විවෙකගුණප්‍ර‍ශ්නය

නැවතත් මිලිඳු රජ්ජුරුවෝ “ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගතයන් වහන්සේගේ යම්කිසි කට යුතු කෘත්‍යයෙක් ඇත් නම්, ඒ සියල්ල ම බොධිද්‍රැමමූලයෙහි දී ම නිෂ්ඨා කරණ ලද්දේ ය. තථාගතයන් වහන්සේට මත්තෙහි කළ මනා කට යුත්තක් හෝ කරණ ලද කර්මයාගේ පුරුදු කිරීමක් හෝ නැතැ යි කියා නුඹ වහන්සේ කියනසේක. මේ තුන් මාසයක් මුළුල්ලෙහි පාරිලෙය්‍යවනයෙහි විවෙකයෙන් වැඩහුන් කාරණයක් දක්නා ලැබෙයි. ඉදින් ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, තථාගතයන් වහන්සේගේ යම් කිසි කට යුතු කෘත්‍යයෙක් ඇද් ද, ඒ සියල්ල ම බොධිමූලයෙහි දී ම (152) නිෂ්ඨා කරණ ලද්දේ වී නම්, තථාගතයන් වහන්සේගේ නැවත ඉතිරි කට යුත්තක් හෝ කරණ ලද කෘත්‍යයාගේ පුරුදු කිරීමක් හෝ නැත්තේ වී නම්, එහෙයින් තුන් මාසයක් විවෙක වූසේකැ” යි කියන්නා වූ යම් වචනයක් ඇද් ද, ඒ වචනය බොරු වන්නේ ය. ඉදින් තුන්මාසයක් විවෙක වූසේක් නම්, එහෙයින් තථාගතයන් වහන්සේගේ යම්කිසි කට යුතු කෘත්‍යයෙක් ඇද් ද? ඒ සියල්ලම බොධිමූලයෙහි දී ම නිෂ්ඨා කරණ ලදැ යි කියන්නා වූ ඒ වචනය හෝ බොරු වන්නේ ය. සියලු ම කට යුතු කොට නිමවන ලද්දා වූ තථාගතයන් වහන්සේට නැවැත විවේක වීමක් නැත්තේ ය. කරන්ට කට යුතු ඇත්තා හට ම විවෙකය වුව මනා වන්නේ ය. ව්‍යාධියක් ඇත්තාහට බෙහෙත් කට යුතු වන්නේ ය. ව්‍යාධියක් නැත්තාහට බෙහෙතින් කම් කිම් ද? ක්ෂුධාවෙන් පීඩිතයාහට ම භොජනයෙන් කට යුත ුවන්නේ ය. ක්ෂුධාග්නියක් නැත්තාහට භොජනයෙන් කම් කිම් ද? ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, එපරිද්දෙන් ම කෘතකරණියයාහට විවෙකවතක් නැත්තේ ය. සකරණීයයාහට ම පටිසල්ලාන නම් විවෙකය වුව මනා වන්නේ ය. මේ උභතොකොටිකප්‍ර‍ශ්නය තෙමේත් නුඹ වහන්සේ කරා පැමිණියේ ය. ඒ ප්‍ර‍ශ්නයතෙම නුඹ වහන්සේ විසින් ඉසිලිය යුත්තේ ය” යි කීහ.

