කර්‍මක්‍ෂයප්‍ර‍ශ්නය

(147) නැවැතත් මිලිඳුමහරජානෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගත වූ බුදුරජානන් වහන්සේ සියලු ම අකුසල් නසා සර්වඥතාඥානයට පැමිණ වදාළසේක් ද? නොහොත් අකුසල් අවශෙෂයක් ඇති කල්හි සර්වඥතාඥානයට පැමිණ වදාළසේක් දැ?” යි විචාළෝ ය. “මහරජානෙනි, සියලු ම අකුසල් නසා භාග්‍යවතුන් වහන්සේ සර්වඥතාඥානයට පැමිණ වදාළසේක. භාග්‍යවතුන් වහන්සේගේ ශෙෂ ව සිටි අකුශලයෙක් නැතැ” යි කීසේක. “කිමෙක් ද, ස්වාමීනි, තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි කිසියම් දුක්ඛවේදනාවෙක් උපන්නේත් ඇද් දැ?” යි විචාළෝ ය. “එසේ ය, මහරජානෙනි, රජගහනුවර දී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයතෙම ගල්පතුරකින් වැදී ලේ පුරණ ලද්දේ ය. ලොහිත පක්ඛන්දිකා නම් ආබාධයෙක් උපන්නේ ය. ශරීරයෙහි ලේ වැඩී ව්‍යාප්ත වූ කල්හි ජීවකයන් විසින් විරෙචනය කරවන ලද්දේ ය. වාතාබාධය උපන් කල්හි උපස්ථායක තෙරුන් විසින් උෂ්ණොදකය වළඳවන ලද්දේ ය” යි කීසේක.

“ඉදින්, ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගතයන් වහන්සේ සියලු ම අකුසල් නසා සර්වඥතාඥානයට පැමිණ වදාළසේක් වූ නම්, ඒ කාරණයෙන් ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයතෙම සකලිකායෙන් වඳින ලද්දේ ය. ලොහිතපක්ඛන්දිකා නම් ආබාධය උපන්නේ ය’ යි කියා යම් වචනයක් කියන ලද ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් තථාගතයන් වහන්සේගේ ශ්‍රීපාදයතෙම ඉගිළ වැටුනු ගල් පතුරෙන් වැදෙන ලද්දේ වී නම්, ඒ ශරීරයෙහි ලොහිතපක්ඛන්දිකා ආබාධය ද උපන්නේ වී නම්, ඒ කාරණයෙන් ‘තථාගතයන් වහන්සේ සිලු ම අකුසල් නසා සර්වඥතාඥානයට පැමිණ වදාරණ ලද්දේ ය’ යි කියන්නා වූ ඒ වචනය බොරු වන්නේ ය. ස්වාමීනි, කර්මයක් නැති ව විඳින්නා වූ දුක්ඛවේදනාවෙක් නැත්තේ ය. සියලු ම ඒ කායදුක්ඛවෙදනා විඳීම කර්මය ම මුල් කොට ඇත්තේ ය. කර්මයෙන් විඳිනු ලබන්නේ ය. මේ උභතොකොටිකප්‍ර‍ශ්නය තෙමේත් නුඹ වහන්සේ කරා පැමිණියේ ය. නුඹ වහන්සේ විසින් මේ ප්‍ර‍ශ්නය තෙම නිර්වාහය කට යුත්තේ ය” යි කීහ.

