බණ අසමින් සතිපට්ඨානය වැඩිය හැකි බව

යං පුබ්බේ තං විසොසෙහි, පූර්ව සංස්කාරයන් කෙරෙහි ඇති විය හැකි කෙලෙසුන් වියලවා හරිනු යයි වදාළ මේ වාක්‍යයෙන් දත යුතු අදහස නම්, පළමුවෙන් ම දක්නා ලද - අසන ලද - ස්පර්ශ කරන ලද දැන ගන්නා ලද අරමුණු නැවත නැවත මතක් වීමෙන් ඒ මතක් වන වරක් පාසා රාග ද්වේෂාදී ක්ලේශයන් ඇති විය හැකි බව ද එවැනි ක්ලේශයන් ඇති නොවන සේ සිහි නුවණින් බැලිය යුතු බව ද දක්වන ලදී. එසේ බැලිය යුත්තේ කුමක් ද? දැන් මේ මොහොතෙහි ඇති වෙමින් පවත්නා නාම රූප ධර්මයන් නොකඩවා සිහි කිරීමෙන් පළමුවෙන් ඇති වූ පරණ අරමුණු මතක් නොවේ. ඒවා මතක් නොවන බැවින් සිහි නොවන බැවින් ඒවා අරමුණු කොට කෙලෙස් ඇතිවන්නට නොහැකි ය. එහෙයින් ඒ පරණ අරමුණු ආපසු සිහි නොකිරීමට දැන් උපදමින් පවත්නා නාම රූප ධර්මයන් නොකඩවා සිහිකර බැලිය යුතු ය.

තවද පුරාණ අරමුණු ආපසු සිහිවන විට, මතක් වන විට ඒ වර්තමාන සිතිවිල්ල සිහියෙන් තදින් අල්ලාගෙන සිහි කළහොත් ඒ ගැන උපදනා කෙලෙස් සිඳ දැමිය හැකි වෙයි. එහෙයින් ආපසු කල්පනා කිරීමෙන් නැවත කෙලෙස් නූපදින පරිදි ඒ කල්පනාව ද මග හැරෙන තෙක් මෙනෙහි කළ යුතුය. සන්තති අමාත්‍යයා මෙකී අර්ථ අදහස් දැන ගෙන ඔහුගේ ආදරයට ගොදුරු වූ තරුණ කාන්තාව හා සමග කළ කී දෙය මතක් වන වරක් පාසා ඒ සිත මෙනෙහි කිරීමෙන් ද පසුගිය කාලයෙහි කළ කී දෙය නැවත කල්පනා නොවන සේ එකෙණෙහි පවත්නා වර්තමාන නාම රූපයන් නොකඩවා මෙනෙහි කිරීමෙන් ද බණ අසමින් සිටිය දී ම සතිපට්ඨානය වඩන ලද බව දත යුතු ය.

පච්චා තෙ මාහු කිඤ්චනං, පසු මතු කාලය ගැන සෝක කිරීම් ආදි පළිබෝධ කෙලෙස් නූපදවනු යයි වදාළ වචනයෙන් ද මතුවට වුවමනා අරමුණු පිළිබඳව පළිබෝධ කෙලෙස් ඉපදීම හා ඒ කෙලෙස් නූපදින පරිදි මෙනෙහි කරන ආකාරය ද දක්වන ලදී.

කෙසේ මෙනෙහි කළ යුතු ද? මතුවට සිදුවන දේ ගැන සිතන්ට ඉඩ නොතබා වර්‍තමානයෙහි ඇති වෙමින් පවත්නා නාම රූප ධර්මයන් නොකඩවා මෙනෙහි කළ යුතු ය. මතු අනාගතය පිළිබඳ අරමුණක් ගෙන සිතක් ඇතිවුවහොත් ඒ සිත නැතිව යන තෙක් මෙනෙහි කළ යුතු ය. සන්තති අමාත්‍යයාහට මේ කරුණු වැටහිමෙන් මතු අනාගතයෙහි ඒ තරුණ කාන්තාව මුණ ගැසීම හෝ ඇය හා එක්ව විසීම පිළිබඳ රාග සිතිවිලි නිසා ඈය කවදාවත් දකින්ට ලැබෙන්නේ නැත, මා තනිවුනා නොවේදැ යි සිත දවන තවන සෝකය ඇතිවන වාරයක් පාසා ම ඒ සිතිවිලි මෙනෙහි කිරීම ම වර්තමාන නාම රූප ධර්මයන් නො කඩවා මෙනෙහි කිරීම යයි කියනු ලැබේ. මෙසේ බණ අසමින් සිටියදී ම සතිපට්ඨාන භාවනාව වඩන ලද බව දත යුතු ය.