“මහරජානෙනි, තථාගතයන් වහන්සේ විසින් කට යුතු වූ යම් කිසි කෘත්‍යයෙක් ඇද් ද? ඒ සියල්ල ම බොධිමූලයෙහි දී ම නිෂ්ඨා කරණ[1] ලද්දේ ය. තථාගතයන් වහන්සේ විසින් මත්තෙහි කළ මනා කට යුත්තක් හෝ කරණ ලද කර්මයාගේ පුරුදු කිරීමක් හෝ නැත්තේ ය. එසේ වුවත් භාග්‍යවතුන් වහන්සේ තුන්මාසයක් පතිසල්ලීන ව වැඩ හුන් සේක. මහරජානෙනි, විවෙක ව සර්වඥතාඥානයට පැමිණියාහු ය. ඒ සර්වඥයෝ ඒ සුකෘතගුණය සිහි කරන්නාහු විවෙකය සේවනය කරන්නාහු ය. මහරජානෙනි, යම් සේ රජ්ජුරුවන්ගේ සමීපයෙන් ලබන ලද වරප්‍ර‍සාද ඇත්තා වූ පුරුෂයෙක්තෙම ලබන ලද භොග ඇත්තේ ඒ සුකෘතගුණය සිහි කෙරෙමින් නැවැත නැවැතත් රජහට උපස්ථානයට එන්නේ ය. මහරජානෙනි, එපරිද්දෙන් ම සියලු ම තථාගතයන් වහන්සේලා විවෙක ව සර්වඥතාඥානයට පැමිණියාහු ය. ඒ තථාගතයන් වහන්සේලා ඒ සුකෘත ගුණය සිහි කෙරෙමින් විවේකය සෙවනය කරන්නාහුය. තවද මහරජානෙනි, යම් සේ රොගාතුර වූ එහෙයින් ම දුඃඛිත වූ බලවත් ගිලන්කම් ඇත්තා වූ පුරුෂයෙක්තෙම වෛද්‍යාචාර්යයකු සෙවනය කොට සුවයට පැමිණියේ සුකෘතගුණය සිහි කෙරෙමින් නැවැත නැවැතත් වෛද්‍යාචාර්යයා සෙවනය කරන්නේ ය. මහරජානෙනි, එපෙරිද්දෙන් ම සියලු ම තථාගතයෝ විවෙක වත් පුරා සර්වඥතාඥානයට පැමිණියාහු ය. ඒ සර්වඥවරයෝ ඒ සුකෘතගුණය සිහි කෙරෙමින් විවෙකය සෙවනය කරන්නාහු ය. මහරජානෙනි, යම් ගුණධර්ම කෙනෙකුන් දක්නා වූ තථාගතයෝ විවෙකය සෙවනය කෙරෙද්ද, ඒ මේ විවෙකගුණයෝ වනාහි විසිඅටවැදෑරුම් වන්නාහ.

“කතමෙ අට්ඨවීසති? ඉධ මහාරාජ, පථිසල්ලානං පටිසල්ලීය මානං රක්ඛතී. ආයුං වඩ්ඪෙති. බලං දෙති. වජ්ජං පිදහති. අයසමපනෙති. (153) යසමූපනෙති. අරතීං විනොදෙති. රතිමූපදහති. භයමපනෙති. වෙසරජ්ජං කරොති. කොසජ්ජමපනෙති. වීරියමභිජනෙති. රාගමපනෙති. දොසමපනෙති. මොහමපනෙති. මානං නිහන්ති. විතක්කං භඤ්ජති. විත්තං එකග්ගං කරොති. මානසං සෙනහයති. හාසං ජනෙති. ගරුකං කරොති. ලාභමුප්පාදයති. නමස්සියං කරොති. පීතිං පාපෙති. පාමොජ්ජං කරොති. සඞ්ඛාරා නං සභාවං දස්සයති. භවටිසන්‍ධිං උග්ඝාටෙති. සබ්බසා මඤ්ඤං දෙති. ඉමෙ ඛො මහාරාජ, අට්ඨවීසති පටිසල්ලාන ගුණා, යෙ ගුණෙ සමනුපස්සන්තා තථාගතා පටිසල්ලානං සෙවන්ති”.