“මහරජානෙනි, සියලු ම ඒ දුක්ඛවේදනාව කර්මය මුල් කොට ඇත්තේ නො වෙයි. මහරජානෙනි, අට කාරණාවකින් දුක්ඛවේදනාවෝ උපදනාහු ය. යම් කාරණාවකින් ප්‍ර‍චුර වූ සත්වයන් දුක්ඛවේදනාවෝ විඳිනු ලැබෙද් ද, ඒ කවර අට කාරණාවකින් ද? යත්:- මහරජානෙනි, මේ ලොකයෙහි යම් වාතසමුට්ඨාන වූත් ඇතැම් දුක්ඛවෙදනා කෙනෙක් උපදනාහ. මහරජානෙනි, පිත්තසමුට්ඨාන වූත් ඇතැම් දුක්ඛවෙදනා කෙනෙක් උපදනාහ. මහරජානෙනි, සෙම්හසමුට්ඨාන වූත් ඇතැම් දුක්ඛවෙදනා කෙනෙක් උපදනාහ. මහරජානෙනි, සන්නිපාත වූත් ඇතැම් දුක්ඛවෙදනා කෙනෙක් උපදනාහ. මහරජානෙනි, සෘතු පෙරළීමෙනුත් ඇතැම් දුක්ඛවෙදනා කෙනෙක් උපදනාහ. මහරජානෙනි, විසම පරිහාරජ වූත් ඇතැම් දුක්ඛවෙදනා කෙනෙක් උපදනාහ. මහරජානෙනි, පරොපක්කමික වූත් ඇතැම් දුක්ඛවෙදනා කෙනෙක් උපදනාහ මහරජානෙනි, මෙලොව කර්මවිපාකජ වූත් ඇතැම් දුක්ඛවෙදනා කෙනෙක් උපදනාහ. මහරජානෙනි, මේ යථොක්ත වූ අට කාරණාවෙන් බොහෝ වූ සත්වයන් දුක්ඛවෙදනාවෝ විඳිනු ලබති. ඒ දුක්ඛවෙදනායෙහි ලා කර්මයතෙම යම් ඒ සත්වකෙනෙකුන් මිරිකා පීළනය (148) කෙරේ ද, ඒ මේ සත්වයෝ ‘කර්මය මිස අන්‍ය කාරණයක් නැතැ’ යි කියා කාරණයන් ප්‍ර‍තිබාහනය කරන්නාහු ය. ඒ මිථ්‍යාවාදීන්ගේ ඒ වචනය බොරු වන්නේ ය” යි කීසේක.

“ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, යම් වාතිකාබාධයෙක් ඇද් ද, පිත්තිකාබාධයෙක් ඇද් ද, යම් සෙම්හිකාබාධයෙක් ඇද් ද, යම් සන්නිපාතිකාබාධයෙක් ඇද් ද, යම් උතුපරිණාමජ වූ ආබාධයෙක් ඇද් ද, යම් විසමපරිහාරජ වූ ආබාධයෙක් ඇද් ද, යම් ඔපක්කමිකාබාධයෙක් ඇද් ද, ඒ සියලු ම ආබාධයෝ කර්මසමුට්ඨානයෝ ම ය. පූර්වකර්මයෙන් ම ඒ සියලු ම ආබාධයෝ සම්භව වන්නාහු ය” යි කීහ. “මහරජානෙනි, ඉදින් ඒ සියලු ම ආබාධයෝ කර්මයෙන් ම වන්නාහු වූ නම්, ඒ ආබාධයන්ගේ ලක්ෂණයෝ වනාහි කොට්ඨාස වසයෙන් නො වන්නාහු ය. මහරජානෙනි, කිපෙන්නා වූ වාතයෝ වනාහි ශීතයෙන් ද, උෂ්ණයෙන් ද, ක්ෂුධායෙන් ද, පිපාසයෙන් ද, බොහෝ කොට කෑමෙන් ද, සිටීමෙන් ද, වීරිය වැඩීමෙන් ද, වෙගවත් ගමනින් ද, උපක්‍ර‍මයෙන් ද, කර්මවිපාකයෙන් දැ යි කියා දශප්‍ර‍කාරයෙකින් කිපෙන්නාහ.[1] ඒ දශප්‍ර‍කාරයන් අතුරෙන් කර්මවිපාකය හැර ශීතෝෂ්ණාදී යම් නවවිධකාරණ කෙනෙක් ඇද් ද, ඒ නවවිධකාරණයෝ ඉකුත් වූ අතීතයෙහි නො උපදනාහ. අසම්ප්‍රාප්ත වූ අනාගතයෙහිත් නො උපදනාහ. මේ වර්තමාන වූ භවයෙහි ම උපදනාහු ය. එහෙයින් ‘සියලු ම දුක්ඛවෙදනාවෝ කර්මයෙන් ම සම්භව වන්නාහු ය’ යි කියා නො කිය යුත්තාහ. ””””””””””””””” ”””” ”””

