි නාගසෙනයන් වහන්ස, බුදුරජානන් වහන්සේ සියල්ල දන්නාසේක් දැ?” යි විචාළෝ ය. “එසේ ය, මහරජානෙනි, අප භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සියල්ල දන්නාසේක. එතෙකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතාඥානදර්ශනය නිරන්තරයෙන් එළඹ සිටින්නේ නො වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතාඥානය ආවර්ජනාව ප්‍ර‍තිබද්ධ කොට ඇත්තේ ය. ඉදින් කැමැති දෙයක් ආවර්ජනා කොට බලා දැන වදාරණසේකැ” යි කීසේක. එහෙයින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඉදින් ඒ තථාගතයන් වහන්සේගේ සොයා දැනීමෙන් සර්‍වඥතාඥානය වේ නම්, බුදුරජතෙම අසර්‍වඥසේකැ”යි කීහ. “මහරජානෙනි, ඒ බුද්ධඥානය අප ලොවුතුරාබුදුන්ගේ අතිතීක්ෂ්ණ වූ චිත්තය අනු ව ම පවත්නේ ය. ඒ බව දක්වා පියන්නට ඉතා දුෂ්කර වන්නේ ය. එතෙකුදු වුවත් මඳකින් කියම්හ:-

“මහරජානෙනි, සතරනැළියක් ගන්නා ලාස්සෙන් වී තිස් දෑමුණෙක් යාළෙක. එහි වී ඇට සකොටිතිස්තුන්ලක්ෂසැටදහසක් වන නියායෙන් ව්‍රීහීන්ගේ එක්සිය පණස් යාළ සතමුණු දොලාසෙක. මෙතෙක් වියෙහි වී ඇට එක අසුරුසනක් පමණ කාලයෙහි ප්‍ර‍වෘත්ත ව පෙරළී උපදනා චිත්තයාගේ ගණනට ලක් තබන කල්හි ක්ෂයට ඌනත්වයට යන්නාහු ය. ඒ අසුරුසනක් කාලයෙහි මේ මේ සප්තවිධචිත්තයෝ ප්‍ර‍වෘත්ත වන්නාහු වෙති. මහරජානෙනි, රාග සහිත වූ ද්වේෂ සහිත වූ, මොහ සහිත වූ, ක්ලේශ සහිත වූ, මාර්ගඵලප්‍ර‍තිලාභය (109) පිණිස නො වැඩූ ශරීර[1] ඇත්තා වූ ක්ලේශනිර්වාපණය පිණිස නො වැඩූ ශීලයන් ඇත්තා වූ, මාර්ගසමාධිය පිණිස චිත්තයාගේ වැඩීමක් නැත්තා වූ, විදර්ශනාප්‍ර‍ඥාවගේ වැඩීමක් නැත්තා වූ යම් ඒ බාලපෘථග්ජනසත්වකෙනෙක් ඇද්ද, ඔවුන්ගේ ඒ ප්‍ර‍ථමචිත්තය ඉතා මඳ ව උපදනේ ය. ප්‍ර‍මාද ව පවත්නේ ය.

ඊට කාරණා කවරේ ද? -සමථවිදර්ශනාභාවනාචිත්තයාගේ භාවිතාවක් නැති බැවිනි.

“මහරජානෙනි, යම් සේ හුණපඳුර හා ඔබිනොබ වැලඳ ගත්තා වූ හුණගැට වැඩීමෙන් විශාල වූ, හාත්පසින් විස්තීර්ණ වූ, ඔවුනොවුන් හා හිවී ගැවසී මැසෙන ලද්දා වූ, හුණශාඛා අවුලෙන් වැලඳ ගත්තා වූ කපා වැර ගසා අදින ලද්දා වූ, මහහුණවෘක්ෂයාගේ ඇදී එන ගමන දන්ධ වන්නේ ය. ප්‍ර‍මාද වන්නේ ය. ගරුක වන්නේ ය. නො ඇදීම බලවත් වන්නේ ය. ඊට කාරණා කවරේ ද? යත්:- හුණ ගැටපත් ශාඛාවන්ගේ ඔබිනොබ ගෙතී මැහුණ බැවින් නො ඇදෙන්නේ ය.

