සති සම්බොජ්ඣංගය

පාලි

“පුන ච පරං භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති සත්තසු බොජ්ඣඞ්ගෙසු. කථඤ්ච පන භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති සත්තසු බොජ්ඣඞ්ගෙසු.

ඉධ භික්ඛවෙ භික්ඛු සන්තං වා අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගං අත්ථි මෙ අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති, අසන්තං වා අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගං නත්ථි මෙ අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති.

යථා ච අනුප්පන්නස්ස සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති තඤ්ච පජානාති, යථා ච උප්පන්නස්ස සතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරී හොති තඤ්ච පජානාති.”

කෙටි අදහස

නැවත ද අනික් භාවනා ක්‍රමයක් කියනු ලැබේ. සසර භය දැක විදර්ශනා වඩන යෝගී පුද්ගල තෙම සත් වැදෑරුම් බෝධ්‍යාඞ්ග (චතුස්සත්‍යවබෝධයට උපකාර වන) ධර්මයන් කෙරෙහි සත්ව පුද්ගල නො වන ස්වභාව ධර්මය අනුව බලමින් වාසය කරයි. මහණෙනි! යෝගී පුද්ගල තෙම සත් වැදෑරුම් බොජ්ඣඞ්ග ධර්මයන් කෙරෙහි සත්ව පුද්ගල නොවන ස්වභාව ධර්මය අනුව බලමින් කෙසේ වාසය කරයි ද?

මහණෙනි! මේ බුදු සසුනෙහි යෝගී තෙම තමා තුළ සතිසම්බොජ්ඣඞ්ගය ඇති ව පවත්නා කල්හි දැන් මා තුළ සතිසම්බොජ්ඣංගය ඇතිව පවතී ය යි දැන ගන්නේය. තමා තුළ සතිසම්බොජ්ඣංගය නැත හොත් දැන් මා තුළ සතිසම්බොජ්ඣංගය නැතැ යි දැන ගන්නේ ය.

යම් යොනිසොමනසිකාරයක් නිසා නූපන් සතිසම්බොජ්ඣ්ඞ්ගය උපදී නම් ඒ යොනිසොමනසිකාරයත් දැන ගන්නේ ය. එසේම උපන්නා වූ සතිසම්බොජ්ඣඞ්ගය භාවනාවෙන් සම්පුර්ණ වීම යම් මාර්ගයකින් සිදුවෙයි නම් ඒ අර්හත් මාර්ගය ත් දැන ගන්නේ ය.

එහි විස්තරය

(සම්බෝධි+අඞ්ග = සම්බොජ්ඣඞ්ග) මෙහි සම්බෝධි යනු චතුස්සත්‍යය හොඳින් අවබෝධ කරන පුද්ගලයා හෝ අවබෝධයට ඉවහල් වන ධර්ම සමූහ ය යි. ඒ ධර්ම සමූහයේ එක් එක් අවයවයක් අඞ්ග නම් වේ. උදයබ්බයඤාණයෙහි පටන් විදර්ශනා අවස්ථාවෙහි සහ මාර්ග අවස්ථාවෙහි ද චතුස්සත්‍යය මැනවින් අවබෝධකර ගැනීමට ඉවහල් වන ගුණ අඞ්ග එකක් එකක් පාසා සබොජ්ඣඞ්ග නම් වේ. සති නැමැති සිහිය ම සත්‍යාවබෝධයට උපකාර වන බැවින් ද සත්‍යාවබෝධයට උපකාර වන ධර්ම සමුදායයෙහි අන්ගයක් වන බැවින් ද සතිසම්බොජ්ඣංග යයි කියනු ලැබේ.

සිහිය උපදවා ගන්නෙමැ යි මෙනෙහි කිරීම හා පළමු මෙනෙහි කිරීමේ දී හටගත් සිහිය ද යොනිසො මනසිකාර ය යි. එකී දෙවැදෑරුම් යෝනිසෝමනසිකාරය නිසා යෝගී පුද්ගලයාහට සතිසම්බොජ්ඣංගය, පහළ වන්නේ ය. එහෙයින් යෝගී පුද්ගලයා ඒ දෙයාකාර වූ යෝනිසෝමනසිකාරය ද දැන ගන්නේ ය.

සිය සතන්හි උපන් සතිසම්බොජ්ඣංගය භාවනාවෙන් වැඩි දියුණු වීම රහත් මගට පැමිණීමෙන් සම්පුර්ණ වන්නේ ය. ඊට පසු සතිය පිළිබඳ වැඩි දියුණු කිරීමේ වුවමනාවක් නැත. එහෙයින් රහතන් වහන්සේ සති සම්බොජ්ඣංගය සම්පූර්ණ කර ගැනීමට ඉවහල්වූ රහත් මාර්ගය ද ප්‍රත්‍යක්ෂ කොට දැන ගන්නේය යනු අදහස යි.