“මහරජානෙනි, කිපෙන්නා වූ පිත ශීතයෙන් ද, උෂ්ණයෙන් ද, විෂමභොජනයෙන් දැ යි කියා ත්‍රිවිධාකාරයකින් කිපෙන්නේ ය. මහරජානෙනි, කිපෙන්නා වූ සෙම ශීතයෙන් ද, උෂ්ණයෙන් ද, ආහාරපානයෙන් ද යන ත්‍රිවිධාකාරයෙන් කිපෙන්නේ ය. මහරජානෙනි, යම් වාතයෙක් ඇද් ද, යම් පිතක් ඇද් ද, යම් සෙමක් ඇද් ද, ඒ ඒ කිපීම්වලින් කිපී මිශ්‍ර‍ ව තමතමන්ගේ ස්වකීය ස්වකීය වෙදනාවට අදින්නේ ය. මහරජානෙනි, උතුපරිණාමජ වූ වෙදනාව සෘතු පිරිනැමීමෙන් උපදනේ ය. විසමපරිහාරජ වූ වෙදනාව විෂමාහාරයෙන් උපදනේ ය. මහරජානෙනි, ඔපක්කමික වූ වෙදනාව පරොපක්කමික වූ ක්‍රියාවෙන් වීමත් ඇත. පූර්වකර්ම විපාකයෙන් වීමත් ඇත. කර්මවිපාකජ වූ වෙදනාව පූර්ව කළ කර්මයෙන් ම උපදනේ ය. මහරජානෙනි, මෙසේ වනාහි කර්මවිපාක වූ ආබාධ ඉතා මඳ ය. අවශෙෂ වූ ආබාධ ඉතා බොහෝ ය. ඒ අනෙකප්‍ර‍කාර වූ ආබාධයෙහි විභාග නො දන්නා බාලයෝ ‘සියලු ම ආබාධයෝ කර්මවිපාකජ ම ය’ යි කියා වාතාබාධාදි සත ඉක්මවන්නාහු ය. ඒ කර්මය බුද්ධඥානය හැර සෙසු ඥානයකින් නියම කර ගන්ට නො හැකි වන්නේ ය. මහරජානෙනි, යම් හෙයකින් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයතෙම සකලිකාවෙන් වදිනා ලද්දේ වේ ද, ඒ දුක්ඛවෙදනාව වාතසමුට්ඨානය ද නො වන්නේ ය. පිත්ත සමුට්ඨානය ද නො වන්නේ ය. ශ්ලේෂ්මායෙන් පැමිණියේත් නො වන්නේ ය. සන්නිපාතිකයකුත් නො වන්නේ ය. උතුපරිණාමජයකුත් නො වන්නේ ය. විසමපරිහාරජයකුත් නො වන්නේ ය. කර්මවිපාකජයකුත් නො වන්නේ ය. පරොපක්‍ර‍මයෙන් වූ ඔපක්කමිකය ම ය.

මහරජානෙනි, දෙවදත්තතෙම වනාහි සෙරිවාණිජජාතකයෙහි පටන් බොහෝ සියදහස් ගණන් ජාතියෙහි තථාගතයන් වහන්සේ (149) කෙරෙහි වෛර බැඳ ආයේ ය. ඒ දෙවදත්තතෙම මෙසමයෙහි ඒ වෛරයෙන් යෙදී බුදුන්ගේ නෑකමත් ගුරුකමත් බුදුකමත් නො සලකා ‘බුදුන් මා බුද්ධරාජ්‍යය ගණිමි’ යි සිතා නොයෙක් ව්‍යායාම කෙරෙමින් ගිජ්ඣකූටපර්වතය පස්සෙන් තෙමේ ම සොරා නැඟී ගොස් මහත් වූ ඇත්බඳකටත් වඩා ගරුතර ගලක් යන්ත්‍ර‍ මාරුවකින් ගෙණ ඒ ගල[2] සක්මන් කරණ ලොවුතුරා බුදුන්ගේ මස්තකයෙහි හෙලා මරමි සිතා මුදා ඇද හෙලී ය. එකල බිමින් වෙනින් මහගල් දෙකක් උස් ව අවුත් ඒ ගල තථාගතයන් වහන්සේ කරා නො පැමිණි කල්හි ම පිළිගත්තාහු ය. ඔවුන්ගේ වැදීමෙන් ගල් පතුරක් බිඳී ඉගිළ අවුත් බුදුන්ගේ ශ්‍රීපාදයෙහි වැටී ඉදුනු කෝවක්කාඵලයක් මෙන් ලේ උපදවා ලී ය. මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේට උපන්නා වූ මේ වේදනාතොම කර්මවිපාකයෙන් නො ව අනුන්ගේ ක්‍රියාවකින් උපදනා ලද්දී ය. එයින් මත්තෙහි අනික් වේදනාවෙක් නැත්තේ ය.