මජ්ඣෙ චෙ නො ගහෙස්සසි, මැද කොටසෙහි වූත් වර්තමාන නාම රූප සංස්කාරයන් ආත්ම වශයෙන් නොගන්නෙහි ය යි වදාළ වචනයෙන් ද දැන් ඇසෙන දකින වර්තමාන නාමරූප ධර්මයන් කෙරෙහි ආසාව ඇති නොවන සේ මම ය, සත්වයෙක් ය, පුද්ගලයෙක් ය යි නො හැඟෙන සේ උපදිනතාක් වර්තමාන නාම රූප ධර්මයන් මෙනෙහි කළ යුතු බව ද දක්වන ලදී. ඒ සන්තති අමාත්‍ය තෙමේ මෙකී අර්ථ අදහස් අවබෝධ කොට ගෙන උපදිමින් පවත්නා දැකීම් - ඇසීම් - කල්පනා කිරීම් ආදි නාමරූප ධර්මයන් අතර නොකඩවා මෙනෙහි කිරීමෙන් සලකා බැලීමෙන් බණ අසමින් සිටියදී ම සතිපට්ඨාන භාවනාව වැඩු බව දත යුතුය.

මෙහිදී එක ගාථාවක් අසන්ට ලැබුන පමණකින්ම මේ තරම් විශාල මනස්කාර රැසක් සිදු කළ හැකිදෝ නොහැකි දෝ හෝ යි සැක නොකළ යුතු ය. සතිපට්ඨාන භාවනා කෘත්‍යය ම හරිහැටි මෙනෙහි කරමින් භාවනා කර බලන්න. සමාධිය හා ඤාණය තරමක් දුරට වැඩිදියුණු වු කල්හි මේ මනස්කාර සමූහය එකම එක ක්ෂණයක දී පහළ වන අයුරු තමාට ම දත හැකි වෙ යි. මෙසේ අතර නොකඩවා මෙනෙහි කරමින් සිටිනා බැවින් අතීතයෙහි ඉක්ම ගිය දෙය ගැන ද කෙලෙස් ඇති නොවේ. මතු අනාගතයේ දී සිදුවෙන්ට තිබෙන දෙය ගැනද කෙලෙස් ඇති නොවේ. දැන් මේ වර්ථමාන කාලයෙහි ඇති වෙමින් පවත්නා වූ අසමින්, දකිමින්, ස්පර්ශ කරමින්, දැන ගනිමින් පවතින්නාවූ. නාමරූපයන් කෙරෙහි ද ඇතිව නැතිවන අනිත්‍ය ස්වභාව ආදිය ප්‍රත්‍යක්ෂව දැන ගැනීමෙන් තණ්හා දිට්ඨි ආදිය කෙලෙසුන්ගේ පහළවීමට අවකාශ නොලැබේ. මෙසේ සන්තති අමාත්‍යයා විසින් මෙනෙහි කළ පරිද්දෙන් ඔහුගේ කෙලෙස් සංසිඳීයාමෙන් සෝවාන් ආදී මාර්ග ඵල පිළිවෙලින් ගොස් රහත් වූ බව සැලකිය යුතු ය. එහෙයින් “උපසන්තො චරිස්සසි”කෙලෙස් ගිනි නිවී යාමෙන් උපසාන්තව - සන්සුව හැසිරෙන්නෙහි ය යි වදාරා රහත් බවට ප්‍රශංසා කරමින්

“සබ්බසො නාමරූපස්මිං - යස්ස නත්ථි මමායිතං

අසතා ච න සොචති – සවෙ ලොකෙ න ජීයති.”

