සංසාරයෙහි සත්ත්වයන් නැවත නැවත මැරෙමන් උපදිමින් ගමන් කරන්නා වූ ක්‍රමය දක්වන බුද්ධ දේශනාව පටිච්චසමුප්පාද නම් වේ. එය බුදු දහමෙහි ඉතා උසස් තැනක් ගන්නා වූ ධර්මයකි. තථාගතයන් වහන්සේ ලොවුතුරා බුදුබව ලැබූ දින රාත්‍රියේ පශ්චිම යාමයෙහි මේ පටිච්චසමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළ බවත්, පසුදින රාත්‍රියේ තුන්යාමයේදී ම එය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කර උදන් ඇනූ බවත් දහම් පොත්වල දක්වා ඇත්තේ ය. බුදුවීමෙන් පසුත් එය අනේකාකාරයෙන් දේශිත සූත්‍ර බොහෝ ගණනක් සංයුත්ත නිකායේ නිදානවග්ගයෙහි එන්නේ ය. දීඝ නිකාය මජ්ඣිම නිකාය දෙක්හි ද, විනය පිටකයේ මහාවග්ගපාලියෙහි ද, අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ ද අනේකාකාරයෙන් දේශිය බොහෝ පටිච්චසමුප්පාද ඇත්තේ ය. පටිච්චසමුප්පාදය බුදු දහමෙහි උසස් තැනක් ගන්නා ධර්මයකැ යි කියන ලදුයේ එහෙයිනි.
ඒ පටිච්චසමුප්පාද දේශනයන්හි සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං ය යි ද භවපච්චයා ජාති ය යි ද දෙතැනක සත්ත්වයා ගේ ප්රතිසන්ධිය හෙවත් නැවත භවයෙහි උත්පත්තිය දක්ව ඇත්තේ ය. ඒ කිසිම පටිච්චසමුප්පාද දේශනයක අන්තරා භවයක් සඳහන් නො වේ. ඒ දේශනයන්හි දැක්වෙන්නේ මළහු ගේ සිරුර තුළින් යම්කිසිවක් ගොස් අන් තැනක පිළිසිඳ ගන්නා බවක් නොව, අතීත භවයේ කළ කර්මය හේතුකොට පසු භවයේ ප්රතිසන්ධි විඤ්ඤාණය ඇතිවන බව ය. මරණින් පසු මළහු ගේ ශරීරයෙන් අමුතු ශරීරයක් පිටවී එය අහසේ පාවෙමින් තිබී යම්කිසි දිනක මවුකුසයට පිවිසීමෙන් උත්පත්තිය සිදුවන බවක් කීම තථාගතයන් වහන්සේ ගේ පටිච්චසමුප්පාද ධර්මය අවුල් කිරීමකි. අවලංගු කිරීමකි.
අහසේ පාවෙනවාය කියන ඒ ශරීරය අපේ ඇස්වලින් දැකිය නොහෙන, අත් පා ඇති සියලු ඉන්ද්රියයන් ඇති සියුම් මනෝමයකයකැ යි කියති. එයට අන්තරාභවය ය යි කියති. මැරෙන්නහු ගේ ශරීරයේ තිබී ඉන් බැහැරව කලක් අහසේ පාවී මවු ගැබකට පිවිසෙනවාය කියන ඒ මනෝමය කයට අන්තරාභවය ය යි කීම සුදුසු නැත. එබඳු භවයක් ඇති නම් එයට කිය යුත්තේ සදාකාලික භවය කියා ය. මළ අයගේ ශරීරයෙන් බැහැර වූ අහසේ පාවෙන මනෝමය කයක් ඇති නම් දෙව්ලොව බොහේ දුර බැවින් එහි යාමට දිගු කලක් ගතවිය හැකි ය. සමහර විට මංමුළා වුවහොත් එහි යා නොහැකි වී අතරමං විය හැකි ය. පාවී යාමට අහස්මගක් නැති බැවින් පව් කළ සත්ත්වයන් අපායට ගෙන යාමට කර්මයට බැරිවිය හැකි ය. අපායට පාවන්නේ පා කරවා ගෙන හෝ යන්නේ කෙසේ දැයි සිතා බැලිය යුතු ය.