“ඒ විසිඅටගුණය කවරේ ද? යත්:- මහරජානෙනි, මේ ශාසනයෙහි විවෙකයතෙම විවෙක වඩන්නවුන් රක්ෂා කරන්නේ ය. ආයු වඩන්නේ ය. ශරීරබලය දෙන්නේ ය. වරද වසන්නේ ය. අයස දුරු කරන්නේ ය. යසස ලං කරන්නේ ය. ශාසනයෙහි අරතිය දුරු කරන්නේ ය. ශාසනආලයෙහි පිහිටුවන්නේ ය. භය දුරු කරන්නේ ය. විශාරද කරන්නේ ය. කුසීතබව පහ කරන්නේ ය. වීර්ය උපදවන්නේ ය. රාගය පහ කරන්නේ ය. ද්වේෂය පහ කරන්නේ ය. මොහය පහ කරන්නේ ය. මානය නසන්නේ ය. විතර්කය මර්දනය කරන්නේ ය. සිත එකඟ කරන්නේ ය. මානස පිණවන්නේ ය. සතුටු උපදවන්නේ ය. ලොකයා හට මහත් කරන්නේ ය. ලාභය උපදවන්නේ ය. ලොකයාගේ නමස්කාරය කරවන්නේ ය. චිත්තප්‍රීතියට පමුණුවන්නේ ය. ප්‍රමොද්‍යය කරන්නේ ය. සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය දක්වන්නේ ය. සර්වභව ප්‍ර‍තිසන්ධිය නසන්නේ ය. සියලු ම ශ්‍රාමණ්‍යගුණය ගෙණ දෙන්නේ ය. මහරාජනෙනි, තථාගතයෝ යම් ගුණධර්ම කෙනෙකුන් දකිමින් විවෙකය සේවනය කෙරෙද් ද, ඒ මේ විවෙකගුණයෝ විසිඅටවැදෑරුම් වන්නාහ. මහරජානෙනි, එතෙකුදු වුවත් නිර්වාණසැපය හා සමාපත්තිරතිය අනුභව කරණු කැමැත්තා වූ තථාගතයන් වහන්සේලා විවේකගුණය සේවනය කරන්නාහු ය. මහරජානෙනි, නිමවන ලද චිත්තසංකල්පනා ඇත්තා වූ තථාගතයන් වහන්සේලා සතරකාරණයකින් විවෙකය සේවනය කරන්නාහු ය. කවර සතර කාරණයකින් ද? යත්:- මහරජානෙනි, තථාගතයෝ විහාරඵාසුව පිණිසත් විවෙකය සේවනය කරන්නාහ, නිරවද්‍යගුණබහුලතාව පිණිසත් තථාගතයෝ විවේකය සේවනය කරන්නනාහු ය. සියලු ආර්යවීථි හෙයිනුත් තථාගතයන් වහන්සේලා විවේකය සේවනය කරන්නාහු ය. සියලු ම අනන්තබුදුවරයන් විසින් ස්තුති ප්‍ර‍ශංසා වර්ණිත ප්‍ර‍ශස්ත කරණ ලද හෙයිනුත් තථාගතයන් වහන්සේලා විවෙකය සේවනය කරන්නාහු ය. මහරජානෙනි, මේ සතර කාරණයෙන් තථාගතයෝ විවෙකය සේවනය කරන්නාහු ය. මහරජානෙනි, මෙසේ වනාහි තථාගතයෝ විවේකය සේවනය කරන්නාහ. කට යුතු ඇති බැවින් සෙවනය කරන්නේත් නො වෙයි. කරණ ලද කට යුතු පුරුදු කරණ පිණිස සේවනය කරන්නේත් නො වෙයි. එසේ වුවත් ගුණ විශෙෂය දක්නා බැවින් තථාගතයන් වහන්සේලා පතිසල්ලාන නම් විවෙකගුණය සේවනය කර වදාරණසේක්ලා ය” යි කීසේක.

(154) මෙසේ ඉදින් බුදුරජානන් වහන්සේ බෝමුල දී ම සියලු ම කට යුතු නිමවා වදාළ බව සැබෑ වී නම්, ‘තුන් මාසයක් විවෙකවත් පිරූ සේකැ’ යි කී වචනය බොරු වන්නේ ය. ඒ බව සැබෑ වී නම්, ‘බෝමුල දී ම සියලු ම කට යුතු නිමවා වදාළසේකැ’ යි කී වචනය බොරු වන්නේ ය යි කියා උභතොකොටික ප්‍ර‍ශ්නය විචාළ රජහට ඒ කාරණා දෙක ම සැබෑ කොට වදාළ කල්හි අතිප්‍ර‍සන්න ව මිලිඳු මහරජානෝ “සාධු! සාධු!! ස්වාමීනි, නාගසෙනයන් වහන්ස, නුඹ වහන්සේ වදාළ මේ කාරණය එපරිද්දෙන් ම ‘මමත් පිළිගත්තෙමි” යි කීහ.

විවෙකගුණප්‍ර‍ශ්නය නිමි.

  1. නිෂ්ඨාවන