ආචාර්ය්යෝපාධ්යායයන් හා අන්‍ය සබ්‍රහ්මචාරීන්ට ගරු කරන බව පැවිද්දකු තුළ තිබිය යුතු වන එක් ගුණයෙකි. ආචාර්ය්යෝපාධ්යායාදි සබ්‍රහ්මචාරීන්ගේ අනුග්‍රහයෙන් තොර ව මේ සස්නෙහි පැවිද්දකුට දියුණු නොවිය හැකි ය. දියුණු වීම තබා සබ්‍රහ්මචාරීන්ගේ අනුග්‍රහය නො ලබන පැවිද්දකුට බුදුසස්නෙහි දිවි පැවැත්වීම පවා අපහසු ය. එබැවින් නොයෙක් විට සබ්‍රහ්මචාරීන් ගේ අනුග්‍රහය නො ලබන පැවිද්දන්ට සසුනෙන් බැහැර වන්නට සිවුරු හැර යන්නට සිදු වේ. යමෙක් යම් පමණකට ආචාර්ය්යෝපාධ්යායාදීන්ට ගරු කෙරේ නම්, ඒ ඒ තරමට ඒ පැවිද්දාහට සබ්‍රහ්මචාරීහු අනුකම්පා කරති. ඒ පැවිද්දාහට ධර්මාමිෂ දෙකින් ම සංග්‍රහ කරන්නට සිතති. ගරු කළ යුත්තන්ට ගරු නො කරන උඩඟු මහණා සබ්‍රහ්මචාරීන්ගේ පිළිකුලට භාජන වේ. ඔහුට අවවාදානුශාසනා කරන්නට ඔහුගේ වැඩවලට සහභාගී වන්නට සබ්‍රහ්මචාරීහු නො සිතති. එයින් සිදු වන්නේ ඒ පැවිද්දාහට සස්නෙන් බැහැරවීමට ය.
මාපිය ගුණය සේ ආචාර්ය්ය ගුණය ද අනන්තය. එබැවින් සත්පුරුෂයෝ තමන් කොතරම් උසස් තත්ත්වයකට පැමිණ සිටියත් දෙවියන්ට රජුන්ට මෙන් ගුරුවරුන්ට ගරු කරන්නාහ. සැරියුත් මහ තෙරුන් වහන්සේ මේ බුදු සස්නෙහි භික්ෂූන් අතුරෙන් උසස් ම තැනට පැමිණ සිටි තෙරුන් වහන්සේ ය. උන්වහන්සේ දෙවෙනි වන්නේ බුදුන් වහන්සේ පමණෙකි. ඒ දම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ සෑම කල්හිම තථාගතයන් වහන්සේට උපස්ථාන කොට අනතුරු ව තමන් වහන්සේට පළමුවෙන් බුදුසස්න හඳුන්වා දුන් ආචාර්ය්යවරයා වන “අස්සජි” මහතෙරුන් වහන්සේට උපස්ථානයට යන්නාහ. උන් වහන්සේ විහාරයෙහි නැති දිනවලදී සැරියුත් මහ තෙරුන් වහන්සේ “අස්සජි” තෙරුන් වහන්සේ වෙසෙන දිශාවට හැරී තමන් වහන්සේගේ ගුරුවරයාගේ ගුණ සිහිකොට පසඟ පිහිටුවා වඳින්නාහ. දිනක් භික්ෂූහු සැරියුත් මාහිමියන් ගේ ඒ වන්දනාව දැක “මේ සැරියුත් තෙරණුවෝ බුදුන් වහන්සේගේ අගසව් බවට පැමිණත් දිශාවන්ට නමස්කාර කරන්නාහ. මේ තෙරුන් වහන්සේට කලින් තුබූ බ්රාහ්මණදෘෂ්ටි තවමත් අත හැරිය හැකි වී නැතැ” යි කථා කරමින් උන්හ. තථාගතයන් වහන්සේ ඒ කථාව දිවකනින් අසා එහි පැමිණ භික්ෂූන් අමතා “මහණෙනි, තෙපි කිනම් කථාවක් කරමින් හුන්නහුදැ” යි විචාරා, ඒ භික්ෂූන් විසින් තමන් කළ කථාව තථාගතයන් වහන්සේට සැලකළ කල්හි, “මහණෙනි, ශාරිපුත්‍රස්ථවිර තෙමේ දිශාවන්ට නමස්කාර නො කරන්නේ ය. ඔහු නමස්කාර කරන්නේ තමාට පළමුවෙන් ම බුදු සස්න හඳුන්වා දුන් ආචාර්‍ය්‍යවරයාට ය. මහණෙනි, ශාරිපුත්‍ර හැම කල්හි ම ගුරුන් පුදන්නෙකැ” යි වදාරා, ඒ භික්ෂු පිරිසෙහිදී “ධර්මසූත්රය” වදාළ සේක. ඒ ධර්මසූත්රය සූත්රනිපාතයට ඇතුළත් ය. “නාවාසූත්රය” යනු ද එයට තවත් නමකි.