“මහරජානෙනි, එපරිද්දෙන් ම රාග සහිත වූ, ද්වේෂ සහිත වූ, මොහ සහිත වූ, ක්ලේශ සහිත වූ, අභාවිතකාය ඇත්තා වූ, අභාවිතසිල් ඇත්තා වූ, අභාවිත චිත්තය ඇත්තා වූ, අභාවිත ප්‍ර‍ඥාව ඇත්තා වූ, යම් ඒ බාල පෘථග්ජන සත්වකෙනෙක් ඇද් ද, ඔවුන්ගේ චිත්තය මඳ ව උපදනේ ය. පමා වන්නේ ය. කාරණා කවරේ ද? යත්:- ක්ලේශයන් විසින් චිත්තය වැලඳ ගැණීමෙන් වසා ගත් බැවින් පමා ව පවත්නේ ය. මේ පෘථග්ජන චිත්තය වන්නේ ය. ඒ සප්තවිධ වූ චිත්තයෙහි ලා මේ ද්විතීයචිත්තය බෙදීමට පැමිණෙන්නේ ය. මහරජානෙනි, සෝවාන් වූ වසන ලද සතර අපායද්වාරයන් ඇත්තා වූ සමෘග්දෘෂ්ටියගේ වශීප්‍රාප්ත වූ සර්වඥනුශාසනාව දැන ගත්තා වූ යම් ඒ ප්‍ර‍ථමමාර්ගයට පැමිණි කෙනෙක් ඇද්ද, ඔවුන්ගේ චිත්තයතෙම ‘මම ය මාගේ ය’ යි ගන්නා සත්කායදෘෂ්ටිය ද, ‘බුද්ධාදිඅටතන්හි’ කාංක්ෂා කරණ විචිකිච්ඡාව ද, ‘ශාසනයෙන් පිටත් බාහිරව්‍ර‍තසමාදානාදියෙන් නිවන් ඇතැ’ යි කියා ගන්නා වූ සීලබ්බතපරාමාසය ද, යන මේ ත්‍රිවිධ ස්ථානයෙහි ලැහැල්ලු ව ම උපදනේ ය. ලැහැල්ලු ව ම පවත්නේ ය. නො පැමිණියා වූ චතුර්මාර්ගඵලභූමියෙහි ගරුක ව උපදනේ ය. දන්ධ ව පවත්නේ ය. කාරණා කවරේ ද? යත්:- ත්‍රිවිධ ස්ථානයෙහි චිත්තයාගේ පිරිසිදු බැවින් හා මත්තෙහි උපදනා ක්ලේශයන්ගේ අප්‍ර‍හීණ බැවින් දන්ධ ව පවත්නේ ය.

“මහරජානෙනි, යම් සේ තුන් පුරුකක් ගැට කපා පිරිසිදු කරණ ලද්දා වූ මත්තෙහි ගන්ඨිශාඛාජටාවෙන් වැලඳ ගත්තා වූ වැර ගසා අඳින ලද්දා වූ මහහුණවෘක්ෂයාගේ තුන් පුරුක යම් පමණ ද, එපමණ ලැහැල්ලු ව ඇදී එන්නේ ය. එයින් මත්තෙහි තද වන්නේ ය. ඊට කාරණා කවරේ ද? පාත පුරුක කපා පිරිසිදු කළ බැවින් හා මත්තෙහි ශාඛාජටායෙන් ජටිත වූ බැවින් මඳක් ඇදීම වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම පිහිතාපායි වූ සම්‍යග්දෘෂ්ටියගේ වශීප්‍රාප්ත වූ සර්වඥානුශාසනාව විශෙෂයෙන් ම දන්නා වූ යම් ඒ සොතාපන්න වූ පුද්ගලකෙනෙක් ඇද්ද, උන්ගේ ඒ චිත්තයතෙම ත්‍රිවිධස්ථානයෙහි ලැහැල්ලු ව උපදනේ ය. ලැහැල්ලු ව පවත්නේ ය. මත්තෙහි අප්‍රාප්ත ව භූමියෙහි ගරුක ව උපදනේ ය. දන්ධ ව පවත්නේ ය. කාරණා කවරේ ද? යත්:- සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසය (110) යන මේ තුන් තන්හි චිත්තය පිරිසිදු බැවින් ලැහැල්ලු ව ම පවත්නේ ය. මත්තෙහි ඉතිරි ව සිටි ක්ලේශයන්ගේ අප්‍ර‍හීණ බැවින් පමා ව පවත්නේ ය. මේ දෙවෙනි චිත්තය නම් වන්නේ ය.

“ඒ සප්තවිධ චිත්තයෙහි ලා මේ තුන්වන චිත්තයතෙම බෙදීමට පැමිණෙන්නේ ය. මහරජානෙනි, යම් කෙනෙකුන්ගේ රාග, ද්වෙෂ, මොහ අකුශලධර්මයෝ තුනී වූවාහු ද, වරක් මිනිස් ලොව ප්‍ර‍තිසන්ධියට එන බැවින් සකෘදාගාමි වූ යම් ඒ ආර්යපුද්ගලකෙනෙක් ඇද්ද, දොළොස් වැදෑරුම් වූ ඒ සකෘදාගාමිආර්යයන්ගේ සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසය හා කාමරාගය ව්‍යාපාදය යන අකුශලයන්ගෙන් මිදුනා වූ ඒ සකෘදාගාමි චිත්තය තෙම යථොක්ත වූ පඤ්චස්ථානයෙහි ලැහැල්ලු ව ම උපදනේ ය. ලැහැල්ලු ව පවත්නේ ය. මත්තෙහි වූ මාර්ගඵලභූමියෙහි ගරුක ව උපදනේ ය. දන්ධ ව පවත්නේ ය.

