සංසාරයේ මුල

මේ ප්‍ර‍තීත්‍යසමුත්පාද දේශනය සංසාරයේ මුල දක්වන දේශනාවක් නොව සංසාරය පවත්නා සැටි දක්වන දේශනයකි. චක්‍ර‍ මාර්ගයක ගමන් කරන කෙනකුට පසු කළ මාර්ගය ම නැවත නැවත ඉදිරියට එන බැවින් මාර්ගය නැති වී අවසන් වී කවදාවත් ගමන කෙළවර නො වන්නේ ය. එමෙන් ප්‍ර‍තීත්‍යසමුත්පාදයට අයත් ද්වාදශාංගයන් අතුරෙන් පසු පසු වූ අංග නැවත නැවත ඉදිරියට එන බැවින් ඒවා උපායෙන් නැතිකර නො ගත හොත් සංසාර චක්‍ර‍යාගේ පැවැත්ම කවදාවත් කෙළවර නො වේ.

මේ සංසාර චක්‍රයේ අනාගත කෙළවරක් නැතුවාක් මෙන් ම අතීත කෙළවරක් හෙවත් මුල පටන් ගැනීමක් ද නැත්තේ ය. බොහෝ දෙනා “යමක් ඇති නම් එහි පටන් ගැනීමකුත් තිබිය යුතු ය. පටන් ගැනීමක් නැති දෙයක් තිබිය නො හැකිය” යන මතය දැඩි කොට ගෙන ලෝකයේත් සත්ත්වයාගේත් පටන් ගැනීම සොයන්නට උත්සාහ කෙරෙති. පටන් ගැනීමේ මුල් හේතුවක් සොයන්නා වූ ඔවුහු එයට සෑහෙන කරුණක් නො දැක දෙවි කෙනකු ඇද ගනිති. දෙවි කෙනකු ඇදගන්නා ඔවුන්ට, පොළවට විරුද්ධ වී පොළොවෙන් ඉවත්වීම පිණිස උඩ පනින්නා වූ සාවා නැවත නැවතත් පොළොවට ම වැටෙන්නාක් මෙන් කලින් ප්‍ර‍තික්ෂේප කළ පටන් ගැනීමක් නැති දෙයක් නො තිබිය හැකිය යන නීතිය දෙවියා සම්බන්ධයෙන් පිළිගන්නට සිදු වේ. දෙවියා සම්බන්ධයෙන් එය නො පිළිගන්නවා නම් ඔවුනට තවත් දෙවියකු ඇද ගන්නට සිදු වේ. කොතෙක් දෙවිවරුන් ඇද ගත්තත් අන්තිමට ඔවුනට සිදු වන්නේ පටන් ගැනීමක් නැතිව ඇති බව පිළිගැනීමට ය.

“යමක් ඇති නම් එහි පටන් ගැන්මකුත් තිබිය යුතුය” යන නීතිය සෑම තැනකට ම ගැලපෙන්නේ නො වේ. ආකාශය ඇත, එහෙත් මෙයින් පෙර මේ ආකාශය තුබුණේ නැත, ආකාශය තිබෙන්නේ අසවල් කාලයේ පටන් ය කියා අහසේ මුල් පටන් ගැනීමක් නො දැක්විය හැකි ය. අහස සෑම කල්හි ම ඇතියකි. සෑම කල්හි ම ඇති දෙයෙහි පටන් ගැනීමක් නැත. කාලයත් ආකාශය සේම පටන් ගැනීමක් නැතිව ඇතියකි. සංසාරය ද පටන් ගැනීමක් නැතිව ඇතියකි. එබැවින් තථාගතයන් වහන්සේ “පුරිමා භික්ඛවේ! නපඤ්ඤායති කෝටි අවිජ්ජාය ඉතෝ පුබ්බේ අවිජ්ජා නාහෝසි අථ පච්ඡා සම්භවීති. අථ ච පන පඤ්ඤායති ඉදප්පච්චයා අවිජ්ජාති” යනු වදාළ සේක. මහණෙනි! පෙර අවිද්‍යාව නො තුබුණේ ය. පසුව අවිද්‍යාව ඇති වූයේ ය කියා අවිද්‍යාව ගේ මුල් කොණක් නො පෙනේ ය. එහෙත් මේ ප්‍ර‍ත්‍යයෙන් අවිද්‍යාව ඇති වේය කියා පෙනේය” යනු එහි තේරුම ය. තව ද “අනමතග්ගෝයං භික්ඛවේ! සංසාරෝ පුබ්බාකෝටි න පඤ්ඤායති” යි ද වදාළ සේක. “මහණෙනි! මේ සංසාරය නො දන්නා ලද අග ඇතියක. එහි පෙර කොණ නො පෙනේ ය” යනු එහි තේරුම ය.

ඉහත දැක්වූ අවිද්‍යාවගේ පූර්ව කෝටිය නැතය යන බුද්ධවචනය බලා සංස්කාරාදිය නැතුව අවිද්‍යාව පමණක් තුබුණු කාලයක් විය. සංස්කාරාදිය පසු කලෙක ඇතිවීය යි නො ගත යුතුය. අන් කිසිවක් නැතිව අවිද්‍යාවට පමණක් තිබිය හැකි බවක් නැත. අවිද්‍යාව තිබෙන්නට නම් සංස්කාරාදියත් තිබිය යුතු ය. එබැවින් අවිද්‍යාව තුබූ සැම කාලයේ ම අවිද්‍යාදිය නිසා ඇති වන සංස්කාරාදියත් පැවතුණු බව පිළිගත යුතු ය.