“යස්මා හි ධම්මං පුරිසෝ විජඤ්ඤා
ඉන්දං ව නං දෙවතා පූජයෙය්ය
සෝ පූජිතෝ තස්මිං පසන්නචිත්තෝ
බහුස්සුතෝ පාතු කරෝති ධම්මං”
මේ “ධම්ම සුත්තයේ” පළමුවන ගාථාවය.
“යම් ධර්මධරයකුගෙන් යමක ධර්මය දැන ගන්නේ නම් ඒ තැනැත්තා විසින් චාතුර්මහාරාජික තාවතිංස දිව්‍යලෝක දෙක්හි දෙවියන් සක් දෙවිඳුන්ට පුදන්නාක් මෙන් ගරු සත්කාර කරන්නාක් මෙන් ඒ ආචාර්ය්යවරයා පිදිය යුතුය. ගරු බුහුමන් කළ යුතුය. එසේ කරන කල්හි පුදන අතවැසියා කෙරෙහි ප්‍රසන්න වන බහුශ්‍රැත ආචාර්ය්යවරයා අවවාදයෙන් අනුශාසනයෙන් උගැන්වීමෙන් ඔහුට ධර්මය පහළ කරන්නේ ය. හෙවත් දෙන්නේ ය.” යනු ගාථාවේ අදහස ය.
එහි දෙවන ගාථාව මෙසේ ය:-
තදට්ඨි කත්වාන සුණෙය්ය ධීරෝ
ධම්මානුධම්මං පටිපජ්ජමානෝ,
විඤ්ඤු විභාවී නිපුණෝ ච හෝති
යෝ තාදිසං භජතී අප්පමත්තෝ.”
නුවණැත්තේ ඒ ධර්මය ඕනෑකමින් අසන්නේ ය. යමෙක් ධර්මය කියා දෙන්නට දත් එබඳු පුද්ගලයකු අප්‍රමාද ව ඇසුරු කරන්නේ ද හෙතෙමේ ධර්මය අනුව පිළිපදින්නේ ප්‍රඥාව ලැබූ අනුන්ටත් ධර්මය ප්‍රකාශ කිරීමට සාමර්ථ්‍යය ඇත්තා වූ ගැඹුරු ධර්මයන් තේරුම් ගැනීමට තරම් සියුම් නුවණ ඇත්තා වූ පුද්ගලයෙක් වේය” යනු එහි අදහස ය.
“මහානාග” තෙරුන් වහන්සේ විසින් වදාරන ලදුව ථෙරගාථා පාළියේ ඡක්කනිපාතයේ සඳහන් වන ගාථා කීපයක් මෙසේ ය.
“යස්ස සබ්රහ්මචාරීසු ගාරවෝ නූපලබ්භති,
පරිහායති සද්ධම්මා මච්ඡෝ අප්පෝදකේ යථා.”
යම් පැවිද්දෙක් ආචාර්ය්යෝපාධ්යායාදී සබ්‍රහ්මචාරීන්ට ගරු නො කෙරේ ද හෙතෙමේ සිඳී ගෙන යන මඳ දියෙහි වෙසෙන මසකු මෙන් සද්ධර්මයෙන් පිරිහෙන්නේ ය.
“යස්ස සබ්රහ්මචාරීසු ගාරවෝ නූපලබ්භති,
න විරූභති සද්ධම්මේ ඛෙත්තේ බීජංව පූතිකං”
යමෙක් ආචාර්ය්යෝපාධ්යායාදි සබ්‍රහ්මචාරීන්ට ගරු නො කෙරේ ද, හෙතෙමේ කුණු වූ දිරූ බිජුවට කුඹුරෙහි නො වැඩෙන්නාක් මෙන් බුදුසස්නෙහි නො වැඩෙන්නේ ය.
“යස්ස සබ්රහ්මචාරීසු ගාරවෝ නූපලබ්භති,
ආරකා හෝති නිබ්බානා ධම්මරාජස්ස සාසනේ”
යමෙක් ආචාර්ය්යෝපාධ්යායාදි සබ්‍රහ්මචාරීන්ට ගරු නො කෙරේ ද හෙතෙමේ ධර්මරාජයන් වහන්සේගේ ශාසනයෙහි නිවනින් දුර වූවෙක් වන්නේ ය.