“ඊට කාරණා කවරේ ද? යත්:- මෙහි කී පංචස්ථානයෙහි සිත පිරිසිදු බැවින් හා මතු ඉතිරි ව සිටි ක්ලේශයන්ගේ අප්‍ර‍හීණ බැවින.

“මහරජානෙනි, යම් සේ පස්පුරුකක් හුණගැට පිරිසිදු කරණ ලද්දා වූ ඉතිරි මතු ශාඛාජටාවෙන් ජටිත වූ බැවින් වැලඳ සිටින ලද්දා වූ, වැර ගසා අදින ලද්දා වූ, මහහුණවෘක්ෂයාගේ පස්පුරුක යම් පමණ ද, එපමණ ලැහැල්ලු ව ඇදී එන්නේ ය. එයින් මත්තෙහි තද වන්නේ ය. කාරණා කවරේ ද? යත්:- පාතභාගය පිරිසිදු බැවින් ඇදී එන්නේ ය. ඉතිරි වූ ඌර්ධ්වභාගය ශාඛා ජටාවෙන් ජටිත වූ බැවින් නො ඇදෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම යම් කෙනෙකුන්ගේ රාග, ද්වෙෂ, මොහයෝ තුනී වූවාහු ද, යම් ඒ සකෘදාගාමි වූ කෙනෙක් ඇද්ද, ඔවුන්ගේ සකෘදාගාමි ඵලචිත්තයතෙම පංචස්ථානයෙහි ලැහැල්ලු ව ම උපදින්නේ ය. ලැහැල්ලු ව ම පවත්නේ ය. ඉතිරි මතු භූමියෙහි ගරුක ව ම උපදනේ ය. දන්ධ ව පවත්නේ ය. කාරණා කිම? යත්- පංචස්ථානයෙහි චිත්තයාගේ පිරිසිදු බැවින් ලැහැල්ලු ව ම පවත්නේ ය. මත්තෙහි ඉතිරි ව සිටි ක්ලේශයන්ගේ අප්‍ර‍හීණ බැවින් ඒ චිත්තය දන්ධ ව පවත්නේ ය. මේ තෘතීයචිත්තය නම් වන්නේ ය.

“ඒ සප්තවිධචිත්තයෙහි ලා මේ සතරවන චිත්තය බෙදීමට පැමිණෙන්නේ ය. මහරජානෙනි, කාමලොකයෙහි ප්‍ර‍තිසන්ධියකට නො එන හෙයින් අනාගාමි වූ සතළිස්අටවැදෑරුම් වූ යම් අනාගාමි ආර්ය කෙනෙකුන්ගේ කාමලොකයෙහි ම යොදන්නා වූ පංචොරම්භාගීය සංයොජනයෝ ප්‍ර‍හීණ වූවාහු ද, යම් ඒ අනාගාමී කෙනෙක් ඇද්ද? ඒ අනාගාමීන්ගේ ඒ මාර්ගඵලචිත්තය තෙම යට කී සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස කාමරාග ව්‍යාපාදයන් හා මොවුන් ම සකලසත්වයන් සසර හා එක්කොට යොදන හෙයින් සංයොජන නම් වූ දිට්ඨිසංයොජනය විචිකිච්ඡාසංයොජනය සීලබ්බතපරාමාසසංයොජනය කාමරාගසංයොජනය පටිඝසංයොජනය යන මේ දශස්ථානයෙහි ලැහැල්ලුව ම උපදනේ ය. ලැහැල්ලු ව ම පවත්නේ ය. මතු රහත්භූමියෙහි සිත ගරුක ව උපදනේ ය. දන්ධ ව පවත්නේ ය.

