ස්කන්ධ පඤචකය දැනගන්නා ආකාරය.

රූපයක් දකිමින් සිටින කල්හි “දකිනවා” යයි මෙනෙහි කරන යෝගි තෙම ප්‍රධාන වශයෙන් ඇසේ පවත්නා චක්ෂු ප්‍රසාදය සහ දකිනු ලබන වර්ණායතන සංඛ්‍යාත රූපස්කන්ධ ය දන්නා බව දැන ගන්නේ ය.

ඉක්බිති දැකීමෙන් මිහිරි බව හෝ අමිහිරි බව හෝ මිහිරි ද නැති අමිහිරි ද නැති මැදහත් බව හෝ විඳින කල්හි ප්‍රධාන වශයෙන් වේදනාස්කන්ධය ඇති බව දැන ගන්නේ ය.

දක්නා ලද අරමුණ හඳුනන කල්හි සංඥාස්කන්ධය උපදනා බව දැන ගන්නේ ය.

සිත රූපය හා එකට ගැටෙන ඵස්සය ද දැකීමට සිත පුබුදු කරවන මෙහෙයන චේතනාව ද රූපයට ආසා උපදවන ලෝභය ද ප්‍රසාදය උපදවන ශ්‍රද්ධාව ද යන මේ ආදි භාව ධර්මයන් උපදනා බව වැටහෙන කල්හි සංස්කාර ස්කන්ධය ඇති බව වැටහෙන්නේ ය.

දන්නා සිත ප්‍රධාන කොට දැනෙන කල්හි විඥාන ස්කන්ධය ඇති බව දැන ගන්නේ ය.

මෙසේ රූප - වේදනා ආදී ස්කන්ධ පස දැනගැනීම සඳහා “ඉතිරූපං, ඉති වේදනා, ඉති සඤ්ඤා, ඉති සංඛාරා, ඉති විඤ්ඤාණං” යි දේශනා කළ සේක.

ශබ්ද - ගන්ධ - රස - පොට්ඨබ්බ අරමුණු හමුවන කල්හි ද මෙසේ ම ස්කන්ධ පඤ්චකය බෙදා දැන ගත යුතු ය. යෝගී පුද්ගලයා විසින් අත පය ආදී ශරීර අවයවයක් හකුලන කල්හි “හකුලන්ට ඕනෑ” ය යි පළමු ව මෙනෙහි කළ යුතු ය. ඊට පසු හැකිලිය යුතු ය. හකුලන විට හකුලන ආකාරයෙන් චලනය වන රූප කොටස “රූපස්කන්ධය” යි දැන ගන්නේ ය. භකුලන්ට ඕනෑ ය යන සිත “විඥානස්කන්ධය” යි දැන ගන්නේ ය. හැකිලීම හා සමග සිතේ ගැටෙන ඵස්සය හැකිලීමට අණ දෙන චේතනාව ආදී සංස්කාරකන්ධය ද දැන ගන්නේ ය. වේදනාව හා සංඥාව බොහෝ සෙයින් අප්‍රකට ව ඇති විය හැකි ය. එය ප්‍රකට වන කල්හි හැකිලීමේ හොඳ - නොහොඳ ස්වභාවය වූ වේදනා ස්කන්ධය ද දැන ගන්නේ ය. හකුලනවා ය යි ලකුණු කර ගන්නා සංඥාස්කන්ධය ද දැන ගන්නේ ය. ශරීර අවයවයන් පිළිබඳ දිග හැරීම් ආදිය කරන කල්හි ද මේ නය ක්‍රමය ම දත යුතු ය.

මෙසේ දැනගෙන නාම රූප පරිච්ඡේද ඤාණය ලබාගත් කල්හි ශීතෝෂ්ණාදිය නිසා විකාර වන රූප මෙපමණක් ය, ආරම්මණ රසය භුක්ති විඳින වේදනා මෙපමණක් ය, අරමුණු හඳුනන සංඥා මෙපමණක් ය, ක්‍රියා සකස් කරන - නිපදවන සංස්කාර මෙපමණක් ය, අරමුණු දැන ගන්නා විඤ්ඤාණ මෙපමණක් ම ය යි පිරිසිඳ දැන ගන්නේ ය. මෙසේ දැන ගැනීම වනාහි අභිධර්‍ම ස්වරූප විභාගයේ දී මෙන් සංඛ්‍යා වශයෙන් ගණන් කර දැන ගැනීම නො වේ.

විදර්ශනා ඥානයෙහි ඒ ස්කන්ධ කොටස් පහ වෙන් වෙන් ව ප්‍රකට ව වැටහී එන වාරයක් පාසා පිරිසිදු අවබෝධය ඇති වූ බැවින්, ශරීරය තුළ ඤාණයෙන් නො දක්නා ලද රූප වේදනා ආදියක් නො මැත්තේ ය යි විනිශ්චය කොට දත හැකි වන්නේ ය. මෙසේ දත හැකි වීම ද “ඉති රූපං ඉති වේදනා” යන ආදී දේශනා පාඨය අනුව දක්වන ලදී.

“ඉති රූපන්ති ඉදං රූපං එත්තකං රූපං, න ඉතො පරං රූපං අත්ථීති සභාවතො පජානාති වෙදනාදීසු පි එසෙව නයො” (අටුවාව)

එහි තේරුම

ඉති රූපං යන තන්හි මෙය රූපයකි, රූපය මෙපමණ යි, මීට වඩා රූපයක් නැතැයි ස්වභාව ලක්ෂණ වශයෙන් රූපය දැන ගන්නේ ය. වේදනා ආදියෙහි ද මේ නය මැයි.