අභිධර්මය මෙනෙහි කිරීමෙන් තථාගතයන් වහන්සේ ගේ ශ්‍රී දේහයෙන් සවණක් රැස් විහිදීම ආරම්භ වූ සැටි දම්සඟුණු අටුවාවෙහි මෙසේ දක්වා ඇත්තේ ය. අප මහාබෝධිසත්ත්වයන් වහන්සේ ඒ වෙසක් පුණුපොහෝ දිනයෙහි මහාබෝධි මූලයේ වජ්‍රාසනයෙහි වැඩ හිඳ රාත්‍රියේ පශ්චිම යාමයේ එක්දහස් පන්සීයක් කෙලෙසුන් නසා සර්වඥත්වයට පැමිණ ඒ ප්‍රීතියෙන් තමන්වහන්සේ විසින් ප්‍රතිවේධ කළ ධර්‍මයන් සිහි කරමින් ඒ පළඟ නො බිඳ එහි ම සතියක් වැඩහුන් සේක. ඉක්බිති ඒ පර්‍ය්‍යංකයෙන් නැඟී බෝධිය සමීපයේ අන් තැනක මා මේ අසුනෙහි හිඳ සර්වඥත්වයට පැමිණියෙමි යි ඒ දෙස ඇසිපිය නො හෙළා බලමින් සතියක් හුන්සේක. උන්වහන්සේ පර්‍ය්‍යංකය දෙස බලා සිටිනු දුටු ඇතැම් දෙවියෝ සිද්ධාර්ථ කුමාරයන් මේ පර්‍ය්‍යංකයේ ආලය නො හැර තවමත් බලා සිටින්නේ උන්වහන්සේ ගේ වැඩ තවම නො නිම වී තවත් ඉදිරියට කළයුතු දෑ ඇති නිසා ය යි සිතූහ. ඒ දෙවියන් ගේ සැකය දුරලනු පිණිස අහසට නැඟී යමාමහපෙළහර දක්වා ඔවුන් ගේ සැක දුටු කොට බෝධිපර්‍ය්‍යංකයටත් සිටි තැනටත් අතරට අහසින් බැස සක්මන් කළ සේක. බුදු වී විසි එක් දිනක් ගතවිය. එතෙක් උන්වහන්සේ ගේ දේහයෙන් රශ්මියක් නො නික්මිණි. උන්වහන්සේ බුදුවීමෙන් සතරවන සතියෙහි ශ්‍රී මහා බෝධියෙන් වයඹදිග රුවන්ගෙයි වැඩ හිඳ බෝධිමූලයේ දී ලද සර්වඥතාඥානය මෙහෙයා අභිධර්මය මෙනෙහි කරන්නට වූහ. අභිධර්මය මෙනෙහි කළා වූ තථාගතයන් වහන්සේ අනන්ත නය සමන්වාගත පට්ඨාන මහාප්‍රකරණය මෙනෙහි කරන්නට වන් කල්හි ඉතා තියුණු වූ ද, ශක්තිමත් වූ ද, වේගවත් වූ ද, සර්වඥතාඥානය රිසි සේ හසුරුවන්නට අවකාශ ලැබිණ. ධම්මසංගණී ආදි අභිධර්ම ප්‍රකරණ සර්වඥතාඥානය රිසි සේ හසුරුවන්නට ප්‍රමාණවත් නො වීය. සර්වඥතාඥානය රිසි සේ හසුරුවන්නට පට්ඨානප්‍රකරණයෙහි දී අවකාශ ලැබීමෙන් තථාගතයන් වහන්සේ ගේ සිත අතිශයින් ප්‍රීතිමත් විය. පෙර කිසිකලෙක නො ලැබූ තරමේ ප්‍රීතියක් උන්වහන්සේට ඇතිවිය. ඒ ප්‍රීතියේ බලයෙන් උන්වහන්සේ ගේ ශරීරයත් අතිශයින් දීප්තිමත් විය. දීප්තිමත් වූ බුද්ධ දේහයෙන් ඒ ඒ තැන්වලින් නීල පීත ලෝහිත ඕදාත මාඤ්ජේෂ්ඨ ප්‍රභාෂ්වර යන ෂට්වර්ණ රශ්මීන් විහිදෙන්නට විය. බුදුරැස් විහිදීම ආරම්භ වූයේ අභිධර්මය නිසා ය. බුද්ධ දේහයෙන් රැස් විහිදෙන බව සැමදෙන ම පිළිගන්නා කරුණකි. බුදුපිළිමවලට රැස්වළල්ලක් තනන්නේ ඒ නිසා ය. අභිධර්මපිටකය බුද්ධදේශනයක් නො වේය කියා එය අවලංගු කරන්නෝ බුද්ධචරිතයේ ඉතා වැදගත් කොටසක් වන සතරවන සතිය පිළිබඳ වූ බුද්ධචරිතය අවලංගු කරන්නෝ ය. එය ඉමහත් පාපයෙකි. පට්ඨානපකරණය මෙනෙහි කිරීමෙන් බුදුරැස් විහිදීම ආරම්භ වූ බව අභිධර්ම අටුවාවෙහි පමණක් නොව සූත්‍රපිටකයේ මජ්ඣිම නිකායේ පාසරාසි සූත්‍ර අටුවාවෙහි ද විස්තර කර ඇත්තේ ය.
මෙහි දක්වා ඇත්තේ අන්තරාභවය පිළිබඳව කාහටත් පහසුවෙන් තේරුම් ගත හැකි කරුණු ස්වල්පයකි. මේ පිළිබඳ ගැඹුරු කරුණු කිසිවක් මෙයට ඇතුළත් නො කළ බව ද සැලකිය යුතු ය.