“කාරණා කිම? යත්- මෙහි කී දශස්ථානයෙහි අනාගාමි චිත්තයාගේ පිරිසිදු බැවින් හා මත්තෙහි උපදනා ක්ලේශයන්ගේ අප්‍ර‍හීණ බැවින. මහරජානෙනි, යම් සේ දසපුරුකක් ගැට කපා (111) පිරිසිදු කරණ ලද්දා වූ මහා ඌර්ධ්ව ශාඛාජටාවෙන් ජටිත වූ වැට ගසා ආකඩ්ඪනය කරණ ලද්දා වූ මහහුණවෘක්ෂයාගේ දසපුරුක යම් ප මණ ද එපමණ ම ලැහැල්ලු ව ඇදී එන්නේ ය. එයින් මත්තෙහි තද වන්නේ ය. ඊට කාරණා කවරේ ද? යත්- හෙට්ඨා භාගය පිරිසිදු බැවින් හා ඌර්ධ්වභාගය ශාඛාජටායෙන් ජටිත වූ බැවින. මහරජානෙනි, එපරිද්දෙන් ම යම් කෙනෙකුන්ගේ පඤ්චොරම්භාගීය වූ සංයොජනයෝ ප්‍ර‍හීණ වූවාහු ද, යම් ඒ අනාගාමි කෙනෙක් ඇද්ද, ඒ ආර්යපුද්ගලයන්ගේ ධර්මචක්ෂුස ය යි කියන ලද ඒ අනාගාමිඵලචිත්තයතෙම මෙහි කී දශස්ථානයෙහි ලැහැල්ලු ව ම උපදනේ ය. ලැහැල්ලු ව ම පවත්නේ ය. මතු රහත් භූමියෙහි ගරුක ව උපදෙන් ය. පමා ව පවත්නේ ය. කාරණා කවර? යත්- මෙහි කී දශ ස්ථානයෙහි අනාගාමිචිත්තයාගේ අත්‍යන්ත පරිශුද්ධ බැවින් ශීඝ්‍ර‍ ව පවත්නේ ය. මත්තෙහි ඉතිරි ක්ලේශයන්ගේ අප්‍ර‍හීණ බැවින් දන්ධ ව පවත්නේ ය. මේ සතරවන චිත්තය වන්නේ ය.

“ඒ සප්තවිධ වූ චිත්තයෙහි ලා මේ පස්වැනි චිත්තය විභජනයට පැමිණෙන්නේ ය. මහරජානෙනි, චතුරාශ්‍ර‍වයන් ක්ෂය කළා වූ ක්ලේශ මලය හැර අර්හත්ඥානය මුවහත් කරණ ලද්දා වූ ක්ලේශාමය වමනය කරණ ලද්දා වූ සසර වැස නිමවන ලද්දා වූ කට යුතු කාර්ය කොට නිමවන ලද්දා වූ ක්ලේශමහාභාරය බහා තබන ලද්දා වූ ස්වකීය වූ නිර්වාණාර්ථ සිද්ධියට පැමිණෙන ලද්දා වූ භවසංයොජනයන් ක්ෂය කරණ ලද්දා වූ පැමිණෙන ලද අර්ථ ධර්ම නිරුක්ති ප්‍ර‍තිභාන යන සිවුපිළිසිඹියාවන් ඇත්තා වූ ශ්‍රාවකභූමියෙහි සම්පූර්ණතාවෙන් පරිශුද්ධභාවයට පැමිණියා වූ යම් ඒ රහතන් වහන්සේ කෙනෙක් ඇද්ද, ඒ රහතුන් වහන්සේලාගේ ඒ අර්හත්ඵලචිත්තයතෙම රූප රාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජාය යන පඤ්චවිධ වූ උද්ධම්භාගීයසංයොජනයන් කෙරෙන් මිදී සකල ක්ලේශයන් නැසූ හෙයින් ශ්‍රාවකවිෂයෙහි ශීඝ්‍ර‍ ව ම උපදනේ ය. ශීඝ්‍ර‍ ව ම පවත්නේ ය. ප්‍රත්‍යෙකබුද්ධභූමියෙහි ගරුක ව උපදනේ ය. දන්ධ ව (112) පවත්නේ ය. කාරණා කවර? යත්- ශ්‍රාවකවිෂයෙහි පිරිසිදු බැවින් හා ප්‍රත්‍යෙකබුද්ධවිෂයෙහි සිත අපරිශුද්ධ බැවින. මහරජානෙනි, යම් සේ සියලු ම හුණපුරුක් ගැට සිඳ පිරිසිදු කරණ ල්දදා වූ අත ගසා අදින ලද්දා වූ මහාවංසනළයාගේ ඇදී එන ගමන ලහුක වන්නේ ය. ශීඝ්‍ර‍ වන්නේ ය. අදන්ධ වන්නේ ය. නො පමා වන්නේ ය. ඊට කාරණා කවර? යත්- සියලු ම පුරුක් හා ගණ්ඨි පරිසුද්ධ බැවින් හා හුණවෘක්ෂයාගේ ඔබිනොබ ග්‍ර‍හණයක් නැති බැවින් ඇදී එන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම චතුරාශ්‍ර‍වයන් ක්ෂය කළා වූ ක්ලේශමලයන් පිරිසිදු කළා වූ ක්ලේශාමය වමනය කළා වූ බ්‍ර‍හ්මචරියාව වැස නිම වූවා වූ කට යුතු කාර්ය කොට නිම වූවා වූ කලේශභාරය බහා තැබුවා වූ ස්වකීයාර්ථයට පැමිණියා වූ භවසංයොජනයන් ක්ෂය කළා වූ සිවුපිළිසිඹියාවට පැමිණියා වූ ශ්‍රාවකභූමියෙහි පිරිසිදු වූ යම් ඒ රහතන් වහන්සේ කෙනෙක් ඇද්ද, ඒ රහතන් වහන්සේලාගේ අර්හත්ඵලචිත්තයතෙම ශ්‍රාවකවිෂයෙහි ලැහැල්ලු ව උපදනේ ය. ශීඝ්‍ර‍ ව උපදනේ ය. ලැහැල්ලු ව පවත්නේ ය. ප්‍රත්‍යෙකබුද්ධභූමියෙහි ගරුක ව උපදනේ ය. දන්ධ ව පවත්නේ ය. කාරණා කවර? යත්- ශ්‍රාවක විෂයෙහි සිත පිරිසිදු බැවින් හා පසේබුදුවිෂයෙහි අපරිසුද්ධ බැවින් මෙසේ වන්නේ ය. මේ පස්වන චිත්තය නම් වන්නේ ය.

