2. මුව වැද්දාගේ කථාව

මෙයට තිස්එක්වැනි කපට පෙරාතුව සිඛී සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණි එක් සමයක විවේක සැපය විඳිමින් එක් වන සෙනසුනක සඟල සිවුර එලා වැඩහුන් සේක. දෙව් බඹ ආදීහු එහි රැස්ව උන්වහන්සේට පුදමින් වඳිමින් සිටියහ. ඔවුනට බුදුහු චතුරාර්ය සත්‍යය දේශනා කළහ. එක් මුව වැද්දෙක් දඩයමට ගොස් මෙසේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ දැක එකත් පස්ව සිට බණ අසා සිත පහදා එයින් මියගොස් දෙව්ලොව ඉපිද නැවත නැවතත් සදෙව්ලොවම ඉපිද මේ බුද්‍ධොත්පාදයෙහි සැවැත්නුවර කුලගෙයක ඉපිද නුවණ ඇතිව බුදු සසුනෙහි මහණව ගෙණ, දිනක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය අසා සිව්පිළිසිඹියාපත්ව සංඝයා මැද දී තමා විසින් කරන ලද පින්කම පිළිබඳ උදානය මෙසේ පැවැසීය.

සිඛී බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට ධර්ම දේශනා කරමින් ජීවත් වූහ. එ සමයෙහි මම මුව වැද්දෙක් වී දඩයමට කැලයට ගියෙමි. දෙව් බඹුන්ට දේශනා කළ චතුරාර්ය සත්‍යය මම ද ඇසීමි. එම පින නිසා දෙව්ලොව ඉපදුනෙමි. නැවත නැවතත් සදෙව්ලොව ඉපිද දෙව් සැපත් වින්දෙමි. ඒ මම දැන් මහ ධනවත් කුලයක ඉපිද වැඩිවියට පත්ව ගිය කල්හි දිනක් දෙව්රම් වෙහෙරට ගියෙමි. එහිදී ශිෂ්‍යයන්ට ධර්මය දේශනා කළ බුදුරජුන් දැක මම ද බණ ඇසීමි. පසුව මහණ වීමි. දැන් නිවන් පසක්කර ගත්තෙක් වෙමි. එබැවින් මම එක වචනයක් කියමි. එනම්, “මනාකොට ධර්මය අසව්” යන වචනයයි.