3. යහළුවන් තිදෙනාගේ කථාව

පෙර දඹදිව නියඟයක් ඇතිවිය. මෙයින් ජලචර ආදි සත්තු විනාශයට ගියහ. මහවනයන්හි ගස් කොළන් මලානික විය. පවසින් පීඩිත වූවෝ මිරිඟුව දිය යයි සිතමින් ඔබිනොබ දුවමින් මහ දුකට පත්වූහ.

මේ අතර එක් ගිරවෙක් වතුර සොයමින් ඇවිද සැටරියන් පමණ එක් නරාවළක ඇති පැන් ගඳ ඉව වැටී කෑදරකමට එහි බැස්සේය. බැස අධිකව වතුර බී එයින් ගොඩවීමට අසමත් විය. ඊට පසුව මෙසේම නයෙක් ද, මිනිසෙක් ද වතුර බීමට එහි වැටුණහ. නයාට ද නොපෙනී යෑමට විවේකයක් නොලැබීය. මිනිසාට ද ගොඩවීමට හැකියාවක් නොවීය. මේ තිදෙනාම මරණ බියෙන් බියපත්ව විසූහ.

එක්තරා මිනිසෙක් බරණැසින් මේ කැලයට පැමිණ පැන් සොයන්නේ මෙතැනට පැමිණ කරදරයට පත් මේ තිදෙනා දැක අනුකම්පා කොට වැල්වලින් කූඩයක් හදා සාල්ලක තබා මේ තිදෙනා බේරා ගත්තේය. ඒ තිදෙනාම තමන්ට ජීවිත දානය කළේ යයි සතුටුව “මෙතැන් පටන් ඔබ අපේ මිත්‍ර‍යාය. අපිත් ඔබේ මිත්‍රයෝ වෙමු. අප වසන තැන්වලට එනු කැමැත්තෝ වෙමු.” ගිරවා “හිමියාණෙනි, බරණැස දකුණු දොරටුවෙහි ලොකු නුග ගසක් ඇත. එහි මම වසමි. ඔබට වඅහ්‍යථාවක් වූ විට මාගේ සමීපයට පැමිණ යහළු සුව යයි අඬ ගහන්න” යයි මිත්‍ර‍කම තහවුරු කොට ගියේය. නයාද කියන්නේ “එම නුග රුක සමීපයෙහි ලොකු හුඹසක් ඇත. එහි මම වසමි. ඔබට උවමනාවක් වූ විට දීඝ යයි අමතන්න.” මිනිසා ද “බරණැස අසුවල් ගෙයි මම වසමි. උවමනාවක් වූ විට එහි එන්න” යයි කියා හෙතෙම ද ගියේය.

පසු කලක උපකාරක මිත්‍ර‍යා ජීවත්වීමට අපහසුව, කියූ සලකුණ සහිත නුග ගස වෙත ගොස් “සම්ම සුව” යයි ඇමතීය. ගිරවා වහා අවුත් සතුටුව පැමිණි කරුණ විචාළේය. ජීවත්වීමේ අපහසුව නිසා පැමිණි බව හේ කීයේය. ගිරවා ස්වල්ප වේලාවක් මෙහිම වාසය කරන්න යයි කියා බරණැස් රජුගේ පොකුණ දෙසට ගියේය. මේ වේලාවේ රජතුමා ආභරණ ගලවා ජල ක්‍රීඩා කරමින් සිටියේය. ගිරවා තු අතරට වී පරීක්‍ෂාවෙන් හිඳ ආරක්‍ෂක පුරුෂයන්ට නොපෙනෙන සේ ආභරණ තැබූ තැනට පැමිණ රජුගේ මුතුහර ගෙන ගියේය. ගෙන ගොස් මිතුරාට දී මෙය රැගෙන ජීවත් වන්න යයි කීය. මිනිසා පැරණි යහළු මිනිසාගේ ගෙදරට ගොස් සියල්ල කීය. මුතුහර ආරක්‍ෂා සහිතව තබන්න යයි කීය.

මේ අතරතුර ආභරණ පැළඳීමට පැමිණි රජතුමා මුතුහර නැති බව කියා වහාම පරීක්‍ෂා කරවීය. එහෙත් නොලැබිණ. පසුව අණබෙර යවා මුතුහර ගෙනත් දෙන කෙනෙකුට තෑග්ගක් දෙන බව ප්‍ර‍සිද්ධ කෙළේය. මේ ප්‍ර‍චාරය ගෙහි විසූ හිමියා අසා මට මොහුගෙන් වැඩක් නැත. මොහු භාර දී තෑග්ග ගනිමියි සනිටුහන් කොට රාජපුරුෂයන් වෙත ගොස් එක් මිනිහෙක් මේ මුතුහර මගේ ගෙයි තබා ඇතැයි දැන්වීය. රාජපුරුෂයෝ වහා අවුත් මුතුහරත්, පුරුෂයාත් රැගෙන රජු සමීපයට ගෙන ගියෝය. රජතුමා මුතුහර සොරකම් කළ අය දිවැස්හුල තැබීමට නියෝග කෙළේය. වධකයන් විසින් ගෙනයනු ලබන මේ උපකාරක මිනිසා නයාගේ හුඹස දැක ඔහු ගැන කල්පනා වී දීඝ යයි හඬගෑය. නයා මේ තත්ත්වය දැක කනගාටු වී එහි ගොස් ඔහු සනසා මිනිස් වෙසක් ගෙන මොහොතක් මොහු නොමරවයි කියා රජමැදුරට ගොස් අගමෙහෙසියට දෂ්ට කෙළේය. ඕ විෂ වේගයෙන් මූර්ඡා වී පසු නැවත මිනිස් වෙස් ගෙන වධයට නියම වූ මිනිසා ඉතා හොඳ සර්ප විෂ බෙහෙතක් දනී යයි කියා මිත්‍ර‍යා වෙත ගොස්, “රජතුමා ඔබ කැඳවූ විට ගොස් දිය පතක් දේවියගේ ඇඟට ඉස විෂ රහිත කරන්න” යයි කීයේය.

රජතුමා අර ප්‍ර‍වෘත්තිය අසා වධයට නියම වූ පුරුෂයා කැඳවා දේවියගේ විෂ බැස්සීමට නියම කෙළේය. ඔහුත් නා රජු කියූ පරිදි දිය පතක් ගෙන දේවියගේ ඇඟට ඉස විෂ නැති කෙළේය. රජතුමා එය දැක ඉතා සතුටුව ඔහුට කුඹුරු, වතු, යාන වාහන දී සත්කාර කෙළේය. ඔහු පසුව කැලෑවෙහි නරා වළෙහි වැටී සිටි තැන සිට සියලු විස්තර රජතුමාට කීයේය.

රජතුමා ඒ ප්‍ර‍වෘත්තිය අසා අතිශයින් පැහැදී ඔහුට විශාල මන්දිරයක් කිරීමට නියෝග කෙළේය. ඔහු තමන්ට තනන එම ගෙන නුග දෙසටත්, හුඹසටත් අතර කරන්නට යයි කීයේය. එසේ කොට රජුට ද උපස්ථාන කරමින් මිතුරන් දෙදෙනා සමඟ ද සතුටුව වාසය කෙළේය.