ඒ සප්තවිධ චිත්තයෙහි ලා මේ සවන චිත්තය විභජනයට පැමිණෙන්නේ ය. මහරජානෙනි, අන්‍යොපදෙශවිරහිත වූ තෙමේ ම බුදුවන හෙයින් ස්වයම්භූ වූ ආචාර්යකෙනෙකුන් නැත්තා වූ එකලා ව ම හැසිරෙණ කඟවෙසණුන් හා සදෘශ වූ එකලා ව හැසිරෙන්නා වූ තමන්ගේ ස්වකීය ප්‍රත්‍යෙකබුද්ධවිෂයෙහි සුපරිසුද්ධ නිර්මල සිත් ඇත්තා වූ යම් ඒ ප්‍රත්‍යෙකබුද්ධකෙනෙක් ඇද් ද, ඒ පසේබුදුවරයන්ගේ ඒ චිත්තයතෙම චතුරාර්යසත්‍යඥානයෙහි හා ඒ චතුර්විධප්‍ර‍තිසම්භිදාඥානයෙහි පවත්නා හෙයින් තමන්ගේ විෂයෙහි ශීඝ්‍ර‍ ව උපදනේ ය. සීඝ්‍ර‍ ව පවත්නේ ය. සර්වඥබුද්ධභූමියෙහි ගරුක ව උපදනේ ය. දන්ධ ව පවත්නේ ය. කාරණා කවර? යත්- දුක්ඛෙඤාණාදී අටනුවණ ශ්‍රාවකයන්ටත් සාධාරණ වුවත් ප්‍රත්‍යෙකබුද්ධයන්ට විශෙෂයෙන් ම පිරිසිදු බැවින් තමන්ගේ විශෙෂයෙහි වහා පවත්නේ ය. සර්වඥගොචර වූ ඉන්ද්‍රියපරොපරියත්තෙඤාණය, සත්වයන්ගේ ආසයානුසයඤාණය, යමකපාටිහාරියඤාණය, මහාකරුණාසමාපත්තිඤාණය, සබ්බඤ්ඤූතඤාණය, අනාවරණඤාණය යන මේ සර්වඥබුද්ධවිෂයයාගේ මහත් බැවින් එහි දන්ධ ව පව්තනේ ය. මහරජානෙනි, යම් සේ පුරුෂයෙක්තෙම තමහට විෂය වූ උස නැති ස්වල්ප වූ ගංගාවකට රාත්‍රියෙහිත් දහවලුත් කැමති ලෙස අසම්භීත ව බස්නේ ය. නැත අනික් කලෙක අතිගම්භීර වූ අතිවිස්තාර වූ බැස හිඳීමට කිසි ප්‍ර‍තිෂ්ඨාවක් නැත්තා වූ පරතෙරක් නැත්තා වූ මහාසමුද්‍ර‍ය දැක භය වන්නේ ය. දන්ධ වන්නේ ය. එතෙර වන්නට නො හැකි වන්නේ ය. කාරණා කිම? යත්- ස්වකීය විෂයයාගේ පුරුදු බැවින් කුඩා ගඟින් එතර වන්නේ ය. මහාසමුද්‍ර‍යාමෙහත් බැවින් නො හැකි වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම ස්වයම්භූ වූ අනාචාරී වූ එකචාරී වූ කගවෙසණුන් හා සදෘශ වූ තමන්ගේ විෂයෙහි පිරිසිදු නිර්මල සිත් ඇත්තා වූ යම් ඒ පසේබුදුවර කෙනෙක් ඇද්ද, ඔවුන් වහන්සේලාගේ ඒ චිත්තයතෙම තමන් වහන්සේලාගේ විෂයෙහි ම ශීඝ්‍ර‍ ව උපදනේ ය. ශීඝ්‍ර‍ ව පවත්නේ ය; සර්වඥබුද්ධභූමියෙහි ගරුක ව උපදනේ ය. දන්ධ ව පවත්නේ ය. කාරණා කවර යත්- ස්වකීයප්‍රත්‍යෙකබුද්ධවිෂයයාගේ පිරිසිදු බැවින් එහි ශීඝ්‍ර‍ ව පවත්නේ ය. සර්වඥබුද්ධවිෂයයාගේ මහත් බැවින් එහි දන්ධ ව පවත්නේ ය, මේ සවන චිත්තය වන්නේ ය.