ය යි වදාළ සේක.

යමෙක් හට සර්වප්‍රකාරයෙන්ම නාම රූපයන් කෙරෙහි මමය මාගේ ය යි මමත්වයක් නොමැත්තේ ද එසේ ම රූප ශබ්ද ආදොය නොලැබීම නිසාත් සෝක නොකරයි ද හෙතෙම ලෝකයෙහි කිසිසේත් නොපිරිහෙන්නේ ය. යනු එහි අදහස යි.

“නසන්ති පුත්තා” යන මේ ආදී ගාථා දෙක අසන්නට ලැබීමෙන් පටාචාරාව සෝවාන් වූවා ය. එහි ප්‍රථම ගාථාවෙන් මරණයෙන් මඩනා ලද සත්වයා හට පුත්‍ර දුහිතෘ දෙමව්පිය ඥාති මිත්‍රාදීන්ගෙන් පිහිටක් නොලැබ මරණ භයට ගොදුරු වන බව වැටහීයාමෙන් සිහිය හා සංවේග ඥානය ඇතිවී ය.

“එතමත්ථවසංඤත්වා” යන මේ ආදී දෙවැනි ගාථාවෙන් අනුන්ගෙන් තමාට පිහිටක් නැති බව හා තමාට තමා ම පිහිට විය යුතු බව දැනගත් ඤාණවන්තයා විසින් සීලයෙහි පිහිටා වහා ම නිර්වාණ මාර්ගය පිරිසිදු ව වඩාගත යුතු බව දක්වන ලදි.

පටාචාරාව ද මෙකී අර්ථ අදහස් දැනගෙන සතිය හා සංවේගය ලැබ පෙර - පසුගිය කාලයෙහි කල කී දෙය නොකරමි නොකියමි යි, බණ අසමින් සිටියදීම සිල් අධිෂ්ඨාන කොට පළමුකොට සීලයෙහි පිහිටා නිර්වාණයට යන මාර්ගය වූ මේ සතිපට්ඨාන භාවනා නය ක්‍රමය වූ පරිද්දෙන් භාවනා මනස්කාරය පිහිටුවා වාඩි වූ ඉරියව්වෙහි දී ම සෝවාන් මාර්ගයට පැමිණියා ය යි දත යුතු ය. බණ අසන කල්හි මාර්ග ඵලයන්ට පැමිණි හැම පුද්ගලයෙක් ම මේ සතිපට්ඨාන ක්‍රමයෙන් ම පැමිණෙන බව දත යුතු ය. එහෙයින් අටුවායෙහි:

“යස්මා පන කාය වෙදනා චිත්ත ධම්මෙසු කඤ්චිධම්මං අනාමසිත්වා භාවනා නාම නත්ථි, තස්මා තෙපි ඉමිනාව මග්ගෙන සොක පරිදෙවෙ සමතික්කන්තා” යි

කී බැවින් බණ අසමින් සිටියදී මාර්ගඵලයන්ට පැමිණෙන අයද මේ සතිපට්ඨාන මාර්ගයෙන් ම පැමිණෙන බව ස්ථිර වශයෙන් ම දත යුතු ය. මේ අටුවා පාඨය විස්තර කළ ටීකායෙහ් වනාහි ගාථාව සහ චතුස්සත්‍යය කර්මස්ථානය ද අසා සතිපට්ඨාන භාවනාවෙන් ම විශේෂාධිගමයට පැමිණි බැව් කියන ලදී. ඒ කියමනෙහි වරදක් නැත.

