ප්‍රඥා පාරමිතාව පුරනු කැමති පින්වතුන් විසින් ඉහත දැක් වූ ප්‍රඥාවට බාධක වූ සම්මෝහ හේතූන් ගෙන් හැකි තාක් දුරු විය යුතු ය. ප්‍රඥාවට හේතු වන දෑ සේවනය කළ යුතු ය. සත්ත්වයන් ගේ දියුණුවට යහපතට සැපයට හේතු වන නිරවද්‍ය විද්‍යා ශිල්පයන් උගත යුතු ය. නා නා භාෂා උගත යුතු ය. ස්කන්ධ පස ය, ආයතන දොළස ය, ධාතු අටළොස ය, ඉන්ද්රිය දෙවිස්සය, චතුරාර්‍ය්‍ය සත්‍යය ය, ප්‍රතීත්‍ය සමුත්පාදය ය, සතිපට්ඨානාදි බෝධිපාක්ෂික ධර්මයෝ ය යන මේවා උගත යුතු ය. ත්‍රිපිටක ධර්මයන් හැකි තාක් උගත යුතු ය.
භාවනාවෙහි යෙදී පරිකර්ම සමාධි මාත්‍රය හෝ උපදවා ගත යුතු ය. රූපාවචර අරූපාවචර ධ්‍යාන උපදවා ගත යුතු ය. පඤ්චාභිඥා උපදවා ගත යුතු ය. නාම රූප ධර්ම පමණක් ඇති බව හා නාම රූප, සත්ත්ව පුද්ගල භාවයෙන් හිස් බවත්, නාම රූපයන්ගෙන් අන්‍ය සත්ත්වයකු පුද්ගලයකු නැති බවත්, තේරුම් කරගෙන දෘෂ්ටි විශුද්ධිය ඇති කර ගත යුතු ය. මේ නාමරූප ධර්මයෝ මේ මේ හේතූන් නිසා ඇති වන්නාහ. ඇති වන්නට කලින් නො තිබුණාහ. ඇති වූ ධර්මයෝ ද සැණෙකින් බිඳී යන්නාහ යි දන්නා කාංක්ෂා විතරණ විශුද්ධිය ඇති කර ගත යුතු ය. සංස්කාරයන්ගේ අනිත්‍ය දුඃඛ අනාත්ම යන ලක්ෂණ තුන දක්නා නුවණ ඇති කර ගත යුතු ය.
සම්මස්සන ඤාණය ය, උදයබ්බයානු පස්සනා ඤාණය ය, භංගානුපස්සනා ඤාණය ය, භයතුපට්ඨාන ඤාණය ය, ආදීනවානුපස්සනා ඤාණය ය, නිබ්බිදානු පස්සනා ඤාණය ය, මුඤ්චිතුකම්යතා ඤාණය ය, පටිසංඛානුපස්සනා ඤාණය ය, සංඛාරුපෙක්ඛා ඤාණය ය, සච්චානුලෝමික ඤාණය ය යන විදර්ශනා ඥානයන් ඇති කර ගත යුතු ය.
වර්තමාන භවයේ මඟපල ලබා නිවන් දැකීමට බලාපොරොත්තු නො වන මහා බෝධිසත්ත්ව ප්‍රත්‍යේක බෝධිසත්ත්ව මහා ශ්‍රාවක බෝධිසත්ත්ව වරයන් විසින් පටිපදාඤාණදස්සන විසුද්ධියෙන් විදර්ශනාව නැවැත්විය යුතු ය. ඉන් ඔබ්බට භාවනාව ගෙන ගොස් සෝවාන් මගට පැමිණිය හොත් අනාගතයේ බලාපොරොත්තු වන බෝධිවලට පැමිණිය නොහෙන්නේ ය.
මහා බෝධිසත්ත්වයන් විසින් කරුණාව පෙරදැරි කොට තමන් දැන උගත් විද්‍යා ශිල්පයන්ගෙන් අන්‍යයන්ගේ යහපත පිණිස ද වැඩ කළ යුතු ය. ඒවා අන්‍යයන්ට පුහුණු කර විය යුතු ය. තමන්ගේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් අනුන්ට යහපත සිදුකර දිය යුතු ය. තමන් දැන තිබෙන ධර්මයෙන් අන්‍යයන්ට ද මඟ පෙන්විය යුතු ය. ඒ ධර්ම අන්‍යයන්ට ද උගැන්විය යුතු ය. ධ්‍යානාභිඥාවන් හා විදර්ශනා ඥානයන් අන්‍යයන්ට ද ඇති කර දිය යුතු ය. ප්රත්යෙක බෝධි සත්ත්ව ශ්‍රාවක බෝධිසත්ත්ව වරයන්ට ද තමන්ගේ ඥානයෙන් ලොවට යහපත සිදු කිරීමට වටනේ ය.