“ඒ සප්තවිධ වූ චිත්තයෙහි ලා මේ සත්වන චිත්තය විභජනයට පැමිණෙන්නේ ය. මහරජානෙනි, සියල්ල දත්තා වූ දසබලධාරී වූ බුද්ධත්වය, ආශ්‍ර‍වක්ෂයකරඥාන, අන්තරායකරධර්මය, නෛර්යාණික ධර්මය යන මේ චතුර්වෛශාරද්‍යයෙහි විශාරද වූ අෂ්ටාදශබුද්ධධර්මයෙන් සමන්වාගත වූ අනන්ත වූ ක්ලේශයන් ජය ගත් බැවින් ‘අනන්තජින’ නම් වූ අනෙකසෘද්ධිප්‍රාතිහාර්ය ඥානාර්ථධර්මයෙහි කිසිවෙකු විසින් ආවරණයක් කළ නො හැකි වන බැවින් අනාවරණඥානී වූ යම් ඒ සම්‍යක් සම්බුද්ධසර්වඥ බුදුවරකෙනෙක් ඇද් ද, ඒ ලොවුතුරා බුදුවරයන් වහන්සේලාගේ අචින්ත්‍යානොපමෙය්‍ය වූ ඒ සර්වඥචිත්තයතෙම දශබල (113) චතුර්වෛශාරද්‍ය තුදුස්බුද්ධඥානාදි වූ සර්වධර්මයෙහි ශීඝ්‍ර‍ ව ම උපදනේ ය. ශීඝ්‍ර‍ ව ම පවත්නේ ය. ඊට කාරණා කිම? යත්- සියලු ම දත මනා ධර්මයෙහි අත්‍යන්තයෙන් පිරිසිදු බැවින.

“කිමෙක් ද, මහරජානෙනි, දුහුලින් කළ සියුම් වස්ත්‍රයෙක්හි හෝ කපුයෙන් කළ සියුම් වස්ත්‍රයෙක්හි හෝ හිසකෙසෙන් කළ සියුම් වස්ත්‍රයෙක්හි හෝ මනා කොට හණ ගා මුවහත් තබන ලද්දා වූ පහ වූ මලයෙන් නිර්මල වූ ගැට නැති බැවින් නිග්ගණ්ඪි වූ සියුම් මුවහත් ඇත්තා වූ ඇද නො වූ වක් නො වූ කිසි කුටිලත්වයක් නැත්තා වූ දහසක් දෙන ඇද නගන දළ්හධනුවට ආරොපණය කරණ ලද්දා වූ මහත් වූ යොධභටයෙකු විසින් බලවත් කොට ඇද විදින ලද්දා වූ නාරාචය නම් අයොමයශීතලයාගේ වස්ත්‍ර‍ය කැපී නො ගොස් මඳ ව වදිනා බවෙක් හෝ විනිවිද නො ගොස් ඇලෙන ලග්නත්වයෙක් හෝ වේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්සැ” යි කීහ. “කුමක් නිසා දැ?” යි විචාළසේක. “ස්වාමීනි, වස්ත්‍ර‍යන්ගේ සියුම් බැවින් ද, නාරාචයාගේ සියුම් මුවහත් ඇති බැවින් ද, විදින ලද සැරයාගේ බලවත් බැවින් දැ? යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම සියල්ල දත්තා වූ දශබලධාරී වූ චතුර්වෛශාරද්‍යවිශාරද වූ අෂ්ටාදශබුද්ධධර්මයෙන් සමන්වාගත වූ අනන්තජින නම් වූ අනාවරණඥානී වූ යම් ඒ සම්‍යක්සම්බුද්ධසර්වඥවර කෙනෙක් ඇද්ද, ඒ සර්වඥවරයන් වහන්සේලාගේ ඒ අත්‍යන්තනිර්මල සුඛුම වූ සර්වඥ චිත්තයතෙම ඉන්ද්‍රියපරොපරියත්ත ආසයානුසය යමකපාටිහාරිය මහා කරුණාසමාපත්ති සබ්බඤ්ඤුත අනාවරණඤාණාදි සියල්ලෙහි ම අති ශීඝ්‍ර‍ ව ම උපදනේ ය. අතිශීඝ්‍ර‍ ව ම පවත්නේ ය. කාරණ කවර යත්- සර්වඥතාඥානයෙහි පිරිසිදු බැවින් මෙසේ පවත්නේ ය. මහරජානෙනි, මේ සත්වැනි වූ චිත්තය නම් වන්නේ ය.