තවද පාටාචාරාව සෝවාන් මගට පැමිණ පරිදේවය ඉක්මවී යැ යි කී තන්හි චෝදනාවක් ද ඇත. එනම්, අනාගාමී මාර්ගයෙන් ම සහමුලින් ම පහකළ යුතු පරිදේවය සෝවාන් මගින් පහවූයේ කෙසේද? යන්න යි. පරිදේවයට කරුණු වන දොමනස් සිත සහමුලින් පහකළ නොහැකි බව නම් ඇත්තකි. එහෙත් පටාචාරා ව පූර්ව භාග විදර්ශනා මාර්ගය හා සමග සෝවාන් මගින් පරිදේව දොමනස්සය දුරු කොට නොබෝ කලකින්ම මතු මාර්ගත්‍රයට පැමිණියා ය. සෝවාන් මගට පැමිණි තැන් පටන් ඇගේ සිත් සතන්හි ඒ පරිදේව දොමනස්සය නැවැත ඉපදීමට මත්තෙන් අනාගාමී මාර්ගය පහළ විය. ඒ මාර්ගයෙන් ඒ පරිදේව දොමනස්සය සහමුලින් පහව ගිය නිසා එසේ වදාළ බව සැලකිය යුතු ය.

මෙසේ වැදෑරීමට හේතුව නම්, මැදුම් සඟි “චූලවෙදල්ල සූත්‍රයෙහි” හැම සුඛ වේදනාවෙක්හි රාගානුසය සැඟ වී තිබේ ද? “හැම සුඛ වේදනාවෙක්හි රාගානුසය පහකළ යුතු ද?” යන ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේ දී ප්‍රථම ධ්‍යානයෙන් කාමරාගය දුරුකොට එයින් කාමරාගයෙන් ඈත් වීම එක කරුණකි. අනාගාමි මාර්ග යට පැමිණියහුගේ ප්‍රථමධ්‍යානයෙහි

කාම රාගානුසය නැතැයි ද ප්‍රථමධ්‍යානයෙන් ම කාමරාගය පහකළේ ය යි ද විසඳන ලදී. එසේ විසඳූ තන්හි ද අනාගාමි මාර්ග යෙන් ම සහමුලින් පහකළ යුතු කාමරාගානුසය ප්‍රථමධ්‍යානය ඇති වූ තැන් සිට ම ඉපදීමට අවකාශයක් නොවූ බැවින් ප්‍රථම ධ්‍යානයෙන් ම පහ කළේ ය යි විසඳන ලදී. එසේ විසඳූ තන්හි අනාගාමි මාර්ගයෙන් ම සහමුලින් පහකළ යුතුවූ කාමරාගානුසය, ප්‍රථම ධ්‍යානය පහළ වූ තැන් සිට ඉපදීමට අවකාශයක් නොමැති බැවින්, ප්‍රථම ධ්‍යානයෙන්ම පහකළේ ය යි විසඳුවාක් මෙන් මෙහි දී ද ආනාගාමි මාර්ගයෙන් ම නිරවශේෂයෙන් ම පහ කළ යුතු වූ පරිදේව දොමනස්ස සිත්, සෝවාන් මාර්ගය පහළ වූ තැන් සිට ඉපදීමට අවකාශයක් නොමැති වූ බැවින් සෝවාන් මගින් ඉක්ම වී ය යි කිව යුතු ය.

ශක්‍රදේවේන්ද්‍රයාගේ හා සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයාගේ දොම්නස දුරුවූ බව ප්‍රකාශ කළ තන්හි ද මේ නය ක්‍රමය ම දත යුතු ය. ඒ දෙදෙන සෝවාන් වූ තැන් පටන් ඉස්සා මච්ඡරිය දෙදෙනාගේ හා අපාය භය හා සම්බන්ධ වූ දොම්නසගේ පහළ වීමට අවකාශයක් ඇති නොවී ය. රූප කයෙහි උපදනා රිදුම් කැක්කුම් දුක් වේදනා විඳීම් සියල්ල දුක්ඛ නම් වේ. සිතෙහි උපදනා රිදුම් කැක්කුම් දුක් වේදනා සියල්ල දෝමනස්ස නම් වේ. මේ දුක් දොම්නස් දෙකොටස ම සතිපට්ඨාන භාවනාවෙන් දුරු කළ හැකි ය. මේ සතිපට්ඨාන භාවනාව සම්පූර්ණයෙන් භාවිත කිරීමෙන් තිස්ස ස්ථවිරාදීන්ට මෙන් දුක්ඛය ද, ශක්‍ර දේවේන්ද්‍ර ආදීන්ට මෙන් දොම්නස ද සංසිඳ විය හැකි ය යි අටුවායෙහි කීහ.