විදර්ශනා අරමුණ

විදර්ශනා ඥානය සඳහා භාවනා කරන යෝගී පුද්ගලයා විසින් පරමාර්ථ ප්‍රඥප්ති දෙක අතුරෙන් පරමාර්ථ නාම රූප ධර්මයන් ම මෙනෙහි කළ යුතු ය. ප්‍රඥප්තිය මෙනෙහි නොකළ යුතු ය. පරමාර්ථ නාම රූපයන් අතුරෙන් ද ලෞකික ධර්මයන් පමණක් මෙනෙහි කළ යුතු ය. ලෝකෝත්තර ධර්ම මෙනෙහි නොකළ යුතු ය. කුමක් හෙයින් ද යත්? ලොකොත්තර ධර්ම නුපදවා ගත් බැවිනි. පෘථග්ජනයාහට ඒ ලෝකෝත්තර ධර්මයන් ස්වභාව ලක්ෂණ වශයෙන් වැටහෙන්නේ නැත. ආර්යය පුද්ගලයන්ට ඒ ලෝකෝත්තර ධර්ම ඇති සැටියෙන් දත හැකි වුවත් එය මෙනෙහි කිරීමෙන් වැඩක් නැත. එය එසේ මැ යි. ලෞකික ධර්මයන් මෙනෙහි කිරීමෙන් ඒ ධර්මයන් කෙරෙහි පවත්නා නිත්‍ය ය, සැපය, ආත්ම ය යන වැරදි හැඟීම දුරු කළ හැකි ය. ලෝකෝත්තර ධර්මයන් තුළ වනාහි එවැනි කෙලෙස් උපදින ගතියක් නැත. ඒ නිසා ලෝකෝත්තර ධර්මයන් මෙනෙහි කළ නමුත් ක්ලේශ ප්‍රහානයක් නො වන්නේ ය. එහෙයින් “අනධි ගතත්තා” ය යි විසුද්ධිමග්ගයෙහි කියන ලදී. පෘථග්ජනයා විසින් ලෝකෝත්තර ධර්‍ම උපදවා නොගත් බැවින් එය මෙනෙහි නොකළ යුතුය යන අදහස යි. දික්සඟි මහාවග්ග අටුවාවෙහි“අවිසයත්තා, විසයත්තෙපි ච ඵලාභාවතො” ය යි කියන ලදී. පෘථග්ජනයාහට ලොවුතුරු දහම් අරමුණු නොකළ හැකි බැවින් ද, ආර්ය පුද්ගලයාහට එය අරමුණු කළ හැකි වුවත්, එයින් වැඩක් නොවන නිසා ද මෙනෙහි නො කළ යුතුය යනු එහි තේරුම යි.

ප්‍රත්‍යක්ෂවිදර්ශනා, අනුමානවිදර්ශනා ය යි විදර්ශනාව දෙවැදෑරුම් වේ. ඔවුන් අතුරෙන් උත්පාදයට පැමිණි නාම රූප දෙක අතින් අල්ලා ඇසින් බලන්නාක් මෙන් ඤාණයෙන් දැක ගැනීම ප්‍රත්‍යක්ෂ විදර්ශනා නම් වේ. මේ ප්‍රත්‍යක්ෂ විදර්ශනාවෙන් ඇතිව නැතිවන නාම රූප ධර්මයන්ගේ නියම ස්වභාව ලක්ෂණය ද ඇති සැටියෙන් දත හැකි ය. ඇතිවීම නැතිවීම යන අනිත්‍ය ලක්ෂණ ආදිය ද ඇති සැටියෙන් දත හැකි ය. එහෙයින් විපස්සනා යෝගී පුද්ගලයා විසින් විදර්ශනා භාවනාව ආරම්භ කළ තැන් සිට, අනුලෝමඤාණය ඇතිවන තෙක් මේ ප්‍රත්‍යක්ෂ විදර්ශනාව ම නොනවත්වා වැඩි දියුණු කළ යුතු ය. නාමරූපපරිච්ඡේදඤාණය ආදී ඥාණ පරම්පරාවගේ වශයෙන් ප්‍රත්‍යක්ෂ විදර්ශනාව දියුණු තියුණු වූ කල්හි ප්‍රත්‍යක්ෂව දැන නො ගත් නාම රූපයන් ද, ප්‍රත්‍යක්ෂව දැනගත් නාම රූපයන් හා සසඳා මෙනෙහි කළ හැකි ඤාණය පහළ වන්නේ ය. මේ ඤාණය අනුමාන විදර්ශනාව යි. මේ ඤාණය අධ්‍යාත්ම, බාහිර, අතීත, අනාගත, වර්තමාන වූ ලෞකික ධර්ම සියල්ල ම අරමුණු කර යි. එහෙත් ප්‍රත්‍යක්ෂ විදර්ශනාව මෙන් නාම රූප යන්ගේ ස්වභාව ලක්ෂණ ආදිය ඇතිවන, නැතිවන සැටියෙන් අරමුණු කරමින් දැනගත නො හැකි වෙයි. එය විශේෂ වෑයමකින් වැඩිය යුතු ඥාණයකුත් නොවන්නේ ය. ප්‍රත්‍යක්ෂ ඤාණය තියුණු වූ කල්හි ඉබේට ම වාගේ පහළ වී එන ඤාණයකි. එහෙයින් මෙතැන් සිට ප්‍රත්‍යක්ෂ ඥානයාගේ අරමුණු ම බෙදා දක්වනු ලැබේ.