“තවද, මහරජානෙනි, ඒ සප්තවිධ වූ චිත්තයෙහි සර්වඥවරයන්ගේ යම් මේ චිත්තයෙක් ඇද්ද, ඒ චිත්තය සවැදෑරුම් වූ චිත්තයන්ගේ ම පවත්නා ගණන් අතික්‍රාන්ත කොට අසංඛෙය්‍ය වූ ගුණයෙන් පිරිසිදු වූයේ ය. ශීඝ්‍ර‍ ද වූයේ ය. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේගේ චිත්තය පිරිසිදු වී ද, ශීඝ්‍ර‍ වී ද, මහරජානෙනි, එහෙයින් අප භාග්‍යවතුන් වහන්සේ යමකප්‍රාතිහාර්යය දක්වා වදාළසේක. මහරජානෙනි, යමකප්‍රාතිහාර්යයෙහි භාග්‍යවත් වූ බුදුවරයන් වහන්සේලාගේ චිත්තය මෙසේ ශීඝ්‍ර‍ ව ම ප්‍ර‍වෘත්ත වන්නේ ය යි කියා දත යුත්තේ ය. ඒ යමකප්‍රාතිහාර්යයෙහි ඉතිරි කාරණයක් කියන්නට නො හැකි වන්නේ ය. මහරජානෙනි, ඒ අනන්ත වූ යමකප්‍රාතිහාර්යයෝත් සර්වඥබුදුවරයන්ගේ චිත්තය නියාමට ගණනකට වත් - සංඛ්‍යාවකට වත් - කලාවකට වත් - කලාභාගයකටත් නො පැමිණෙන්නාහු ය.

“මහරජානෙනි, අප භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතාඥානය ආවර්ජනාප්‍ර‍තිබද්ධ කොට ඇත්තේ ය. කැමැති දෙයක් ආවර්ජනා කොට බලා දැන වදාරණ සේක. මහරජානෙනි, යම් සේ පුරුෂයෙක්තෙම තමාගේ හස්තයෙහි තුබූ යම් දෙයක් දෙවෙනි හස්තයෙහි තබන්නේ වේ ද, විවෘත වූ මුඛයෙන් වචනයක් පිටත් කරන්නේ වේ ද, මුඛයට පැමිණි භොජනයක් (114) ගිලින්නේ වේ ද, ඇසිපිය හෝ අරින්නේ වේ ද, ඇස ඇරපියා හෝ උන්මීලනය කරන්නේ වේ ද, හකුළුවන ලද හෝ අතක් දික් කරන්නේ වී නම්, දික් කරණ ලද හෝ අතක් හකුළුවන්නේ වී නම්, මහරජානෙනි, මේ ඉතා කඩිනම් කාලයත් ඉතා පමා වන්නේ ය. අප භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතාඥානය ඊටත් වඩා ශීඝ්‍ර‍තර වන්නේ ය. අතිශීඝ්‍ර‍තර වූ ආවර්ජනාව ආවර්ජනා කොට බලා කැමැති දෙයක් දැන වදාරණසේක. ආවර්ජනා විකල මාත්‍ර‍යකින් ම ඒ භාග්‍යවත් වූ බුදුවරයන් වහන්සේලා එපමණින් ම අසර්වඥ නම් නො වන්නාහු ය” යි කීසේක.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, ඒ ආවර්ජනාව සොයා පරියෙසනයෙන් කට යුතු දෙයක් නො වේ ද? එබැවින් මට නුඹවහන්සේ ඒ සර්වඥතාඥානයෙහි ලා අනික් කාරණයකින් අවබොධ කරවා වදාළ මැනව” යි කීහ. “එසේ වී නම්, මහරජානෙනි, යම් සේ මහාධන ඇත්තා වූ මහාභොග ඇත්තා වූ බොහෝ වූ රන්රිදී ද්‍රව්‍යොපකරණ ඇත්තා වූ බොහෝ වූ ධනධාන්‍යයන් ඇත්තා වූ සකලසම්පත්තියෙන් ආඪ්‍ය වූ පුරුෂයක්හුගේ ඛලොපි, කුම්භිපිඨරකොෂ්ඨ සංඛ්‍යාත බොහෝ භාජන ගත වූ ඇල්වී, යව, තණ්ඩුල, තල, මුං, උඳු, ඇතුළු වූ පුබ්බන්න අපරන්න සංඛ්‍යාත සප්තවිධ ධාන්‍යයන් හා ගිතෙල්, වෙඬරු, කිරි, දීකිරි, මීපැණි ආදිහු වූවාහු වී නම්, ඒ පුරුෂයාගේ ගෙරදට ද, බතට ද සුදුසු වූ බත් කනු කැමැත්තා වූ අමුත්තෙක් ආයේ වී නම්, ඒ ගෘහපතියාගේ ගෘහයෙහි ද යම් භොජනයක් පිසන ලද ද, ඒ භොජනය නිෂ්ඨා වූයේ වී නම්, එකල අමුතුබත් දෙන පිණිස කුම්භී නම් වූ සැළියෙකින් සාල් ගෙණ බත් පිසන්නේ ය. කිමෙක් ද, මහරජානෙනි, ඒ මහාභොගී වූ පුරුෂතෙම එපමණ වූ භොජනවිකලමාත්‍ර‍යකින් ම නිර්ධනික වේ ද? දුගී නම් වේදැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි, චක්‍ර‍වර්තී රජ්ජුරුවන්ගේ ගෘහයෙහිත්, ස්වාමීනි, අකාලයෙහි බත් නැති වන්නේ ය. ගෘහපතියාගේ ගෙයි කියනු ම කවරේ දැ?” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම තථාගතයන් වහන්සේගේ සර්වඥතාඥානය ආවර්ජනාවිකලමාත්‍ර‍යක ආවර්ජනා කොට බලා කැමැති දෙයක් දැන ගන්නේ ය.[2]

