සත්ත්වයෝ ඇසින් ලෝකයේ ඇති වස්තූන් හා සත්ත්වයන් දකිති. කනින් ශබ්දයන් අසති. ඒ දැකීම් ඇසීම් දෙක ද දැනීම් දෙකකි. නාසයෙන් ගන්ධයන් දැන ගනිති. දිවෙන් රස දැන ගනිති. කයින් ශීතෝෂ්ණාදී ස්ප්‍රෂ්ටව්‍යයන් දැන ගනිති. සාගින්න - පිපාසාව - රිදුම - සනීපය දැන ගනිති. වරක් දුටු දෙයක් නැවත දුටු කල්හි එය කලින් දුටු දෙය බව දැන ගනිති. වරක් දුටු දෙයකට සමාන දෙයක් පසුව දුටු කල්හි එය කලින් දුටු දෙයට සමාන දෙයක් බව - ඒ ජාතියේ දෙයක් බව දැන ගනිති.
වචන අසා අර්ථ දැන ගනිති. වස්තූන් දුටු කල්හි ඒවාට කියන නම් දැන ගනිති. වතුරෙන් තෙත් වනු වරක් දුටු කල්හි වතුර තෙත් කරන දෙයක් බව දැන ගනිති. ගින්නෙන් දැවෙනු වරක් දුටු කල්හි ගින්න දැවෙන දෙයක් බව දැන ගනිති. සතුරන් මිතුරන් දැන ගනිති. නෑයන් නො නෑයන් දැන ගනිති. බෙහෙත් දැන ගනිති. ආහාර දැන ගනිති. මනුෂ්‍යයන්ට පමණක් නොව තිරිසනුන්ටත් ඇත්තා වූ මෙ වැනි දැනීම් වලට වඩා උසස් වූ දැනුමක් ද ඇත්තේ ය. "ප්‍රඥාවය" කියනුයේ ඒ දැනුම ය.
මෙය පින ය, මෙය පව ය, මෙය හොඳ ය, මෙය නරක ය, මොහු ගරු කළ යුත්තා ය, මොහු ගරු නො කළ යුත්තා ය, මේ හේතුවෙන් මෙබඳු ඵලයක් ඇති වේ ය, මෙය ඇති වූයේ - සිදු වූයේ අසවල් හේතුවෙන් ය යි දැන ගන්නේ ඒ ප්‍රඥාවෙනි. ස්කන්ධ ආයතන - ධාතු - සත්‍යාදි ගැඹුරු ධර්ම දැන ගන්නේ ද ඒ ප්‍රඥාවෙනි. දහම් පොත්වල නොයෙක් තැන්වල ඤාණ - පඤ්ඤා - විජ්ජා - සම්මාදිට්ඨි යනාදි නොයෙක් නම් වලින් ඒ ප්‍රඥාව දක්වා ඇත්තේ ය.