ලෞකික ධ්‍යානයන් අතුරෙන් නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය ධ්‍යානය ලබාගත් මුල් අවස්ථාවෙහි ඒ ධ්‍යාන ලාභී පුද්ගලයා හට, එම ධ්‍යානය ඉතා සියුම් වු බැවින් එය මෙනෙහි නොකළ හැකිය. සැරියුත් හිමියන්ට පවා එය හොඳින් ප්‍රකට නොවන බව අනුපද සූත්‍රයෙහි සඳහන් ව ඇත. මහද්ගත ධර්මයන් මෙනෙහි කළ හැක්කේ ධ්‍යාන ලාභී පුද්ගලයා හටම ය. ඒ ධ්‍යාන නො ලැබූ පුද්ගලයා හට මෙනෙහි නො කළ හැකිය. කුමක් හෙයින් ද යත්? තමාගේ සන්තානයෙහි නූපන් ධර්මයන් ස්වභාව ලක්ෂණ වශයෙන් නො වැටහෙන බැවිනි. මෙහි දී “අනධිගතත්තා” යනුවෙන් නො ලැබූ බැවින් ලොවුතුරු දහම් මෙනෙහි නොකළ යුතුය යන අටුවා කියමන වූ පරිදි විමසිය යුතු ය. එහෙයින් මහා ටීකාවෙහි “ලාභිනො යෙව මහග්ගත චිත්තානි පාකටානි හොන්ති” යි කියන ලදී. ධ්‍යාන ලාභී පුද්ගලයා හට ම මහද්ගත සිත් ප්‍රත්‍යක්ෂ ඥානයෙන් මෙනෙහි කළ හැකි පරිදි හොඳින් ප්‍රකට වෙත් යනු එහි අදහස යි.

ඒ නිසා ධ්‍යාන නො ලැබූ පුද්ගලයා විසින් මහද්ගත ධර්ම මෙනෙහි නො කළ යුතු ය. කාමාවචර ධර්ම ම මෙනෙහි කළ යුතු ය. එහෙත් කාමාවචර ධමයන් කෙරෙහි ප්‍රත්‍යක්ෂ ඥානය මෝරවා ගත් කල්හි මහද්ගත ධර්මයන් කෙරෙහි ද, අනුමාන ඥාණය ඇතිවිය හැකි බැවින් “මෙනෙහි කළ යුතු සංස්කාර ඉතිරිව ඇතැයි” නො වැටහෙන්නේ ම ය. කාමාවචර ධර්මයන් අතුරෙන් ද ප්‍රකට වූ නාම රූප ධර්ම ම මෙනෙහි කළ යුතු ය.

රූප ධර්මයන් මෙනෙහි කරන කල්හි ඒකාන්ත පරමාර්ථ ලක්ෂණය ප්‍රකට ව පවත්නා ප්‍රසාද රූප 5 ය, විසය රූප 7 ය, භාව රූප 2 ය, ආපෝධාතු 1 ය, හදය රූප 1ය, ආහාර රූප 1 ය, ජීවිත රූප 1 ය, යන මේ රූප අටළොස (18) කර්ම චිත්ත ඍතු ආහාරයන්ගෙන් උපද වන බැවින් නිෂ්පන්න රූප නමි. ඒකාන්ත පරමාර්ථ රුප්පන ලක්ෂණයෙන් යුක්ත බැවින් රූප රූප නමි. උප්පාද, ඨිති, භඞ්ග යන සඛ්‍යාත ලක්ෂණයෙන් යුක්ත බැවින් සලක්ඛණ රූප නමි. විදර්ශනා වශයෙන් මෙනෙහි කිරීමට සුදුසු බැවින් සම්මසන රූප නමි. එහෙයින් “රූප රූපානි යෙව හි ඉධ පරිග්ගය්හන්ති, න රූප පරිච්ඡේද විකාර ලක්ඛණානි” යි මහා ටීකාවෙහි කියන ලදී.