“යම් සේ වනාහි මහරජානෙනි, හට ගත් ඵල ඇත්තා වූ ඵලපොකුරු භාරයෙන් භරිත වූ එහෙයිව් ඒ ඒ අතට නැමී තිබෙන්නා වූ අතුපතර ඇති ආමාදිවෘක්ෂයෙක් වී නම්, කිමෙක් ද, මහරජානෙනි, ඒ සඵලවෘක්ෂය තෙම එපමණකින් වැටුනු ඵල නැති මාත්‍ර‍යකින් ම අඵලවෘක්ෂ නම් වේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි, ඒ වෘක්ෂඵලයෝ වැටීම ප්‍ර‍තිබද්ධ කොට ඇත්තා හ. වැටුනු කල්හි කැමැත්තෙක් ලබන්නේ ය” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම තථාගතයන් වහන්සේගේ සර්වඥතා ඥානය ආවර්ජනාව ප්‍ර‍තිබද්ධ කොට ඇත්තේ ය. ඥානයෙන් ආවර්ජනා කොට බලා කැමැති දෙයක් දැන වදාරණසේකැ” යි කීසේක. “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, සර්වඥයන් වහන්සේ ආවර්ජනා කොට බලා කැමැති දෙයක් දැන වදාරණසේක් දැ?” යි විචාළෝ ය. “එසේ ය, මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේ ආවර්ජනා කොට බලා කැමැති දෙයක් දැන වදාරණ සේක. යම් සේ, මහරජානෙනි, චක්‍ර‍වර්තිරජ තෙම යම් දවසෙක (115) මට චක්‍ර‍රත්නය පැමිණෙව යි කියා චක්‍ර‍රත්නය සිහි කරන්නේ ය. සිහි කළ කල්හි චක්‍ර‍රත්නය සමීප ව පැමිණෙන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම අප තිලෝගුරු තථාගතයන් වහන්සේ ආවර්ජනා කර වදාරමින් කාලත්‍රයෙහි කැමැති දෙයක් දැන වදාරණසේකැ” යි කීසේක. එකල්හි අතිප්‍ර‍සන්න වූ මිලිඳු මහරජානෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, වදාළ මේ කාරණය ඉතා දෘඪ ය. බුදුරජානන් වහන්සේ සියල්ල දැන වදාරණසේක. බුදුරජානන් වහන්සේ සර්වඥසේකැ යි කියා අපි පිළිගණුම්හ” යි කීහ.

ආවර්ජනාප්‍ර‍තිබද්ධප්‍ර‍ශ්නය නිමි.

  1. ‘අභාවිත කායා’-පාළි (“-නො වැඩූ නාමකාය ඇති”)

  2. දැන වදාරණ සේක