ලෝකයේ ඇති සියල්ලට ම වඩා උතුම් දෙය ප්‍රඥාව ය. ලෞකික වූ ද, ලෝකෝත්තර වූ ද සකලාර්ථයන් ම ප්‍රඥාවෙන් සිදු කර ගත හැකි ය. ඒ උතුම් ප්‍රඥාව මනුෂ්‍යයෝ නොයෙක් අදහස් වලින් සොයති. සම්බෝධිය ද ලෝකෝත්තර ප්‍රඥාව ම ය. ලෝකෝත්තර ප්‍රඥාව වූ ඒ සම්බෝධිය ලැබීම පිණිස, එයට පැමිණෙනු පිණිස ශිල්ප ශාස්ත්‍ර උගෙනීමත්, බුද්ධ ධර්මය උගෙනීමත්, ඥානය ලබනු පිණිස පණ්ඩිතයන් ඇසුරු කිරීමත්, පණ්ඩිතයන්ගෙන් නොදන්නා දේ විමසීමත්, පණ්ඩිතයන් හා සාකච්ඡා කිරීමත්, ප්‍රඥාව ලබනු පිණිස හා ලැබූ ප්‍රඥාව දියුණු තියුණු කර ගැනීම පිණිස භාවනාවෙහි යෙදීමත්, ලබා ගත් ප්‍රඥාවෙන් සම්බුද්ධ ශාසනයාගේ චිරස්ථිතිය පිණිස හා ලොවට වැඩ පිණිස ධර්මය උගැන්වීමත්, ධර්ම දේශනයත්, ධර්ම ග්‍රන්ථ සම්පාදනයත්, තවත් ක්‍රම වලින් ප්‍රඥා බලයෙන් ලොවට යහපත සිදු කිරීමත්, සේනක පණ්ඩිතයන් තමන්ගේ ප්‍රඥා බලයෙන් පසුම්බිය තුළ සිටි සර්පයා දක්වා බ්‍රාහ්මණයා දුකින් මිදෙව්වාක් මෙන් ප්‍රඥා බලයෙන් දුකට පත් වූවන්ට පිහිට වීමත් ප්‍රඥා පාරමිතාව ය.
"කරුණුපාය කොසල්ල පරිග්ගහිතො ධම්මානං සාමඤ්ඤ විසෙසලක්ඛණාවබොධො පඤ්ඤා පාරමිතා" යි චරියා පිටක අටුවාවෙහි කරුණාවෙන් හා උපාය කෞශල්‍යයෙන් ආරක්ෂා කරන ලද ධර්මයන්ගේ සාමාන්‍ය විශේෂ ලක්ෂණාවබෝධය - ප්‍රඥා පාරමිතාව යයි මහා බෝධි පාරමිතාව දක්වා තිබේ. එහි අදහස් කරන ධර්මයෝ නම් චිත්ත - ස්පර්ශ - වේදනාදී පරමාර්ථ ධර්මයෝ ය. ධර්මයන්ගේ සාමාන්‍ය ලක්ෂණ නම් වෙනසක් නැතිව සියල්ලෙහි ම ඇති අනිත්‍ය - දුක්ඛ - අනාත්ම යන ලක්ෂණ තුන ය.
විශේෂ ලක්ෂණ නම් ඒ ධර්මයන් ගෙන් එක එකට ම, වෙන වෙන ම ඇත්තා වූ, එකින් එකට වෙනස් වූ ලක්ෂණයෝ ය. ධර්මයන් ගේ සාමාන්‍ය ලක්ෂණ හා විශේෂ ලක්ෂණ දන්නා වූ ඥානය විදර්ශනා ඥානය ය. අනේක ප්‍රකාර ඥානයන් අතුරෙන් සම්බෝධියට ඉතාම ළඟින් උපකාර වන්නා වූ ද, අතිශයින් උපකාර වන්නා වූ ද දෙය විදර්ශනා ඥානය ය. මහ බෝසතාණන් වහන්සේ බුදුවන දින රාත්‍රියෙහි බෝරුක් මුල වැඩ හිඳ කෙළේ ද විදර්ශනා වැඩීමය. සම්‍යක් සම්බෝධියට පැමිණියේ ඒ විදර්ශනා ඥානයේ බලයෙනි. චරියා පිටක අටුවාවෙහි ප්‍රඥා පාරමිතාව වශයෙන් විදර්ශනා ඥානය පමණක් දක්වා තිබෙන්නේ ප්‍රධාන ධර්මය දැක්වීම් වශයෙනි.
"පඤ්ඤාය විචිනන්තොහං බ්‍රාහ්මණං මොචයිං දුඛා
පඤ්ඤාය මෙ සමො නත්ථි එසා මෙ පඤ්ඤා පාරමී"
යනුවෙන් පසුම්බියෙහි සිටි සර්පයා නුවණින් දැක පෙන්නා දී බ්‍රහ්මණයා දුකින් මිදවීම ප්‍රඥා පාරමිතාව බව දක්වා තිබීමෙන් විදර්ශනා ඥානයෙන් අන්‍ය ඥානයන් ද ප්‍රඥා පාරමිතාවට ඇතුළු වන බව දත හැකි ය. චරියා පිටක අටුවාවෙහි මත් අන් තැන්වලත් විදර්ශනා ඥානයෙන් අන්‍ය ප්‍රඥාවන් ද ප්‍රඥා පාරමිතාව වශයෙන් කියා තිබේ.