විදර්ශනා අවස්ථායෙහි නිප්පන්න, සලක්ඛණ, සම්මසන නමැති රූප රූප අටළොස (18) ම ඤාණයෙන් අල්වාගෙන මෙනෙහි කරනු ලැබෙත්. රූපයන් පිරිසිඳින ආකාස ධාතුව ය, කාය විඤ්ඤත්ති, වචීවිඤ්ඤත්ති, රූප ලහුතා, රූප මුදුතා, රූප කම්මඤ්ඤතා යන විකාර රූප 5 ය, උපචය, සන්තති, ජරතා, අනිච්චතා යන ලක්ඛණ රූප 4 ය යන මේ අනිෂ්පන්න රූප දස (10) ය මෙනෙහි නොකරනු ලැබෙත් යනු එහි අදහස ය.

චිත්ත චෛතසිකයන් අතුරෙනු දු රහතුන්වහන්සේ තුළ පවත්නා කිරිය ජවන් සිත් පෘථග්ජනයාට හා සෝවාන් ආදී සෙක්ඛයන්ටත් මෙනෙහි කළ නොහැකි ය. පෘථග්ජනයාගේ සහ සෙක්ඛයන්ගේ ප්‍රත්‍යක්ෂ විදර්ශනාවට අරමුණුවන සිත්, සියල්ල මතු දැක්වෙන පරිදී දත යුතු ය.

එනම්, අකුසල් සිත් දොළොස (12) ය. හසිතුප්පාදය හැර ඉතිරි අහේතුක සිත් සතළොස (17) ය. මහා කුසල් හා මහා විපාක සිත් සොළොස (16) ය යන මේ සිත් පන්සාළිස (45) හා එහි යෙදෙන චෛතසික දෙපනස (52) ද, ඉහත කී නිෂ්පන්න රූප අටළොස (18) ද යන මෙයින් යම්කිසි එකක් ප්‍රත්‍යක්ෂ වශයෙන් ප්‍රකට වන සේ මෙනෙහි කළ යුතු ය.

එයිනුත් චිත්තානුපස්සනාවෙහි දී මෙනෙහි කළ යුත්තේ ඉහත දැක් වූ සිත් පන්සාළිසෙන් ඒ ඒ අවස්ථාවෙහි ප්‍රකට ව දැනෙන සිතකි.

පාලි

ඉති අජ්ඣත්තං වා චිත්තෙ චිත්තානුපස්සී විහරති, බහිද්ධා වා චිත්තෙ චිත්තානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා චිත්තෙ චිත්තානුපස්සී විහරති.

සමුදය ධම්මානු පස්සී වා චිත්තස්මිං විහරති, වයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති, සමුදය වයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති.

අත්ථි චිත්තන්ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති, යාවදෙව ඥාණ මත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ භික්ඛු විත්තේ චිත්තානු පස්සී විහරති.

කෙටි අදහස

මෙසේ තමාගේ සිතෙහි ද සිත අනුව බලමින් වාසය කර යි. අනුන්ගේ සිතෙහි ද සිත අනුව බලමින් වාසය කර යි. ඇතැම් විටක තමාගේ සිතෙහි ද ඇතැම් විටක අනුන්ගේ සිතෙහි ද සිත අනුව බලමින් වාසය කරයි.

සිතේ උපදවන ප්‍රත්‍යය සහ ඉපද වීම අනුව බලමින් වාසය කර යි. සිතේ වැයවීමේ ප්‍රත්‍යය හා වැයවීම අනුව බලමින් වාසය කරයි. උපදවන ප්‍රත්‍යය හා ඉපදීමත් වැයවීමේ ප්‍රත්‍යය හා වැයවීමත් අනුව බලමින් වාසය කර යි.

මෙහි සිත පමණක් ඇත. සත්ත්වයෙක් පුද්ගලයෙක් නැතැ යි ඒ යෝගී පුද්ගලයාහට සිහිය එළඹ සිටියා වෙයි. එය පිළිවෙළින් ඤාණය වැඩිදියුණු වීම පිණිස ම වෙ යි. පිළිවෙළින් සිහිය වැඩි දියුණු වීම පිණිස ම වෙ යි.

වැඩි දියුණු වූ සිහිය හා ඥාණය ඇති ඒ යෝගී තෙම තණ්හා දිට්ඨි දෙකින් තොරව ද වාසය කර යි. උපාදාන ස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙහි රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන මේ කිසිවක් මම ය මාගේ ය යි තණ්හා දිට්ඨි දෙකින් තදින් අල්ලා නොගනී. යෝගී තෙමේ මෙසේ ද සිතෙහි සිත අනුව බලමින් වාසය කරයි.