උදයබ්බයඥාණයෙහි පටන් සතිය (=භාවනා අරමුණු සිහි කිරීම) පිරිසිදු වූ කල්හි සිහි කිරීමක් පාසා සිහි කරන ලද අරමුණෙහි ඇලී පවතින්නාක් මෙන් වැටහෙන සිහිය තියුණු වීමෙන් ප්‍රකට වන්නී ය. එකල්හි ඇති වෙමින් නැති වෙමින් පවත්නා නාම-රූප අරමුණු මෙනෙහි කරන සිතෙහි ඉබේට ම වැටහී එන්නාක් මෙන් වෙති. එක් අරමුණක් මෙනෙහි කොට අවසාන වීමත් සමග ම වෙන අරමුණක් සුදුසු පරිදි වැටහෙන්නේ ය. මෙනෙහි කරන සිත ද අරමුණ තුළට කා වැදී පවතින්නාක් මෙන් වන්නේ ය. එහෙයින් “අපිලාපන ලක්ඛණා සති” යි අටුවායෙහි කීහ. සතිය හා එකට යෙදෙන අනික් ස්වභාව ධර්මයන් ද අරමුණ කෙරෙන් වෙන් නොවී - සිහි කරනු ලබන අරමුණත් සිහියෙන් වෙන් නොවී පැවැත් ම ය යනු එහි අදහස යි. මෙසේ තියුණු වෙමින් ප්‍රකට වන සති (සිහි) ය මාර්ග ඥානය උපදවන බැවින් සතිසම්බොජ්ඣඞ්ග නම් වේ.

තව ද සතිසම්බොජ්ඣඞ්ග ය උපදවා ගැනීමට උපකාරවන ධර්ම සතරක් ඇත. එනම්,

1. සති සම්පජඤ්ඤය,

2. මුට්ඨස්සති පුද්ගල පරිවර්ජනතා,

3. උපට්ඨිත සති පුද්ගල සේනතා,

4. තදධිමුත්තතා යන මේ සතර ය.

එහි සතිසම්පජඤ්ඤය නම්, ඉදිරියට යෑම හා ආපසු ඊම ය, ඉදිරි පස බැලීම හා අනු දිසාවන් බැලීම ය, අත් පා හැකිලීම හා දිග හැරීම ය යන මේ ආදී හැම ක්‍රියාවක දීම එයින් අර්ථ සිද්ධියක් ද සිදු වන්නේ දැ යි දැනගෙන කරමින් සිහි නුවණින් යුක්තවීම ය.

මුට්ඨස්සති පුද්ගල පරිවර්ජනතා යනු සිහි මුළා වූ (සිහිය නැති) පුද්ගලයන් ඇසුරු නො කොට ඔවුන් දුරු කිරීම ය. සිහිමුළා වූ පුද්ගලයා බත් සඟවන කපුටුවා මෙනි. කපුටුවාට බත් ගොඩක් හමු වූ විට එයින් බත් කටක් පුරවා එය තැනක සඟවා තබ යි. මෙසේ වරින් වර ඒ බත්ගොඩ ඉවර වන තෙක් තැනින් තැන සඟවා තබන නමුත් නැවත ඒ බත් කෑමට අමතක වීමෙන් ඒ ඒ තැන ම කුණු වී ය යි. එවැන්නවුන් ඇසුරු කිරීමෙන් තමනු ත් සිහිය නැති පිස්සෙකු මෙන් විය හැකි බැවින් සිහිමුළා වූ පුද්ගලයා දුරු කළ යුතුම ය.

උපට්ඨිතසති පුග්ගල සේවනතා යනු තිස්සදත්ත ස්වාමීන් වහන්සේය, අභය ස්වාමීන් වහන්සේ ය යන මේ ආදී ස්වාමීන්වහන්සේලා මෙන් සතිපට්ඨානය භාවනාවේ යෙදෙමින් නිතර යහපත් සිහියෙන් යුක්ත වූ කල්‍යාණමිත්‍රයන් ඇසුරු කිරීම ය. එවැනි කළණ මිතුරන් ඇසුරු කිරීම ද සතිසම්බොජ්ඣංගය උපදවා ගැනීමට උපකාර වෙ යි.

තදධිමුත්තතා යනු ඉඳීම් සිටීම් ආදී හැම ඉරියවුවක දී ම සිහිය උපදවා ගන්ට ඕනෑ ය යි සිතමින් සිත එයට නැඹුරු කර තබා ගැනීම ය.