සිදු කිරීම දුෂ්කර වූ ප්‍රාණඝාත අදත්තාදාන කාම මිථ්‍යාචාරයන් සිදු කිරීමටත්, ඉන් පසු ඒවායින් බේරීමටත්, යුද්ධ කිරීමටත්, වඤ්චා කිරීමටත්, සියුම් දැනුමක් වුවමනා ය. ප්‍රාණඝාතාදි ක්‍රියා අකුශලයෝ ය. කෙසේ උපා යොදා කළත් ඒවා සිදු කිරීමට මෝහය වුවමනාම ය. සැම අකුශල් සිතක් ම මෝහ සහගත ය. මෝහය ප්‍රඥාවට විරුද්ධ ධර්මයකි. ඒ මෝහ - ප්‍රඥා දෙක කිසි කලක එක් නොවේ. එක් සිතක නො යෙදේ. එබැවින් අකුශල විෂයෙහි උපාය දැනීම ප්‍රඥාව නො වන බව දත යුතුය.
අකුශල ක්‍රියා විශයෙහි පවත්නා දැනීමත් ලෝකයා සලකන්නේ නුවණ හෙවත් ප්‍රඥාව ලෙස ය. "සොරාට බ්‍රහස්පතීටත් වඩා නුවණ ඇතය" යන කථාව ඇති වී තිබෙන්නේ එබැවිනි. ලෝභ - දෘෂ්ටි - මෝහ - විතර්ක - විචාර යන චෛතසික පස හා සිත ද අකුශල පක්ෂයේ ප්‍රඥාව සේ පවත්නා බව පොත්වල උගන්වා තිබේ. පාප ක්‍රියා සිදු කිරීමේ දී උපා යෙදීම් වශයෙන් පවත්නේ ඒ ධර්මයන් ය. පව් කම් කරන්නවුන් විසින් නුවණ සැටියට සලකන්නේ ඒ ලෝභාදී ධර්මයන් ය.
මෝඩයන්ට තමන් ගේ හැම මෝඩකමක් ම වැටහෙන්නේ නුවණ සැටියට ය. සාමාන්‍ය ලෝකයාට තම තමන්ට ඇති වැරදි හැඟීම් සියල්ල පෙනෙන්නේ නුවණ සැටියට ය. කාහටත් නොයෙක් විට තම තමන්ගේ සන්තානවල ඇති වන මෝහාදී ධර්ම, ප්‍රඥාව හැටියට ම වැටහේ. එබැවින් සත්‍ය වූ ප්‍රඥාව කෝක ද යන බව නොයෙක් විට දැන ගැනීමට අපහසු වේ. ප්‍රඥා පාරමිතාව පුරන පින්වතා විසින් ප්‍රඥාව හැඳින ගැනීම ගැන ද සැලකිය යුතුය.