“මහරජානෙනි, යම් සේ ක්ෂේත්‍ර‍ය නපුරු බැවින් හෝ බිජු නපුරු බැවින් හෝ බීජසංඛ්‍යාත වූ වී යහපත් සේ සම්භව නො වන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේට මේ වෙදනාතොම කර්මවිපාකයෙන් නො ව අන්‍ය වූ ක්‍රියාවෙන් උපදනා ලද්දී ය. එයින් මත්තෙහි අනික් වෙදනාවක් නැත්තේ ය. තව ද, මහරජානෙනි, යම් සේ ඇතුළුබඩ මන්දාග්නි ආදීහු නපුරු බැවින් හෝ ආහාරය නපුරු බැවින් හෝ භොජනය විෂමයට යන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම කර්ම විපාකයෙන් නො ව අන්‍ය වූ ක්‍රියාවෙන් භාග්‍යවතුන් වහන්සේට මේ වෙදනාතොම උපදනා ලද්දී ය. එයින් මත්තෙහි අනික් වෙදනාවෙක් නැත්තේ ය. මහරජානෙනි, එතෙකුදු වුවත් භාග්‍යවතුන් වහ්නසේට කර්මවිපාකජ වූ දුක්ඛවෙදනාවක් නැත්තේ ය. විෂමපරිහාරජ වූ වෙදනාවකුත් නැත්තේ ය. වාතසමුට්ඨානාදි අවශෙෂසමුට්ඨාන සයින් භාග්‍යවතුන් වහන්සේට දුක්ඛවෙදනාව උපදනේ ය. ඒ දුක්ඛවෙදනායෙන් ද වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයෙන් තොර කරන්නට සමස්ත ලොකයෙහි කිසිවෙක්[3] නො හැක්කේ ය. මහරජානෙනි, මේ ආපොධාතු, තෙජොධාතු, වායොධාතු, පඨවිධාතු යන සතරින් උපන්නා වූ ශරීරයෙහි ඉෂ්ටශුභාශුභ වෙදනාවෝ නිපතිත වන්නාහ. මහරජානෙනි, මේ ලොකයෙහි අහස්හි දමන ලද කැටය මහාපෘථිවියෙහි වැටෙන්නේ ය. කිමෙක් ද, මහරජානෙනි, ඒ කැටයතෙම පූර්ව කළ කර්මයෙන් මහාපෘථිවියෙහි වැටෙන්නේ දැ?” යි විචාළසේක. “නැත, ස්වාමීනි, යම් හෙතුවකින් මහාපෘථිවිතොම කුසලාකුශලවිපාකය විඳින්නේ වේ ද, එබඳු වූ හෙතුවෙක් මහපොළොවෙහි නැත්තේ ය. ස්වාමීනි, වර්තමාන වූ අකර්මක හෙතුවෙන් ඒ කැටයතෙම මහාපෘථිවියෙහි වැටෙන්නේ ය” යි කීහ. “එසේ වී නම්, මහරජානෙනි, මහාපෘථිවිය යම් සේ ද, එපරිද්දෙන් ම තථාගතයන් වහන්සේ දත යුත්තේ ය. යම් සේ කැටයතෙම පූර්ව අකෘත කර්මයෙන් මහාපෘථිවියෙහි වැටෙන්නේ වේ ද, මහරජානෙනි, එපරිද්දෙන් ම පූර්ව අකෘතකර්මයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයෙහි සකලිකාව වැටෙන ලද්දී ය. මහරජානෙනි, මෙහි වනාහි මනුෂ්‍යයෝ මහා පෘථිවිය බිඳින්නාහු ය. සාරන්නාහු ය. කිමෙක් ද, මහරජානෙනි, ඒ මනුෂ්‍යයෝ පූර්ව කළ කර්මයෙන් (150) මහාපෘථිවිය බිඳින්නාහු ද? සාරන්නාහු දැ” යි විචාළසේක. “නැත, ස්වාමීන් වහන්සැ” යි කීහ. “මහරජානෙනි, එපරිද්දෙන් ම යම් ඒ සකලිකාවක් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීපාදයෙහි වැටෙන ලද්දී ද, ඒ සකලිකාතොම පූර්වයෙහි කළ කර්මයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයෙහි වැටෙන ලද නො වන්නීය.

“මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේට යම් ලොහිතපක්ඛන්දිකාබාධයෙක් උපන්නේ වේ ද, ඒ ආබාධයතෙම පූර්ව කළ කර්මයෙකින් නො උපන්නේ ය. සන්නිපාතිකයෙන් උපන්නේ ය.[4] මහරජානෙනි, භාග්‍යවතුන් වහන්සේට යම්කිසි කායිකාබාධ කෙනෙක් උපදනා ලද්දාහු ද, එ ආබාධයෝ පෙර කර්මයකින් නො උපන්නාහ. වාතාදි මේ සමුට්ඨානයන් සදෙන අතුරෙන් එක්තරා සමුට්ඨානයකින් උපදනා ලද්දාහ. මහරජානෙනි, මෙම කාරණය දෙවාතිදෙව වූ භාග්‍යවතුන් වහන්සේ විසින් සද්දහස්සත්සියදෙසැටසූත්‍ර‍සමූහකෙනෙකුන් ප්‍ර‍වරලාඤ්ජනය කොට තැබුවා වූ සංයුත්සඟියෙහි නිර්ගාථකසූත්‍ර‍ය හෙයින් වෙය්‍යාකරණ නම් වූ මොළියසීවක නම් සූත්‍රයෙහි වදාරණ ලද්දේ ය.

සීවක නම් පරිබ්‍රාජකයානෙනි, මේ ලොකයෙහි පිත්තසමුට්ඨාන වූත් සමහර දුක්ඛවෙදනා කෙනෙක් උපදනාහු ය. ‘සීවකයෙනි, යම් ප්‍ර‍්‍ර‍කාරයකින් මේ ලොකයෙහි පිත්තසමුට්ඨාන වූ සමහර දුක්ඛවෙදනා කෙනෙක් උපදනාහු ය යි මෙම කාරණය තමා විසින් ම ත් දත යුත්තේ ය.’ ‘සීවකයෙනි, යම් ප්‍ර‍කාරයකින් මේ ලොකයෙහි පිත්තසමුට්ඨාන වූ සමහර දුක්ඛවෙදනා කෙනෙක් උපදනාහු ය’ යි කියා මෙම කාරණය ලොකයා විසිනුත් සැබෑ කොට සම්මත කරණ ලද්දේ ය. සීවකයෙනි, ඒ දුක්ඛ වෙදනායෙහි මේ ලෝවැසි පුද්ගලතෙම යම් කිසි සැපක් හෝ දුකක් හෝ, දුක්සැප නො වන උපෙක්ෂාවක් හෝ විඳින්නේ වේ ද, ඒ සියල්ල ම පූර්වයෙහි කරණ ලද කුශලාකුශලකර්මහෙතුව ම ය යි කියා මෙබඳු දෘෂ්ටියක් ඇත්තා වූ මෙබඳු වාදයක් ඇත්තා වූ යම් ශ්‍ර‍මණබ්‍රාහ්මණ කෙනෙක් ඇද් ද, ඒ මහණබමුණෝ යම් කාරණයක් තමන් විසිනුත් දන්නා ලද ද, ඒ කාරණාවත් දැනදැන ම ඉක්ම වන්නාහු ය. යම් කාරණයක් ලොකයෙහි සැබැව යි කියා දන්නා ලද ද, ඒ කාරණයත් ඉක්මවන්නාහු ය. එහෙයින් ඒ ශ්‍ර‍මණබ්‍රාහ්මණයන්ගේ වචනය මිථ්‍යා වන්නේ ය’ යි කියමි. ‘සීවකයෙනි, මේ ලොකයෙහි ඇතැම් සෙම්හසමුට්ඨාන වූ දුක්ඛවෙදනා කෙනෙක් උපදනාහ. සීවකයෙනි, සමහර වාතසමුට්ඨාන වූත් වෙදනා කෙනෙක් උපදනාහ. සීවකයෙනි, සමහර සන්නිපාතික වෙදනා කෙනෙකුන් උපදනාහ. සීවකනෙනි, ඇතැම් උතුපරිණාමජ වූත් වෙදනා කෙනෙක් උපදනාහ. සීවකයෙනි, විසමපරිහරජ වූත් ඇතැම් වෙදනාකෙනෙක් උපදනාහ. සීවකයෙනි, පරොක්කමික වූත් ඇතැම් වෙදනාකෙනෙක් උපදනාහ. සීවකයෙනි, මේ ලොකයෙහි කර්මාවිපාකජ වූත් ඇතැම් දුක්ඛවෙදනාකෙනෙක් උපදනාහු ය. සීවකයෙනි, මේ ලොකයෙහි යම් ප්‍ර‍කාරයකින් කර්මවිපාකජ වූ ඇතැම් වෙදනාකෙනෙක් උපදින්නාහු ය’ යි කියා මෙම කාරණය තමා විසිනුත් දත යුත්තේ ය. ‘සීවකයෙනි, මේ ලොකයෙහි යම් ප්‍ර‍කාරයකින් (151) කර්මවිපාකජ වූත් ඇතැම් වෙදනා කෙනෙක් උපදින්නාහු ය” යි කියා මෙම කාරණය ලොකයා විසිනුත් සැබෑ කොට දන්නා ලද්දේ ය. ‘සීවකයෙනි, ඒ දුක්ඛවෙදනායෙහි මේ පුරුෂපුද්ගලතෙම යම් කිසි සැපතක් හෝ දුකක් හෝ දුක්සැප නො වන්නා වූ උපෙක්ෂාවක් හෝ විඳින්නේ වේ ද, ඒ සියල්ල ම පූර්වයෙහි කළ කුශලාකුශලහෙතුව ම ය’ යි කියා මෙබඳු වූ වාදයක් ඇත්තා වූ මෙබඳු වූ දෘෂ්ටියක් ඇත්තා වූ යම් ශ්‍ර‍මණබ්‍රාහ්මණ කෙනෙක් ඇද් ද, ඒ මහණබමුණෝ යම් වෙදනාවක් තමා විසිනුත් දන්නා ලද ද, ඒ කාරණයත් ඉක්මවීමෙන් අතිධාවනය කරන්නාහු ය. යම් දුක්ඛවෙදනාකාරණයක් ලොකයෙහිත් සත්‍යසම්මත වී ද, ඒ කාරණයත් ඉක්මවන්නාහු ය. එසේ හෙයින් ඒ මහණබමුණන්ගේ වචනය මිථ්‍යා වන්නේ ය යි කියමි’ යි මෙසේ මේ සූත්‍ර‍ය නිමවා වදාළ කල්හි අතිප්‍ර‍සන්න වූ මොළිය සීවක නම් සන්නාසියා ‘ස්වාමීනි, ඒ දෘෂ්ටිවාදීහු කුමක් දනිද් ද? කටට ආවක් ම කියන්නාහ. ස්වාමීනි, ඔවුන්ගේ දෘෂ්ටිය හැරපීමි. මෙවක් පටන් ලොවුතුරා බුදුන් සරණ යෙමි’ යි කියා තුණුරුවන් සරණ ගියේ ය. මහරජානෙනි, මේ කාරණයෙන් ද සියලු ම දුක්ඛවේදනාවෝ කර්මවිපාකජ නො වන්නාහ. මහරජානෙනි, කර්මක්ෂය කළා වූ භාග්‍යවතුන් වහන්සේ සියලු ම අකුශලකර්මයන් නසා සර්වඥතාඥානයට පැමිණිසේකැ යි කියා අප කී මේ කාරණය මෙපරිද්දෙන් ම සිත්හි ධරා ගණුව” යි වදාළසේක.