රූපාරූප ධර්මයන්ගේ තතු හරියට තේරුම් ගැනීමට අසමත් වූ බොහෝ ශාස්තෘවරයෝ සත්ත්වයන් තුළ ජාතියෙන් ජාතියට යන ස්ථිර වූ යම්කිසිවක් ඇත ය යි සිතූහ. ඔවුහු එයට ආත්ම යන නම ව්‍යවහාර කළහ. නොයෙක් ආගම්වල උගන්වන්නේ ඒ ආත්මය මරණින් පසු අන් සිරුරකට පැමිණේය කියා ය. එය එක්තරා මිථ්‍යා දෘෂ්ටියකි. භවයෙන් භවයට යන අන්තරා භවයක් ඇත ය යි පිළිගන්නවුන්ට ඇත්තේ ද ඒ දෘෂ්ටියම ය. බුද්ධධර්මය අනාත්ම වාදයක් බැවින් බුදුසසුනෙහි පැවිදි වී සිටගෙන ආත්මයක් ඇත යයි කීමට ඇති බිය නිසා භවයෙන් භවයට යන්නේ ය යි සලකන දෙයට අන්තරාභවය කියා හෝ විඤ්ඤාණ කයය කියා හෝ කියති.
අන්තරාභවයක්, භවයෙන් භවයට යන මනෝමය කයක් ඇත ය යි කියන පින්වතුන්ට එය ඔප්පු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට ඒ කාරණය පැහැදිලි ලෙස දක්වා ඇති බව දේශිත සූත්‍රයක් නැත. ඒ පින්වතුන් ඒ කාරණය තථාගතයන් වහන්සේ විසින් පිළිගන්නා ලද්දක් බව ඔප්පු කරන්නට තැත් කරන්නේ සූත්‍රවල දැක්වෙන ඇතැම් වචන හා ඇතැම් සුළු කොටස් ඉදිරිපත් කර ඒවා තමන්ගේ අදහසේ හැටියට තමන්ගේ වාසියේ හැටියට තේරුම් කරමිනි.
ලෝකයේ දුකින් පෙළෙන අසරණ සත්ත්වයන් කෙරෙහි කරුණාව ඇත්තා වූ වීර්‍ය්‍යවත් වූ උත්තම පුරුෂයන් කල්ප ගණන් බොහෝ දුක් විඳ ලොවුතුරා බුදුබව ලබා ගන්නේ මුළා වී සිටින සත්ත්වයනට දහම් දෙසීම පිණිස ය. තමන් වහන්සේලා ගේ ධර්මය අන්‍යයන්ට පහසුවෙන් තේරුම් නො ගත හැකිවන පරිදි ගැටළු තබා උන්වහන්සේලා දහම් නො දෙසන සේක. ඇතැම් සාස්තෘවරයන් ඇතැම් ආචාර්‍ය්‍යවරයන් මෙන් තමාගේ ධර්මය, ශාස්ත්‍රය සම්පූර්ණයෙන් අන්‍යයන්ට ප්‍රකාශ කළහොත් තමන්ගේ තත්ත්වය පහත් වේය යන බියෙන් ගුරුමුෂ්ටිය වශයෙන් යමක් ඉතිරි කර ගෙන දහම් දෙසීමක් බුදුවරයන්ගේ නැත. ඒ බව,
“දෙසිතො ආනන්ද මයා ධම්මො අනන්තරං අබාහිරං කත්වා,
නත්ථානන්ද තථාගතස්ස ධම්මේසු ආචරියමුට්ඨි”
යනුවෙන් මහාපරිනිර්වාණ සූත්‍රයෙහි වදාරා ඇත්තේ ය. මහජනයා විසින් අවශ්‍යයෙන් දතයුතු එකම කරුණ වුව ද තථාගතයන් වහන්සේ විසින් නොයෙක් සූත්‍රවල නොයෙක් ආකාරයෙන් පැහැදිලි කර දේශනය කර ඇත්තේ ය. සමහර කරුණු සිය ගණන් සූත්‍රවල දේශනය කර ඇත්තේ ය. මැරෙන සත්ත්වයන් කොහි හෝ නැවත උපදිනවා ද? නැත ද? උපදිතහොත් එය සිදු වන්නේ කෙසේ ද? යන මේ කරුණ සැම දෙනාම දැනගැනීමට කැමති කරුණකි. එබැවින් තථාගතයන් වහන්සේ අන් නොයෙක් කරුණු නොයෙක් සූත්රල නැවත නැවත දේශනය කර ඇතිවාක් මෙන් මැරෙන්නහු ගේ ශරීරයේ පැවැති විඤ්ඤාණය ඉන් පිට වී ගොස් අන් තැනක උපත ලබනවාය කියා හෝ සියුම් ශරීරයක් (උපාදාන ස්කන්ධයක්) පිටවී ගොස් කලක් අහසේ තිබී මවු ගැබකට පිවිසෙනවාය කියා හෝ දෙව්ලොවට අපායට යනවාය කියා හෝ කාහටත් තේරුම් ගතහැකි පරිදි වාද විවාද ඇති නො වන පරිදි දේශනය කරනවා ඇත. එබඳු දේශනයක් පිටකත්‍රයෙහි කොතැනකවත් සඳහන් වී නැත. ඒ කාරණයෙන් තථාගතයන් වහන්සේ ගන්ධබ්බයාය, අන්තරාභවිකයාය කියා කිසිවක් මැරෙනවුන් ගේ ශරීරවලින් පිටවී භවාන්තරයට යන බව නො පිළිගන්නා බව, දේශනා නො කරන බව දත යුතු ය.