කුණ්ඩලකේශීගේ කථාව බොහෝ දෙනාට ප්‍රඥාව වරදවා තේරුම් ගැනීමට කරුණක් වී තිබේ. කුණ්ඩලකේශී ගේ ආභරණ ටික පැහැර ගෙන පර්වතයෙන් පහළට පෙරළා දමා ඇය මරන්නට තැත් කළ සොරා රවටා, ඈ සොරා පර්වතයෙන් පහළට පෙරලා මරා දැම්මාය. ඒ ක්‍රියාව බලා සිටි දෙවියා -
"නසො සබ්බෙසු ඨානෙසු පුරිසො හොති පණ්ඩිතො
ඉත්ථි පි පණ්ඩිතෝ හොති තත්ථ තත්ථ විචක්ඛණා" යි
කුණ්ඩලකේශී ගේ ක්‍රියාව වර්ණනා කෙළේය. ඇය මුලින් කළ වැඳීම හා පුරුෂයා වැළඳ ගැනීමත් මායාව ය. මායා - සාඨෙය්‍ය යන මේවා බුද්ධාගමයේ පව් ලැයිස්තුවට අයත් ඒවා ය. දෙවියා විසින් නුවණ හැටියට සිතුව ද, ඒවාත් මෝහ සහගත ක්‍රියා ම ය. පර්වතයෙන් පෙරළීම ද්වේෂ සහගත සිතින් කරන ලද්දකි. එහි ද මෝහය ඇත්තේ ය. ඒ අවස්ථාවේ දී කුණ්ඩලකේශීට ප්‍රඥාව ඇති වුණා නම්, ඒ පව් කම් එකකුත් ඇය අතින් නො කෙරෙන්නේ ය. ඒ සියල්ල ම සිදු වූයේ ඒ අවස්ථාවේ දී ඇගේ සන්තානයෙහි පාපයේ ආදීනවය මුවහ කරන මෝහය ඥාන රූපයෙන් සිටීමෙනි. මේවා බලා සිටි දේවතාවා ඇයට ස්තුති කෙළේ ද ඔහු සැබෑ ප්‍රඥාව නාඳුනන බැවිනි.
“යෙන කෙනචි වණ්ණෙන මුදුතා දාරුණෙන වා
උද්ධරෙ දීනමත්තානං පච්ඡා ධම්මං සමාචරෙ” යි
පැරණි උපදෙසක් ඇත්තේ ය. දේවතාවාගේ ප්‍රශංසාව එයට අනුව කරන ලද්දක් විය හැකි ය. එය බුද්ධාගමට ගැලපෙන උපදේශයක් නො වේ. උම්මග්ග ජාතකයෙහි, එය “ක්ෂත්‍රීය මායාවකැ”යි කියා තිබේ. මනුෂ්‍යයන් බොහෝ සෙයින් පව් කම් කරන්නේ තමන්ගේ අමාරුකම් පිරිමසා ගැනීමට ය. අමාරුවට පත් වූ කල්හි එයින් මිදීමට පව් කම් නො කිරීම ම ධර්ම චර්‍ය්‍යාවය.
වුවමනාවක් නැති අවස්ථාවක දී කව්රුත් පව් කම් නො කරති. වුවමනා නැති කමට පව් නො කිරීම ධර්ම චර්‍ය්‍යාවක් නො වේ. ධර්ම චර්‍ය්‍යාව නම් පව් කම් කරන්නට වුවමනාව තිබිය දී නො කර හැරිම ය. එබැවින් අමාරුවට පත් වූ අවස්ථාවේ එයින් ගොඩ නැඟීමට පව් කම් කොට, පසුව ධර්මයෙහි හැසිරීමට තැනක් නැත්තේ ය. ධර්මයෙහි හැසිරීමට ඇත්තා වූ ප්‍රධාන ස්ථානය අමාරුවට පත්ව සිටින අවස්ථාව ය. එබැවින් ඉහත කී උපදේශය මායාවක් මිස ධර්මයක් නො වන බව දත යුතුය. ඒ අනුව ක්‍රියා කිරීම මෝඩ කමක් මිස නුවණක්කාර කමක් නොවන බව ද දත යුතු ය.
දැන ගන්නා දෙය “නො වරදවා ඇති සැටියට ම දැනීමත් හැම පැත්තෙන් ම දැනීමත්, ඇතුළ පිට දෙක ම දැන ගැනීම ත්, ඉදිකටු තුඩ සේ ඉතා සියුම් තැනටත් පැමිණ, ඉතා සියුම් දෙය දැන ගැනීමත් ප්‍රඥාවේ ලක්ෂණය යි.