සූත්‍ර නිදානය

සතිපට්ඨාන විපස්සනා භාවනා

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

පාලි

එවං මෙ සුතං – එකං සමයං භගවා කුරූසු විහරති කම්මාදසම්මං නාම කුරූනං නිගමො. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි – “භික්ඛවො”ති. “භදන්තෙ” ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච.

සතිපට්ඨානයේ අනුසස්

එකායනො අයං භික්ඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛ දොමනස්සානං අත්ථංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා.

කෙටි අදහස

ආනන්ද ස්ථවිර වූ මා විසින් මේ සූත්‍ර දේශනාව මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කුරු රට වැසියන්ගේ

කම්මාස්ස දම්ම නම් නියම් ගම්හි වැඩ වසන ස්ක. එකල්හි උන්වහන්සේ “මහණනි,” යි කියා භික්ෂුන් අමතා වදාළ සේක. ඒ භික්ෂූහු, “ස්වාමීන් වහන්ස!”යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. “මහණෙනි! සත්වයන්ගේ පිරිසුදු බව පිණිස ද, ශෝකය හා හැඩීම දුරු කිරීම පිණිස ද, දුක් දොම්නස් නැසීම පිණිස ද, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිස ද, නිවන් දැකීම පිණිස ද, පවතින්නා වූ යම් මේ සතර සතිපට්ඨාන කෙනෙක් වෙත් ද, මෙය නිවනට යන ඒකායන මාර්ගය (එක ම මාර්ගය) වෙයි.”

කුරු රට:

මහා මන්ධාතු නම් සක්විති රජතුමා දඹදිව සිට චක්‍රරත්නයේ බලයෙන් පුබ්බවිදේහ ය, අපරගෝයාන ය, උතුරු කුරු ය යන මහා දිවයින් වැසි මිනිසුන්ට අවවාද දීම සඳහා එහි ගිය කල්හි දඹදිව ඉතා උතුම් රටක් ය යි අසා ඒ රජු හා දඹදිවට පැමිණි ඒ මිනිසුන්ගෙන් පූර්ව විදේහයෙන් ආ මිනිසුන් පදිංචිව සිටින ප්‍රදේශය විදෙහ රට ය යි ද අපරගෝයානයෙන් ආ මිනිසුන් පදිංචිව සිටින ප්‍රදේශය අපරන්ත ය යි ද උතුරු කුරු දිවයිනෙන් ආ මිනිසුන් වාසය කරන ප්‍රදේශය කුරුරට ය යි ද ව්‍යවහාර කරනු ලැබේ. කුරු රට පිහිටා ඇත්තේ උතුරු දඹදිව බටහිරටත් උතුරටත් අතරෙහි ය. කුරු නම් වූ රජ කුමරුවන් ඇතුළු මිනිසුන්ගේ නිවාසස්ථානය කුරු ජනපදය හෝ කුරු රට ය යි කියනු ලැබේ, මෙකල මෙ කුරුරට දිල්ලි ය යි සලකනු ලැබේ.

කම්මාස්සදම්ම නිගමය:

මහා සුතසෝම ජාතකයෙහි සහ ජයද්දිස ජාතකයෙහි සඳහන් වූ පරිදි පාදයෙහි කබර සහිත වණ කැළලක් ඇති බැවින් පෝරිසාදයා හට “කම්මාස” යයි ද, කම්මාස නම් පෝරිසාද දමනය කළ ස්ථානය “කම්මාසදම්ම”ය යි ද කියනු ලැබේ. නගරාඞ්ගයන්ගෙන් අසම්පුර්ණ වූවත් සාමාන්‍ය ගමකට වඩා කඩපිල් ආදියෙන් හා ජනගහණයෙන් දියුණු වූ බැවින් මෙය නියම් ගමක් විය. එහෙයින් මේ සූත්‍රය දේශනා කළ ප්‍රදේශයට කම්මාසදම්ම නිගම ය යි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේට ඒ නියම් ගමෙහි වැඩ විසීමට විහාරයක් තිබුණේ නැත. එයට නුදුරු එක්තරා සිත්කලු තැනෙක මහ වන ලැහැබක් ඇත. එහි පරිභෝගයට ජලය ද ඇත. කම්මාසදම්ම නිගමය ගොදුරු ගම් කොට ගෙන ඒ වන ලැහැබෙහි වැඩ වෙසෙමින් සතිපට්ඨාන සූත්‍රය දේශනා කළ සේක.

මේ මහා සතිපට්ඨාන සූත්‍රය කුරු රටෙහි දී ම දේශනා කළේ කුමක් නිසා ද? කුරුරට වාසීන්ට ගැඹුරු ධර්මයන් අසා දැන ගැනීමට සමර්ථ වූ ඥාන ශක්තිය ඇති බැවිනි. එය එසේ වූයේ එකල්හි කුරු රට වාසීහු ඍතු - භෝජනාදි සප්පායයන්ගෙන් සම්පූර්ණව ලෙඩ නැති කය හා සිත් ඇති බැවින් දියුණු වූ නුවණ ඇත්තෝ වූහ. ගැඹුරු ධර්ම කථා අසා අවබෝධ කර ගැනීමට සමත් වූහ. එහෙයින් රහත් වන තෙක් මාර්ගඵල ලැබිය හැකි කර්මස්ථාන (21) එක්විස්සක් ඇතුළත් කොට අගනා රන් බඳුනක් ලැබ එහි අගනා දෙය තැන්පත් කොට තබන්නා සේ කුරුරට වැසි පිරිස ලැබ මේ ගැඹුරු අර්ථ - අදහස් ඇති සතිපට්ඨාන සූත්‍ර ධර්මය දේශනා කළ සේක.

මේ භාවනාව කලිනුත් දෙසූ බව

එරට වැසි බැල මෙහෙකරු ආදී පහත් ජනයාගේ පටන් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවු පිරිස ම සතිපට්ඨාන භාවනාවෙහි යෙදී වෙසෙති. එසේ ම සතිපට්ඨානය පිළිබඳ ධර්ම සාකච්ඡායෙහි ම නිතර යෙදෙති. එහෙයින් මේ සූත්‍රය එහි දී දේශනා කරන ලදී. මෙපමණක් නොව වෙනත් ගැඹුරු අර්ථ අදහස් ඇති මහා නිදාන, සාරෝපම, රුක්ඛුපම, රට්ඨපාල, මාගන්දිය, ආනෙඤ්ජසප්පාය යන සූත්‍ර ද මෙහිදී ම දෙසූ සේක.

කුරුරට වැඩි පිරිස නිතර නිතර සතිපට්ඨාන ය පිළිබඳ ධර්ම සාකච්ඡාවෙහි යෙදෙමින් එම භාවනාව කරමින් සිටින නිසා එහි දී මේ සූත්‍රය දේශනා කළ බව අටුවාවෙහි සඳහන්ව ඇත. එබැවින් සතිපට්ඨාන සංයුත්තක ආදියෙහි එන පරිදි මේ මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නටත් පෙර වෙන වෙන තැන්වලදීත් මේ ධර්මය සැකෙවින් දේශනා කරන ලද බව ඉතා පැහැදිලි ය. එහෙත් සතිපට්ඨාන භාවනාව එක්විසි පබ්බයකින් යුක්ත කොට සම්පූර්ණයෙන් විස්තර කොට ඇත්තේ මේ මහා සතිපට්ඨාන සූත්‍ර යෙහි ම ය.