මේ මිනිස් සිරුර තුළ භවයෙන් භවයට යන මනෝමය ආත්මභාවයක් ඇති බව පොට්ඨපාද සූත්‍රයේ වදාරා ඇති බවක් අන්තරාභව වාදීහු කියති. මනෝමය ආත්මභාවයක් ගැන පොට්ඨපාද සූත්‍රයේ වදාරා ඇති බව නම් සත්‍යයෙකි. එහි ආත්මභාව තුනක් වදාරා ඇත්තේ ය. එහි එය දක්වා ඇත්තේ බුද්ධමතය දැක්වීමක් වශයෙන් නොව ලෝකයේ ඇති ව්‍යවහාර දැක්වීමට ය. ඒ බව ඒ සූත්‍රයේ අග කොටසෙහි “ඉමා ඛො චිත්ත ලොකසමඤ්ඤා ලොකනිරුත්තියො ලොක වොහාරා ලොකපඤ්ඤත්තියො යාහි තථාගතො වොහරති අපරාමසන්ති” යයි දක්වා ඇත්තේ ය. කරන ලද පින් පව් අනුව මැරී සුගති දුර්ගතිවල උපන් අය පිළිබඳ බොහෝ කථා බෞද්ධ පොත්වල ඇත්තේ ය. ඒ එකම කථාවකවත් කලක් අන්තරා භවයේ රැඳී සිට කල් පසුවී යම්කිසි තැනක උපන් බව කියන කථාවක් ද නැත්තේ ය.
මැරෙන්නවුන් ගේ ශරීරවලින් ඒවායේ ඇති සියුම් ශරීරයක් හෝ විඤ්ඤාණය හෝ පිටවී භවාන්තරයට යන්නේය යන මේ කරුණ, නවීන පඬිවරුන් විසින් අලුතින් සොයා ගන්නා ලද්දක් නොව, පුනරුත්තපත්තිය පිළිගන්නා අය විසින් බුදුරදුන් ලෝ පහළ වන්නටත් පෙර සිට පටන් ම පිළිගෙන තිබූ කරුණකි. බුද්ධ කාලයේ විසූ සාති නම් භික්ෂුවක් ද ඒ ලබ්ධිය ඇති කර ගෙන විසූ බව මහාතණ්හක්ඛය සූත්‍රයෙහි සඳහන් වී ඇත්තේ ය. සාති භික්ෂුව ගැඹුරු ධර්ම නො දත් අල්පශ්‍රැත ජාතකභාණකයෙකි. බුදුරජාණන්වහන්සේ ජාතක දේශනා අවසානයන්හි එදා වෙස්සන්තර රජු නම් මමය, මහෞෂධ පණ්ඩිතයෝ නම් මමය, විධුර පණ්ඩිතයෝ නම් මමය යනාදීන් වදාරනු අසා ඒ අය බුදුන් වන්නට නම් ඔවුන් තුළ පැවති විඤ්ඤාණය බුද්ධ ශරීරයට පැමිණ තිබිය යුතුය යන මතය ඇති කර ගත්තේ ය. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර යන ස්කන්ධයෝ ඒ ඒ තැනම නිරුද්ධ වන්නාහ. විඤ්ඤාණස්කන්ධය නො නැසී ජාතියෙන් ජාතියට යන්නේය යි තථාගතයන් වහන්සේ විසින් ධර්ම දේශනා කර ඇත්තේය යි කියන්නට විය. භික්ෂූන් වහන්සේලා ඒ කරුණ තථාගතයන් වහන්සේට සැලකළ කල්හි උන්වහන්සේ සාති භික්ෂුව තමන් වහන්සේ ඉදිරියට ගෙන්වා කරුණු විමසා “ත්වං මොඝ පුරිස අත්තනා දුග්ගහිතෙන අම්හේ ච අබ්භාචික්කසි. අත්තානං ච ඛණසි. බහුං ච අපුඤ්ඤං පසවසි. තං හි තෙ මොඝ පුරිස භවිස්සති දීඝරත්තං අහිතාය දුක්ඛාය”
යනුවෙන් සාති භික්ෂුවට නිග්‍රහ කොට මහාතණ්හක්ඛය සූත්‍රය දේශනා කළ සේක.