බුදුරජාණන් වහන්සේ විසින් “පුබ්බා කෝටි නත්ථි, පූර්ව කෝටිය නැතය” යි කෙලින්ම කාරණය නො වදාරා “පුබ්බා කෝටි න පඤ්ඤායති. පූර්ව කෝටිය නො පෙනේය” යි වදාරා තිබෙන්නේ “සංසාරයෙහි ඇත්තා වූ පටන් ගැනීම උන් වහන්සේට නො පෙනෙන නිසාදෝ” යි ඇතැම්හු සැක කෙරෙති. බුදුන් වහන්සේ විසින් “පුබ්බා කෝටි න පඤ්ඤායති” යි වදාරා තිබෙන්නේ උන් වහන්සේට සංසාරයේ පූර්ව කෝටිය නො පෙනීම නිසා නොව එහි පූර්ව කෝටියක් නැති නිසා ය. පෙනීමය දැකීමය යන අර්ථ ඇති වචන, ඇති-නැති බව දැක්වීමට යෙදීම පාළි භාෂාවේ සැටියකි. ඒ බව මතු දැක්වෙන වගන්ති අනුව සිතා බැලුවාම තේරුම් ගත හැකි වනු ඇත.

“තීණිමානි භික්ඛවෙ! සංඛතස්ස සංඛතලක්ඛණානි. කතමාණි තීණි? උප්පාදො පඤ්ඤායති වයෝ පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති; ඉමානි ඛො භික්ඛවෙ! තීණි සංඛතස්ස සංඛතලක්ඛණානි.”

“මහණෙනි! මේ තුන ප්‍ර‍ත්‍යයෙන් හටගත් ධර්මයාගේ ප්‍ර‍ත්‍යයෙන් හටගත් බැව්හි ලකුණු ය. කවර තුනක් ද යත්? ඉපදීමක් පෙනේය, විනාශයක් පෙනේ ය, පැවැත්මෙහි අන් අයුරකට පැමිණීමක් හෙවත් ජරාවක් පෙනේය, මහණෙනි! මේ තුන ප්‍ර‍ත්‍යයෙන් හටගත් ධර්මයාගේ ප්‍ර‍ත්‍යයෙන් හටගත් බැව්හි ලකුණු ය” යනු එහි තේරුම ය, එහි පඤ්ඤායති යන වචනයෙන් දක්වන නියම තේරුම නම්, ඇති බවය. ඒ සූත්‍රයෙන් දක්වන්නේ ඉපදීම ඇති බවය. බිඳීම ඇති බවය, ජරාව ඇති බවය යන මේ තුන ප්‍ර‍ත්‍යයෙන් හට ගත් ධර්මයාගේ ලකුණු බවය.

“තීණිමාණි භික්ඛවෙ! අසංඛතස්ස අසංඛතලක්ඛණානි, කතමානි තීණි? උප්පාදො න පඤ්ඤායති, වයො න පඤ්ඤායති ඨිතස්ස අඤ්ඤථත්තං න පඤ්ඤායති, ඉමානි ඛෝ භික්ඛවෙ! තීණි අසංඛතස්ස අසංඛතලක්ඛණානි.”

මේ සූත්‍රයෙන් දක්වන්නේ ඉපදීමක් නැති බවය, බිඳීමක් නැති බවය, ජරාවක් නැති බවය යන මේ කරුණු තුන අසංස්කෘත ධර්මයාගේ ලකුණු බවය. න පඤ්ඤායති යන වචනය එහි යොදා තිබෙන්නේ නැති බව දැක්වීමට ය.

“ඉමස්සා ච මහා පඨවියා සිනේරුස්ස ච පබ්බතරාජස්ස ඣායමානානං ඩය්හමානානං නෙව ඡාරිකා පඤ්ඤායති න මසී.”

පඤ්ඤායති. යන වචනය යෙදී ඇති මේ සූත්‍ර‍ පාඨයේ අදහස මහා පෘථිවියත් මහාමේරුපර්වත රාජයාත් දන කල්හි අළු හා දැලි නැතය යනුයි. පුබ්බා කෝටි න පඤ්ඤායති යන පාඨය නෙත්තිප්‍ර‍කරණ අටුවාවෙහි වර්ණනා කර තිබෙන්නේ මෙසේ ය:-

“පුබ්බාකෝටි න පඤ්ඤායති, ති අසුකස්ස නාම බුද්ධස්ස භගවතෝ අසුකස්ස වා චක්කවත්තිනෝ කාලෙ අවිජ්ජා භවතණ්හා ච උප්පන්නා. තතෝ පුබ්බේ නාහොසීති. ඒවං අවිජ්ජා භවතණ්හානානං න කාචි පුරිමා මරියාදා උපලබ්භති.”

“පුබ්බා කෝටි න පඤ්ඤායති යනු අසවල් බුදුන්ගේ හෝ අසවල් චක්‍ර‍වර්ති රජු ගේ හෝ කාලයෙහි අවිද්‍යාවත් භවතණ්හාවත් උපන්නාහු ය. එයින් පෙර ඒවා නො වීය කියා අවිද්‍යා භවතෘෂ්ණාවන් ගේ යම්කිසි පූර්ව කාල පරිච්ඡේදයක් නො ලැබේය” යනු එහි තේරුම ය. අටුවාවෙහි ඒ පාඨය මෙසේ වර්ණනා කරන ලදුයේ “න පඤ්ඤායති” යන්නෙන් දැක්වෙන “අදහස” නැති බව නිසා ය.