මෙසේ “ඉදින් බුදුරජානන් වහන්සේ සියලු ම අකුශලකර්මයන් නසා බුදු වූ සේක් වූ නම්, “ශ්‍රීපතුලෙහි ගල්පතුර වැදීමෙන් දුක්ඛවෙදනා උපන්නේ ය’ යි කී වචනය බොරු වන්නේ ය. එපවත් සැබෑ වී නම්, ‘සියලු ම අකුසල් නසා බුදු වූසේකැ’ යි කියන වචනය බොරු වන්නේ ය” යි කියා මේ උභතොකොටික ප්‍ර‍ශ්නය විචාළ කල්හි “මහරජානෙනි, සියලු ම අකුශලකර්මයන් නසා බුදු වූ කාරණයත් සැබෑ ම ය. අකර්මක වූ පරොපක්‍ර‍මයකින් ශ්‍රීපතුලෙහි ගල්පතුර වැදීමෙන් වෙහෙස උපන් කාරණයත් සැබෑ ම ය” යි කියා නොයෙක් කාරණායෙන් අඟවා වදාළ කල්හි අතිප්‍ර‍සන්න වූ මිලිඳු මහරජානෝ “සාධු! සාධු!! ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේ වදාළ මේ කාරණය මෙපරිද්දෙන් ම මමත් පිළිගත්තෙමි” යි කීහ.

කර්මක්ෂයප්‍ර‍ශ්නය නිමි.

  1. කිපෙන්නේ ය

  2. කුලාව

  3. කිසිවෙකුට

  4. නො උපදවන්නේ ය